වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ගුවන් පාලම අවසන්

ගුවන් පාලම අවසන්

ස්විට්සර්ලන්තයේ ගුවන් පාලම රූගත කළ කාලය ගැන ශ්‍රියාණි කියන රස කතා

කුල බේදයේ ආදීනව ගැන ටෙලි නාට්‍යයක් කරන්න ඕනෑ කියලා කලෙක සිට මගේ සිතෙහි අදහසක් තිබුණා. එමඟින් අප සමාජයට වැදගත් පණිවුඩයක් ලබා දෙන්නත් ඕන කියලත් මං හිතුවා. මේ කරුණු කාරණා හිතේ තියාගෙන සුනන්ද සිල්වාට එහි පිටපත රචනා කරන්න දුන්නා.

ගුවන් පාලම.

එහෙමයි මා ඒ නාට්‍යයට නම දුන්නේ. ගුවන් පාලම ස්විට්සර්ලන්තයේ නිර්මාණය කළොත් හොඳයි කියලා මට අනන්තවත් හිතුණා. එහි දර්ශන තල හරිම ලස්සනයි. මං මීට පෙර ජයතුරා සංඛය නමින් ටෙලි නාට්‍යයක් රූගත කළා එහේ. ඒක හින්දා මං ස්විට්සර්ලන්තයට කුලුඳුල් නැහැ. එහෙ මගේ මිත්‍රයෙක් ඉන්නවා රොෂාන් ප්‍රනාන්දු කියලා. මං ඔහුට ගුවන් පාලම ගැන කිව්වා. සාකච්ඡා වට කිහිපයකින් පසුව ඔහු ගුවන් පාලම නිෂ්පාදනය කරන්න එකඟ වුණා. පසුගිය අප්‍රේල් හතර වැනිදා මම, සුසන්තා චන්ද්‍රමාලි, තිසුරි යුවනිකා, මිලාන් සඳරුවන් ඇතුළු නළු නිළියන් එකතු කරගෙගන ස්විට්සර්ලන්තයට යන්න පිටත් වුණා. පැය කිහිපයක් ගත වූ තැන අපි ස්විට්සර්ලන්තයේ සුරිච් නගරයේ ගුවන් තොටුපොළට ළඟා වුණා. රොෂාන් සහ ඔහුගේ බිරිය ඩිලු අපිව මහත් හරසරින් පිළිගත්තා. මෙච්චර වෙලා කියව කියව හිටපු අපි ගොලු වුණා සුරිච්වලදී.

අපව ගල් වුණා කිව්වොත් වැරැදි නැහැ. එච්චරට එහෙ සීතලයි. රොෂාන් වහ වහා සීතල නැති කරගන්න ක්‍රමෝපායන් කියලා දුන්නා. ඒ හීතලට ලෙඩ වුණොත් සතියක් විතර එක තැන ඉන්න වෙනවලු. රොෂාන් උපදෙස් දී අපිව නවාතැන්පොළට ගෙනිච්චා. සුරිච් නගරයේ හැම තැනම කඳු. ඒවා හාරලයි ඒ ප්‍රදේශයේ මිනිස්සු මං මාවත් පවා හදලා තියෙන්නේ. අපි නැවතුණේ රොෂාන්ලගෙ ගෙදරක. ඒක හරිම ලස්සන කඳු දෙකක් මැදයි පිහිටලා තිබුණේ. නිලට නිලේ කඳු බැබලෙද්දී පුදුමාකාර විදිහට හැඩයි. ඒ විතරක් නෙවෙයි, ගේ ඉස්සරහ ලොකු ෆාම් එකකුත් තියෙනවා. සුදුපාට පුලුන් ගුලි ගුලි වගේ බැටලුවො පිරිලා. ගුවන් පාලමට මේ දර්ශනත් යොදා ගන්න ඕනෑ කියලා මං හිතුවා. ඔන්න රූගත කිරීමේ පළමු දවස උදා වුණා. සුරිච්වල ඉඳලා කිලෝ මීටර් දහයක් එකොළහක් විතර එහායින් තිබුණු පාක් එකකයි රූගත කරන්න තිබුණේ. රොෂාන් සතුව වාහන දෙකක් තිබුණා.

ඉන් එකක් රොෂාන් පදවන්නත් අනෙක් එක අපේ කවුරු හරි ගෙනි යන්නත් හිතාගෙන උන්නේ. රොෂාන් පළමුව පිටත්ව ගියා. ඊට පස්සේ අපේ කෙනෙක් අනෙක් වාහනය ඩ්‍රයිව් කරන්න සූදානම් වුණා. ඒ රටේ වාහනවල සුක්කානම තියෙන්නේ වම් පැත්තේ. ඩ්‍රයිව් කරන කෙනාට විතරක් නෙවෙයි මටත් ඒක නුහුරුයි. ඔහුට වැඩිදුර එලවන්න ලැබුණේ නැහැ. වාහනය නවත්ව ගත්තා. තව කෙනෙක් වාහනය ගත්තා. ඔහුටත් හුරු නැහැ. අන්තිමේ එංගලන්තයේ ජීවත්වන විමල් අලහකෝන් කියන නළුවා රියදුරු අසුනේ වාඩි වුණා. ටික දුරක් ආවා. වැඩේ හරි. ඔහු කාලයක් එංගලන්තයේ හිටියනෙ. වම් පැත්තෙ සුක්කානම තියෙන වාහන ඔහුට ටිකක් හුරුයි. කොහොම හරි අන්තිමේ අපේ නිත්‍ය රියදුරා බවට ඔහු පත් වුණා. සුරිච් පාක් එකේදී අපිට නියම වැඩක් වුණානේ. ෂූට් එක කරගෙන යද්දී බයිසිකලයකින් ආපු කාල වර්ණ පුද්ගලයෙක් අපි දිහා බලාගෙන හිටියා.

ඔහු අපෙන් ඇහැව්වා සිංහල ද කියලා.

මං ඔව් කිව්වා. ටික වේලාවක් ගියාම ඔහු දෙමළෙන් බැනගෙන බැනගෙන ගියානේ. පසුව මට දැනගන්නට ලැබුණු පරිදි ඔහු කුණුහරුප කියලා තියෙන්නේ.

නිෂ්පාදකවරයා කිව්වා සිංහල අය ගැන වැරැදියට හිතාගෙන ඉන්න අය ඕනෑ තරම් ඉන්නවලු. මේත් ඒ වගේ කෙනෙක්ලු. අපි නම් හොඳටම බය වුණා. ධනංජය සිරිවර්ධන ගුවන් පාලමේ ආපන ශාලා සේවකයකු විදිහටයි රඟපාන්නේ. ඒ ඇඳුම් අන්දලා ගත්තම ධනංජයව අඳුන ගන්නත් බැහැ. කිහිප දෙනෙක් රැවටිලා ධනංජයට කෑම ඕඩර් දුන්නා. ඔහු ඉතාමත් රසවත්ව ඒ අත්දැකීම්වලට මුහුණ දුන්නා. සුරිච්වල කොච්චර සීතල වුණත් හිම තිබුණේ නැහැ. මට ඕනෑ වුණා හිම මැද ෂූට් එකක් කරන්න. රොෂාන් අපිව එක්කගෙන ගියා කූර් ප්‍රදේශයට. එහෙ හිම හැම තැනම. හිම දැක්කා විතරයි නළු නිළියෝ පොඩි ළමයි ගානට වැටුණා. මාත් එහෙමයි. හිමවලින් ගහ ගත්තා. හිම මැද සෙල්ලම් කළා. ඒ කටයුතු ඉවර වුණාට පස්සෙයි රූගත කිරීම් පටන් ගත්තේ. හරිම විනෝදයි. හැමදාම රූගත කිරීම් ඉවර කරලා ගෙදරට එද්දී ඩිලු අපට සලාදයක් හදලා තියෙනවා.

හප්පා . . . ඒකේ රහ. ඔලිව් ඔයිල් සහ සලාදවලටම අවේණික වූ ගෙඩි ජාතියකින් ඒක හදල තිබුණේ. සමහර දවස්වලට අපි රෑට කෑවේ නැහැ. මේ සලාදෙන් බඩ පුරවා ගත්තා. ගුවන් පාලමේ රූගත කිරීම් දැන් අවසන්. හරිම අමාරුවෙන් ස්විට්සර්ලන්තය දාලා ආවේ. එහෙදි අයි. ඩී. අනුර, නිහාල් ලියනගේ, සාගරිකා, නිමල් ගුණරත්න, ඉරානි ගුණරත්න යන මිතුරු මිතුරියන් ගුවන් පාලම තනන්න බොහෝ සෙයින් උදව් වුණා. ඒ අයට මං තුති පුදනවා. මේ දිනවල ගුවන් පාලම එඩිට් කරනවා. ළඟදීම එය දැක බලාගන්න ලැබේවි. මං විශ්වාස කරනවා ගුවන් පාලම ප්‍රේක්ෂක ඔබට අපූරු වින්දනයක් ගෙන ඒවි කියලා.

මම ගුවන් පාලම අධ්‍යක්ෂණය කළ ශ්‍රියාණි අමරසේන.