වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




වයලින් වාදචකයාගේ ජීවිතය අවදානමක

වයලින් වාදචකයාගේ ජීවිතය අවදානමක

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සංගීත ගුරුවරයා වූ ජයන්ත සිරිසේන පියාගේ අඩිපාරේ යමින් ප්‍රණීත් සාරංග දක්ෂ වයලීන වාදකයකු වන ලකුණු පෙන්වූයේ පාසල් අවධියේ සිටයි. පාසල් සිසුවකුව සිටියදී ම සමස්ත ලංකා වයලීන තරගවලින් ජය ගැනීමට ඔහු සමත් විය. යෞවන සම්මාන උළෙලේ දී ඒකල වයලීන ඉසව්වෙන් හොඳම වාදකයා බවට ද පත් වූ ප්‍රණීත් 1994 වසරේ දී වයලීන වාදකයෙක් ලෙසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවයට බැඳුණේය.

වාදකයකු ලෙස සේවය කරන අතරේ ම ඔහු දැයේ දූ දරුවනට තම සංගීත දැනුම අඩුවක් නැතිව ම බෙදා දෙන ගුරු පියකු ද විය. ගී තනු නිර්මාණ ශිල්පියකු වන ප්‍රණීත්ගේ නිර්මාණ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව නිෂ්පාදනය කළ ජාතික තොටිල්ල හා ගී මියැසිය වැඩසටහන් විචිත්‍රවත් කළ අවස්ථා බොහෝ විය.

එපමණකුදු නොව මෙරට රූප මාධ්‍යයන් බොහොමයකින් පැවැත් වූ සංගීත වැඩසටහන්වලින් ඔහු ඔබේ ආලින්දයට පැමිණ ඇත. ඒ, සිරස ටී.වී හි සංගීත සාජ්ජේ, ජාතික රූපවාහිනියේ රිදම් චැට්, ශනිදා ආයුබෝවන්, නුග සෙවණ, ඉරෂ්මි හා ටී.වී. ලංකා තුළිනි. රණවිරු රියල් ස්ටාර් වැඩසටහනට ද ආරම්භයේ සිට ම වයලීන වාදකයකු ලෙසින් තම දායකත්වය සපයන ප්‍රණීත් ඔබ අප සියලු දෙනාට සංගීත රසය බෙදා දීමට සමත් වූ ශිල්පියෙකි. වයලීනයෙන් සුවහසක් සිත් සතන් අමන්දානන්දයට පත් කළ ඔහුගේ මියුරු සත්සර තුළ ගැබ් වූ නොඇසෙන ශෝකී රාවයක් ද විය.

මේ වන විට වකුගඩු දෙකම අක්‍රීය වීම නිසා ප්‍රණීත් සිටින්නේ ජීවිත අවදානමකයි. මේ ඔහුට අපගේ උදවු උපකාර හා කරුණාව ලැබිය යුතුම මොහොතකි. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නම් හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ අදහසයි. අනුන්ට කරදරයක් වීමට අකැමැති මේ සොඳුරු වාදකයා වසර කිහිපයක් තිස්සේ තමා උපයන මුදල් ශල්‍යකර්මය සඳහා යෙදවීමට සිතුවත් දෙදරු පියකු ද වන ඔහුට එය අසීරු කටයුත්තකි.

ප්‍රණීත් වෙනුවෙන් ඔබටත් යමක් කළ හැකි නම් මේ එයට හොඳම අවස්ථාවයි. 071-8012848 හා 0777565505 දුරකතන අංකවලින් ඔබට ඔහු ඇමතිය හැකිය.

පෑන් ඒෂියා බැංකුවේ (ගාල්ල ශාඛාවේ) 254934410213 හෝ සෙලාන් බැංකුවේ 061002211540101 යන ගිණුම් අංකවලට ඔබගේ පරිත්‍යාගය බැර කළ හැකියි.