වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මට අයිති හැමදේම

මට අයිති හැමදේම කාලය ලබාදේවි

ඇලෝයි ගුණවර්ධන

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්

සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්

ශෝකය දුක ආවත් මට කොයි තරම්

මම දාල යන්නෙ නෑ මගේ සුදු රත්තරන් . . .!
 

ගැයුම – එච්. ආර්. ජෝතිපාල

පද – ඇලෝයි ගුණවර්ධන

 

 

දශක පහමාරකට පමණ ඉහතදී අසහාය ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාලයන්ගේ හඬින් ගැයුණු මුල්ම ගුවන් විදුලි ගීතය ලෙස සැලකෙන ‘මුලදි බැන්ඳ ආදරයක මිහිර දැන්’ ගීතයේ මෙන්ම ගායන ශිල්පි ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගුවන් විදුලියේ වෙළඳ සේවයට මුලින්ම ගැයූ ‘ආලේහි බැඳී ජීවිත අඳුරේහි ගැලේවි’ ගීිතයේ පද රචකයා ඇලෝයි ගුණවර්ධනය. ඉන් පසු ජෝතිපාලයන් මෙන්ම මිල්ටන් විසින් ද ගායනා කළ ගීත ගණනාවකම පද රචනා හිමිකරු වුවේ ඇලෝයිමය. ජෝති ගැයූ ‘ඇස් දෙක වාගෙ හිටිය’, ‘පායා ඇයි හිනැහෙන්නේ’, ‘පණ වාගෙ හිටියාට’, ‘ඇයි දැන් එපා වෙලා’, ‘පිළිගන්න මම චන්න ඇමති’, ‘මා බැන්ද ගෙයක් තිබුණා’, ‘රත්තරන් සඳක් පායයි’, ‘බලන්න මා දිහා ටිකක් හිනා වෙලා’, ‘මගෙ ජීවිතයේ සතු වී තිබු දෙයක්’, ‘මා ලැබූ ජීවිතයේ සැනසුම ඔබ සතුවේ’, ‘වෙනතක යන්න ගියා’, ‘වෙන තරුණියකගෙ දෑත රැගෙන මට’ ගීත මෙන්ම මිල්ටන් ගැයූ ‘අහන්න මගෙ හොඳ පුංචි පුතේ’, ‘ඔබට නම් නැහැ නේද රත්නේ මට වගේ දුක් වේදනා’, ‘බැලුවේ නැහැනේ මාගෙ දිහා’ වැනි ගීත ද ලියූ ඇලෝයිගේ ගී පදමාලා ඇතුළත් ‘මධුර භාෂිණී – මුලදි බැන්ඳ ආදරයක මිහිර දැන්’ ගීත පොත ‘රසාංජලී’ පොතක් ලෙස පසුගියදා එළිදකින ලදී. ඒ නිමිත්තෙන් මේ වන විට හිඹුටාන, උඩුමුල්ල, පුබුදුගම අංක 25 දරණ නිවසේ අසනීපව වෙසෙන ඇලෝයි සමඟ ඔහුගේ පුතෙකු වන දිනේෂ් ශ්‍රී මංගලගේ සහාය ඇතුව අප කළ කතාබහ ඇසුරෙන් සකස් කළ ලිපියකි මේ.

‘මා ගී පද රචකයෙකු වුණේ දෙවෙනි ලෝක මහ යුද්ධය පැවති කාලයේ අපි කොටහේන හිල් වීදියේ පදිංචිය අතහැර රාගම ප්‍රදේශයේ සුන්දර පරිසරයක පදිංචියට යාමත් සමඟ කියලයි මට හිතෙන්නේ. ඒ ගැමි පරිසරයේ වෙල්යාය, වැලි පාර, ගස්වැල්, මල්, ගැමි ලඳුන් මගේ සිතේ නැවුම් හැඟුම් ඇති කළා. ඒ හැඟුම්වලින් කවි ලියැවුණා. මං ඉගෙන ගත්තේ කොටහේනේ කුමාර සහ ගුණානන්ද විදුහල්වලිනුයි. ඒ කාලේ ඉඳලම මම නිවේදන, ගායන, කවි, නාට්‍ය සහ ගී පද රචනය වැනි කලා අංශයන්ට යොමු වුණා.’

* ඔබ මුලින්ම සම්බන්ධ වූණේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට නේද?

ඔව්. 1952 දී පමණ සිට කොටහේන හිල් වීදියේ මහවත්තේ ‘රත්තරන් පොත’, ‘ඇස් දෙක’, ‘කාගෙද පුටුව’ යන නාට්‍ය සහ වෙසක් නාට්‍ය ආදිය මං රචනා කර රඟ දැක්වූවා. 1976 දී ලයනල් වෙන්ඩ් රඟහලේ එළිදැක් වූ ‘තාත්තයි පුතයි මමයි’ වේදිකා නාට්‍ය කළෙත් මමයි. එමෙන්ම ‘දකුණේ සිද්ධාර්ථ’ නාට්‍යයටත් මා රචනයෙන් දායක වුණා.
 

ආලේහි බැඳී ජීවිත

අඳුරේහි ගැලේවි

සැමදාම ලොවේ නැහැ සැප

ශෝකය ද සදාවි . . .!
 

(ගැයුම - ජේ. ඒ. මිල්ටන් පෙරේරා)

* ගී පද රචකයෙකු ලෙස ඔබ මුලින්ම දායක වූ ගීතය කුමක්ද?

මා නිර්මාණය කළ හැම වේදිකා නාට්‍යයකම ගී ලියුවෙත් මමම තමයි. ඒත් ඒ කාලේ පිළිගැනීමේ හැටියට ගුවන් විදුලියට ගීතයක් ලියුවේ මගේ හොඳම මිතුරා වූ මිල්ටන්ටයි. මිල්ටන් මගේ ගී දෙකක්ම එදා ගායනා කළා. ගුවන් විදුලියේ ස්්වදේශීය සේවයට මිල්ටන් ගැයූ ‘මට ආලෝක පෑ මාගෙ පියේ’ සහ ‘දී මා හදෙහි ඔබ ආදර ගුණ’ ගීත දෙක තමයි ඒ. ඒත් පසුව මිල්ටන් ගුවන් විදුලියේ වෙළඳ සේවයට ගායනා කරපු ‘ආලේහි බැඳී ජීවිත’ ගීතය තමයි අපි දෙන්නාගේම මුල්ම ගීතය ලෙස සැළකෙන්නේ. මේ ගීතයෙන් තමයි මුලින්ම මාව ගී පද රචකයෙකු ලෙසත් මිල්ටන්ව ගායකයෙකු ලෙසත් මේ රටේ ගීත රසික රසිකාවන් හඳුනා ගත්තේ.

* ඔබේ කලා දිවියට මිල්ටන්ගේ පියා වූ තබ්ලා පොඩි අප්පුහාමිගේ නම සම්බන්ධ වෙන්නේ කෙසේද?

මිල්ටන්ගේ පියාගේ සින්දු කාමරයේදී තමයි මගේ මිතුරු ජෝතිපාල, රූපසිංහ, මොහොමඩ් ගවුස් සහ එඩී මාස්ටර්ලා වැනි සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණේ. අපේ වගේම මිල්ටන්ගේ ගායන දිවියටත් ඔහුගේ පියාගේ සින්දු කාමරය හොඳ තෝතැන්නක් වුණා. මිල්ටන් ගුවන් විදුලියේ ස්වදේශීය සේවයට ගායනා කරපු මුල්ම ගීත දෙක පිය ගුණ ගීත දෙකක්. මම ඒ ගීත ලියුවේ මිල්ටන්ගේ පියා වෙනුවෙනුයි.

* ඔබ වැඩිපුරම ගී ලියා තිබෙන ගායන ශිල්පියා ජෝති ද නැත්නම් මිල්ටන් ද?

ජෝතිටයි මිල්ටන්ටයි එක හා සමානව ගීත සිය ගණනක් ලියා තිබෙනවා. ගුවන් විදුලියටයි, කැසට්වලටයි තමා ඒ ගීත වැඩිපුරම ගායනා කෙරුණේ. ඒ අපි තුන් දෙනාගේම තරුණ කාලේ අපිට ලැබුණු ආදර අත්දැකීම් එකිනෙකා සමඟ බෙදා ගන්න තරම් අපි සමීප මිත්‍රයෝ වෙලා උන්නේ. ඒ සැබෑ අත්දැකීම් ඇසුරෙන් මා ලියූ ගීත තමයි ඒ කාලේ වැඩිපුරම ජෝතියි මිල්ටනුයි ගායනා කෙරුවේ. උදාහරණ වශයෙන් කියනවා නම් ‘ඔබට නම් නැහැ නේද රත්නේ’, ‘වෙන තරුණියකගෙ දෑත රැගෙන මට’, ‘කවුරුවත් වින්ඳේ නැහැ මේ වාගෙ දුකක්’, ‘බැලුවේ නැහැනේ මාගෙ දිහා’ වැනි ජනප්‍රිය ගීත ඒ අතරින් කිහිපයක්.’
 

ඔබට නම් නැහැ නේද රත්නේ

මට වගේ දුක් වේදනා

නැද්ද මගෙ මුළු ජීවිතේටම

ගන්න ඔබෙ අත වාසනා . . .!
 

(ගැයුම – මිල්ටන් පෙරේරා)

* ඔබේ මෙම ගී පොතට ඇතුළත් ඇතැම් ගී සඳහා කලකට පෙර වෙනත් පද රචකයන්ගේ නම් යොදාගෙන ඔබට අසාධාරණයක් සිදු කෙරුණා නේද?

අනේ ඔව්. එහෙම වුණා නම් තමයි. පසුව මමත්, මගේ මංගල පුතාත් ඒවා වගකිවයුත්තන්ට පෙන්වා කරුණු සනාථ කළා. දැන් නම් මා දැනුවත්ව මට කවුරුත් අසාධාරණයක් කරන්නේ නැහැ. කළත් ඒවා ගැන කියලා ලියලා අපේ සිත් අපිරිසිදු කරගන්න ඕනෑ නැහැ. අපි අහිංසක කලාකාරයෝනේ. මට අයිති දෙයක් තියෙනවා නම් ඒවා මට කවදා හරි ලැබෙයි. දැන් මේ මගේ ගීත පොතත් පළ වෙලා තියෙනවා වගේ මට අයිති හැමදේම කාලය විසින් ලබා දෙයි කියා මං හිතනවා. ඒ නිසා මට වෙච්ච අසාධාරණ වගේ දේවල් මේ වගේ හොඳ වෙලාවක මතක් කරන්න ඕනෑ නැහැ. කෙසේ හෝ කැසට් යුගයේදී මට හැකියාව ලැබුණා මගේ පද රචනා සඳහා අනන්‍යතාවය ඔප්පු කරන්න. පසුව ‘පායා ඇයි හිනැහෙන්නේ’ නමින් එළිදැක් වූ සංයුක්ත තැටියෙනුත් මං මගේ ගී පදමාලාවල අනන්‍යතාවය තහවුරු කළා.

* ඔබේ ‘මධුර භාෂිණී’ ගීි පොතට පසුවදන ලියන ප්‍රවීණ මාධ්‍යවේදී ජයන්ත පීරිස් ඔබව ඳුන්වන්නේ ‘50 දශකයේ ගීත සාහිත්‍යයේ සන්ධිස්ථානයක් ඇති කළ ප්‍රථම ගී පද රචකයා’ ලෙසයි. ඒ පිළිබඳව ඔබට හැඟෙන අයුරු පවසන්න පුළුවන්ද?

මගේ ගී පදමාලා වලින් 50 දශකයේ ගීත සාහිත්‍යයේ සන්ධිස්ථානයක් ඇති වී තිබෙනවා නම් එය මට සතුටක්. මෙවැනි ඇගැයීමක් මා වෙනුවෙන් කළාටත්, මා ලියූ පදමාලා ඇතුළත් ගීත රසිකයන්ට ගුවන් විදුලි වැඩ සටහන් මඟින් හඳුන්වා දෙමින් ඉටු කරන මහඟු මෙහෙයටත් මා ජයන්ත පීරිස් මහත්මයාට මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ මංගල පුතා සමඟ එක් වී මේ ගීත පොත ප්‍රකාශ කර බෙදා හැරීමේ කටයුතු කරගෙන යාමට බාර ගත් දන්කොටුවේ ‘රසාංජලී’ ප්‍රකාශකයන්ටත් ස්තුතියි.

* ඔබේ ගීත පොතේ අඩංගු පදමාලාවන්ගේ කිසියම් විශේෂත්වයක් තිබෙනවාද?

මං හිතන්නේ ජෝති ගායනා කළ ගීත පනහකට වැඩි ගණනක් මේ ගී පොතේ පළ කර තිබීම එක් විශේෂයක් වේවි. තව ද එදා පරපුරේ වසන්තා සන්දනායක, රුක්මණී දේවි, ජෝති, මිල්ටන්, ධර්මදාස වල්පොලගේ පටන් මෙදා පරපුරේ ගාමිණී පතිරණ දක්වා ගායක ගායිකාවන් විසින් ගායනා කළ මා ලියූ පදමාලා සමඟ ‘ඇහැළෙපොළගෙ පුංචි පුතා මද්දුම බණ්ඩාර’, ‘උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ’ (ඇන්ටන් රුද්‍රිගු), ‘පුෂ්ප පිපී ලස්සන දේ’, ‘ගුණදහම හොඳ නරක කණපිටට පෙරලුණා’ (ඒ. එම්. යූ. රාජ්), ‘රඟපාන ඔබ කවුද සුකුමාලියේ’ (වී වර්ධරාජා), ‘රත්තරන් කූඩුවේ ඉන්න රන් කිරිල්ලියේ’ (හරූන් ලන්ත්‍රා, විජිත කුසුම් ලියනගේ, ’සුවඳයි මුවේ මල්පැණි (සුමිත් අහංගම), ‘ඔබේ පිනට පායන සඳ හරියට සීතයි’ (හරූන් විජය කුමාරණතුංග, නිමලා අතපත්තු), ‘මං පොඩි කාලේ දැක්කට පස්සේ’ (හෙන්රි පෙරේරා) වැනි ජනප්‍රිය ගී රැසක පදමාලා මේ පොතට ඇතුළත්වීමත් විශේෂයක් කියා මං හිතනවා. මේ හැම ගී පද මාලාවක්ම මම මගේ හදවතින්ම ආසාවෙන් ලියූ පදමාලා මිස මුදල් බලාගෙන ලියපුවා නෙමේ. ජෝති ගැයූ තවත් ගීත සමඟ ‘ඇස් දෙක වාගෙ හිටිය දෙන්නට’ ගීතය ඇතුළත්ව ඒ නමින්ම ගී පොතක් ද ඉදිරියේදී පළ වෙනවා.

‘ජීවිතේ – ජීවිතේ ප්‍රීති සංචාරෙකි ලොවේ

ගමන මිහිරියි රසයි විනෝදයි

සිත දිව රෑ රැඳෙයි සුවේ . . .!
 

ගැයුම – ධර්මදාස වල්පොල

එලෙස ‘කේසර සිංහයෝ’ චිත්‍රපටයට පසුබිම් ගීතයක් ඇලෝයි ලියා ඇති නමුත් ඔහුගේ ජීවිතය ‘ප්‍රීති සංචාරයක්’ වීදැයි අපට නම් පැනයකි.

මන්ද බරපතළ හෘද රෝගයකින් පෙළෙන ඇලෝයි වයෝවෘද්ධ හෙයින් අදාළ ශල්‍යකර්මය කළ නොහැකිව නිවසට වී කල දවස ගෙවන්නට ඔහුට සිදු වී ඇති නිසාය. සිය ආදරණීය බිරිඳ සුමනාගේත්, දරුවන්ගේත් සත්කාර හැරෙන්නට කලා ක්ෂේත්‍රයේ කිසිවෙකුගේ හෝ ළෙන්ගතුකමක් මෙතෙක් හිමි වී නැති ඇලෝයි ශ්‍රවණාබාධයකින් ද පෙළෙන හෙයින් ළඟින් හිඳ කතාබහ කර පහදා දීමෙන් මිස දුරකථනයෙන් ඔහු හා සම්බන්ධ වීමට නොහැක.

ජනප්‍රිය සරල ගී පද රචනා කලාවෙන් අහන්න, විඳින්න පුළුවන් ගී නිර්මාණ ගණනාවක්ම සිංහල ගී පද රචනා සාහිත්‍යයට දායාද කර දී සිටින ඇලෝයිව මෙලෙස හුදකලා නොකොට අගයන්නේ නම් මේ ඊට අවස්ථාවයි. කිසියම් කලාකරුවෙකු හට උපහාරයක්, අගැයීමක් කරන්නේ නම් එය වඩා සුදුසු වන්නේ ඔහු හෝ ඇය ජීවත්ව සිටියදී යයි අපි සිතමු. තවමත් ඇලෝයි ගුණවර්ධන කලාකරුවාණන් ජීවතුන් අතර සිටියි. ඉතින් ‘මළවුන්ට දෙන මල් වඩමකට වඩා ජීවතුන්ට දෙන එකම එක රෝස මලක්’ වුව එය අගේ නොවනු ඇද්ද?