වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




මං යක්ක ගෝත්‍රිකයෙක්

මං යක්ක ගෝත්‍රිකයෙක්

චිත්‍රපට සඳහා අංගම් සටන් නිමවන වන්නකුවත්ත වඩුගේ සඳුන්

තරුණයා මා අබියසය. රාජාලියකුට ආභරණයක් වූ සිහින් දිගැටි ඇස් දැරූ මේ තරුණයා ජව සම්පන්නය. ඉඳහිටි රැවුල මැද පිපෙන ඉද්ද මල් හිනාව මේ ජවසම්පන්න බවට එක් කළේ අමිල ආභරණයකි. හේ කවුරුන්දැයි මම තවම නොදනිමි. එහෙත් ඔහු යම් විෂයක් ප්‍රගුණ කරන ස්වභාව දහමේ ජීව ගුණ සුවය හා සුවඳින් පෙනහළු පුරවාගත් අයකු ලෙස මට හැඟෙයි. එක එල්ලේම දෑස දෙස බලා කතාකරන හෙතෙම සංවරශීලීය.

“ආයුබෝවන්... මම සඳුන්”

ඔහුගේ කතාවෙහි ගැබ්ව ඇත්තේ මහත්මා ගතියකි.

ඔහු මීට පෙර මා දැක තිබුණේ චිත්‍රපටවල සටන් ජවනිකාවල පමණි. සඳුන් හා මම මුහුණට මුහුණ හමුවන පළමු වාරය මෙයයි. ඔහු චිත්‍රපටවල සටන් කලාවේ පෑ ප්‍රතිභාව වික්‍රමාන්විතය. අංගම් සටන් ක්‍රමය ලංකාවේ චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිර්මාණ සඳහා ගෙන ඒමට මෙන්ම එම කලාව නිවැරැදිව නිර්මාණවලට ලබාදීමට සහන් උත්සහා ගනී. ඔහු කදිම නිර්මාණ කරුවෙකි. සටනට මෙන්ම රඟපෑමට ද සහන් දක්‍ෂයෙකි.

මා පි‍්‍රය අංගම් පොර සටන් කලාව ගැන පැන රැසකි. කතාන්දර ගොඩකි.

මා ඒ ගැන කතාවට ප්‍රථම ඔහු පිළිබඳ පෞද්ගලික තොරතුරු ගොනුව දිග හැරියෙමි. මේ තරුණයා ආදී ආනන්දියෙකි. ආනන්දියන්ගේ දැකිය හැකි හික්මීමේ ගුණය නිතැතින්ම ඔහුට ද සතු වූවක් වේ. ඔහු සමඟ කතා කිරීමට දැන් බොහෝ දේ ඉතිරිය.

ලංකාවේ අංගම් සටන් ශිල්පය ශීග්‍ර වශයෙන් සාමාන්‍ය ජන සමාජය තුළට පැමිණෙන්නේ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂණය කළ සදා අමරණීය දඬුබස්නා මානය හරහාය. ඉන් අනතුරුව අංගම් පොර ක්‍රමය මූලික කොට ගනිමින් නිම වූ නිර්මාණ රැසකි. ඉන් ඇතැම් නිර්මාණ හරහා සිදු වූයේ සටන් කලාවට නිග්‍රහයකි. මේ කතාබහ ඇරඹීමට සුදුසුම තැන එතැනයි.

“ඇත්ත. ඒක තමයි අපේ උදවියගේ ක්‍රමවේදය. කෙනෙක් මොනවා හරි කළොත් තවත් කෙනෙක් ඒකම කරනවා. ඕනෑම කලාවකට පදනමක්, රසික පිරිසක් වගේම ගෞරවයක් තියෙනවා. ඒ ඒ ක්ෂේත්‍රයේ නියැළී සිටින පිරිස් මේ ගෞරවය රැකීමට කැපවෙලත් ඉන්නවා.

ජයන්ත චන්ද්‍රසිරි මහත්මාට ප්‍රථම මද්දුම බණ්ඩාර කතාවෙත් අංගම් පොර ශූරයන් අපට හමුවුණා. නමුත් ඒ වකවානුවට වඩා අද තාක්‍ෂණය බොහෝ දියුණුයි. අද මාධ්‍ය තුළින් දකින බොහෝ දේ රසිකයා තවදුරටත් අධ්‍යයනය කරනවා. මේ අධ්‍යයනය නිසා අංගම් පොර සටන් කලාවට හොඳ තැනක් ලැබිලා තියෙනවා.

ඒ වගේම නිර්මාණ හරහා අංගම් සටන් කලාව ප්‍රචාරය වෙද්දී අංගම් පොර සටන් කලාවට කිසිසේත් සම්බන්ධ නොවූ පුද්ගලයන් නිර්මාණවලට දායක වෙන්නට පටන් ගැනීම මේ උත්තරීතර කලාවට කරනු ලබන නිග්‍රහයක්. ඒ නිසා නිර්මාණ සඳහා දායක කර ගැනීමේදී හොඳ පළපුරුද්දක් ඇති මේ නළුවන්ව තීව්‍ර පරීක්‍ෂණයක් කොට අංගම් පොර පිළිබඳ ගෞරවයක් ඇති පිරිස තෝරා ගැනීම වැදගත්.

ඔබත් නිර්මාණ සඳහා දායකත්වය ලබා දෙනවා. ඊට මුදලක් ලබා ගන්නවාත් ඇති. ඔබත් මේ උත්තරීතර කලාව මුදලට විකුණන කෙනෙක් කියලා චෝදනා කළොත්?

නැහැ. මේ උත්තරීතර ශිල්ප ක්‍රමයේ වටිනාකම මිල කරන්නට බැහැ. උරුමය හා කැපවීම කියන ද්වි සංකල්ප මත තමයි මේ කලාව පිහිටන්නෙ. ශිල්පයට තියනා පඬුරක් ලෙස මුදලක් ලබා ගන්නවා. නමුත් අංගම් පොර සටන් කලාව විකුණගෙන කන්න බැහැ. නමුත් එහෙම පිරිසකුත් ඉන්නවා. ඔවුන් ඕනෑම වෙලාවක ඕනෑම දේකට අපේ සටන් කලාව යොදා ගන්නවා. මේ සටන් කලාව ප්‍රචලිත කිරීමට වඩා ඔවුන්ට අවශ්‍ය චරිත විදියට එළියට ඒම. නමුත් අපේ පිරිසට රස්සාවලින් මුදල් ලැබෙනවා. ඒ නිසා සටන් කලාව විකුණන්න අපට අවශ්‍ය නැහැ.

ඔබ මොන ගුරු කුලයේ කෙනෙක්ද?

මෙහෙමයි. අංගම් පොර සටන් ක්‍රමය ප්‍රගුණ කිරීමේ ක්‍රම දෙකක් තිබෙනවා. ඉන් පළමු ක්‍රමය තමයි ලේ ඥාතිත්වය මත උරුමය. අනෙක් ක්‍රමය ගුරුවරයා ගෙන් ලැබෙන උරුමය. මම පාරම්පරික ශිල්පියෙක් කියලා බොරු කියන්න වුවමනා නැහැ. මට මේ ශාස්ත්‍රය ලැබුණෙ ගුරුවරයාගෙන්. ඒ නිසා මං මරු වල්ලියෙ කෙනෙක්, මං සුදලියෙ කෙනෙක් කියලා කියන්න වුවමනා නැහැ.

මොනවද ඔබ සම්බන්ධ වුණු නිර්මාණ?

මමත් මගේ සහෝදරයා සුමුදුත් තමයි අංගම් පොර ශිල්පය සඳහා සම්බන්ධ වෙන්නෙ. අපි මහින්දාගමනය, සිරි දළදාගමනය, වීදිය බණ්ඩාර, ආලෝකෝ උදපාදි වැනි චිත්‍රපටවල සටන් අධ්‍යක්‍ෂණය කොට තිබෙනවා. භවතරණ, භව සිද්ධ, කල්පා කුමරි වැනි කෘතිවල අපි සටන් ජවනිකා මෙහෙයවනවා.

ඔබ කියන්නෙ ලංකාවේ පාරම්පරික උරුමකරුවන් දැන් නෑ කියලද?

නැහැ ඉන්නවා. ඔවුන් කරළියට එන්නෙ සීමිත වශයෙන්. පාරම්පරික උරුමකරුවන් කැපී පෙනෙන්නට උත්සාහ කරන්නෙ නැහැ. කවදාක හෝ දිනක සියලුම පාරම්පරික අංගම් කරුවන් එකතු වේවි.

ඔබ පවසන්නේ දැන් අංගම් පොර සටන් අධ්‍යක්‍ෂණය කරන කිහිපදෙනා බොරු කාරයන් බවද?

නැහැ, මං එහෙම කියන්නෙ නැහැ. අද ලංකාවේ සිටින බොහෝ සටන් අධ්‍යක්‍ෂවරු තමන් අංගම් පොර සටන් ශිල්පීන් බව පවසනවා. නමුත් ඔවුන්ගේ සටන් දෙස බලද්දි ශිල්පය හදාරා ඇති ආකාරය පැහැදිලි වෙනවා. බොරුවට මේ ක්ෂේත්‍රයේ ඉඩ නැහැ. ඒ නිසා බොරු කාරයන් ඉතාමත් ඉක්මනින් විසිවෙලා යනවා.

ගොයුම් සෙවණැල්ලේ රණ සූරයා ගැන කතා කරමු?

පහත රට අංගම් ශිල්පය ගැන තීව්‍ර ගවේෂණයකින් පස්සෙ තමයි මේ පොත ලියවෙන්නෙ. මේ පොත ඔස්සේ සටන් කලාව බිහිවූ ආකාරය, අංගම් සටනේ අන්තර්ගතය, හරඹ, ආයුධ, ඡ්‍යොතිශය වැනි බොහෝ කරුණු කාරණා අන්තර්ගත වෙනවා. අංගම් පොර පිළිබඳ හදාරන්නන්ට වගේම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන හැමෝටමත් මේ පොත හොඳ පරිශීලන ග්‍රන්ථයක් වේවි කියලා මං හිතනවා.

කොහොමද ඔබේ ඉදිරි සැලසුම?

මෙහෙමයි, ලොකු බලාපොරොත්තු නැහැ. නමුත් මගේ පාඩුවේ ගමන යන්න තමයි හිතාගෙන ඉන්නෙ. මං කාටවත් මඩ ගහන්නෙ නැහැ. අපේ උරුමය වෙනුවෙන් පෙනී ඉන්න තමයි සූදානම.

ඔබත් සුමුදුත් යක්ක ගෝත්‍රිකයන් වන බව සඳහන් කරනවා?

ඔව්, ජ්‍යෙෂ්ඨයන්ගේ දැක්ම හා විශ්වාසය අනුව ඔවුන් අපට ඒ වග තහවුරු කොට තිබෙනවා.