වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




එම්පයර් සිට එම්පයර් දක්වා

එම්පයර් සිට එම්පයර් දක්වා

මෙරට සිනමාහල් පද්ධතියට අලුත් සිනමාහල් යුගලක් පසුගිය සතියේ එක් විය. ඒ කොළඹ නිදහස් මාවතේ පිහිටි ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් වෙළෙඳ සංකීර්ණයේ පිහිටි එම්පයර් සිනමා ශාලාවන්ය. ගෝල්ඩි සහ ඩිලුක්ස් යන නමින් යුත් මේ සිනමාහල් යුගල අධි සුඛෝපභෝගි සිනමා ශාලාවන්ය. මේ අතරින් ද ආසන 20 කින් සමන්විත ගෝල්ඩ් සිනමාහල මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ගෙන එන්නකි.

අපේ සිනමා ඉතිහාසයේ එම්පයර් යන නාමය අලුත් එකක් නොවේ. මෙරට මුල්ම ස්ථාවර සිනමාහල නම් කරන ලද්දේ ද එම්පයර් යන නමිනි. කොළඹ ඉබ්බන්වල හන්දිය ආශ්‍රිතව බිහි වූ එම සිනමාහල 2003 වසර දක්වා චිත්‍රපට ප්‍රදර්ශනයේ නියැළිණි. එයටත් පෙර එම ස්ථානයේ පැවතියේ පබ්ලික් හෝල් නම් රංග ශාලාවයි. වාර්තාවන අන්දමට 1897 වසරේ මෙරට මුල් වරට චිත්‍රපටයක් තිරගත කොට ඇත්තේ ද පබ්ලික් හෝල් ශාලාවේය. කල්කටාවේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් ගණනාවක චිත්‍රපට ප්‍රදර්ශනයේ පුරෝගාමී වූ මදාන් තියටර් සමාගම පබ්ලික් හෝල් සිනමා ශාලා භූමියේ එම්පයර් සිනමාහල ගොඩ නඟන ලද්දේ 1912 වසරේදීය. 1936 වන විට මදාන් සමාගම වස්තු භංගත්වයට පැමිණ සහමුලින්ම විනාශයට පත් විය. එහි මෙරට දේපල අතර තිබූ එම්පයර් මෙන්ම මරදානේ එල්ෆින්ස්ටන්, බම්බලපිටියේ මැජෙස්ටික් වැනි සිනමා ශාලා සියල්ල ඒ වන විට දේශීය සමාගමක් ලෙස මෙරට සිනමාවේ පුරෝගාමී කර්තව්‍යක් ඉටු කරමින් තිබූ එවකට ළදරු සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම විසින් පවරා ගන්නා ලදී. පසු කලෙක වායුසමනය කරන ලද සුඛෝපභෝගී සිනමාහලක් ලෙස එම්පයර් සිනමාහල ජනාදරයට පත් විය. එම්පයර් සිනමාහලට යාබදව එකල තවත් කුඩා සිනමාහලක් පැවැති බව අපේ සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස් මැතිණිය වරෙක මා සමඟ පැවසුවාය. ලෝකයේ තැනෙන අතිශය විශිෂ්ඨ ගණයේ සම්භාවනීය චිත්‍රපට එකල තිරගත වූයේ එම කුඩා සිනමාහලේය.

මා එම්පයර් සිනමාහලේ මුල්වරට චිත්‍රපටයක් නැරැඹූයේ 1976 වසරේදීය. ඒ පුරා වසර දෙකකටත් වැඩි කාලයක් එම සිනමාහලෙහි තිරගත කොට වාර්තාවක් තැබූ අභිමාන් චිත්‍රපටයයි. 2003 වසරේ එය කඩා දමන්නට පෙර මා අවසන් වරට නැරැඹූයේ කැබරේ ක්වින් නම් චිත්‍රපටයයි. එය මදූර් බන්ධර්කාර් විසින් චාන්දනී බාර් නමින් කළ චිත්‍රපටයට දෙමළ දෙබස් කැවූ චිත්‍රපටයකි. එම විසි හත් වසර ඇතුළත එම්පයර් සිනමාහල කෙතරම් මට සමීප වීද යත් එම කාලය ඇතුළත එම සිනමාහලේ තිරගත වූ චිත්‍රපට 197 ක් මා නරඹා තිබිණි. මගේ ජීවිතයේ දුටු විශිෂ්ටතම චිත්‍රපටයක් වන සිටි ලයිට්ස් නැරැඹූයේ ද එම්පයර් සිනමාහලේදීය. එමෙන්ම එහි මා නැරැඹූ මුල්ම සිංහල චිත්‍රපටය එදින දර්ශනයෙන් පසු යළි කිසි දිනෙක මෙරට තිරගත වූයේ ද නැත. ඒ ධර්මසිරි වික්‍රමරත්න අධ්‍යක්ෂණය කළ ‘දහසක් මල්’ චිත්‍රපටයයි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ පසු කලෙක ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය නිෂ්පාදනය කළ නවීන් ගුණරත්නය. දහසක් මල් චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූයේ ද නවීන්මය. කෙසේ හෝ 2003 වසර අවසාන වන විට සිනමාහල සහමුලින්ම ඉවත් වී එහි එම්පයර් නමින්ම තට්ටු හතලිස් ගණනක නිවාස සංකීර්ණයක් ඉදි විය.

එම අවදිය වන විට මෙරට චිත්‍රපට නිර්මාණයේ පුරෝගාමීන් වූ උක්ත සිලෝන් තියටර්ස් සමාගම ද සිනමා කර්මාන්තයට වඩා වෙනත් ලාබ උපදවන ව්‍යාපාර පද්ධතියකට යොමු වෙමින් තිබිණි. එහෙත් දස වසක් සපිරෙද්දී ඔවුන් යළිත් එම්පයර් නාමයෙන්ම සිනමාහලක් සඳහා එක්වීම දෛවෝපගත කාරණයකි. පසුගිය මාස කිහිපය ඇතුළත අලුත් සිනමාහල් කිහිපයක් මෙරට බිහි විය. ඒ සිනමාහල් බහුතරය සුඛෝපභෝගී සිනමා ශාලාවන්ය. නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ නගරය ආශ්චර්යමත් නගරයක් බවට පත් කිරීමේ වැඩ පිළිවෙල යටතේ බිහි වුණ මුල්ම සිනමා සංකීර්ණය ලෙස යළි ඉපදුන එම්පයර් සිනමා ශාලාව අලුත් වාර්තාවක් පිහිටුවා ඇත. එමෙන්ම මේ ප්‍රවණාතාවය සිනමාලෝලියකු ලෙස මගේ ගෞරවය පිරිනැමීමට හේතුවක් වේ. ඒ වඩා නවීකරණය වන අලුත් සිනමා ශාලා දියුණු වන රටක ලක්ෂණයක් බැවිනි.

මෙරට සිනමා ශාලා ඉතිහාසය විමසීමේදී ප්‍රේක්ෂකයන්ට වඩත්ම යහපත් කාලය උදා වූයේ හැටේ දශකයේදී බව බැලූ බැල්මට පෙනෙන්නකි. ඒ කාලයේ හැටියට වඩා නවීකරණය වූ සුඛෝපභෝගි සිනමා ශාලා මුලින්ම ඉදි වන්නේත් ලෝකයේ හොඳම තරගකාරි චිත්‍රපට අපේ චිත්‍රපට හා තරග වැදෙමින් ප්‍රේක්ෂකයන් වඩාත් ගෝචර සිනමා අත්දැකීමකට සමීප වන්නේත් හැටේ දශකයේදීය. කොටින්ම සිනමා ශාලා යුගලක් සහිත මුල්ම සිනමා සංකීර්ණය කොළඹ ඉදි වන්නේ ද ඒ සමයෙහිය. අද කොළඹ කොම්පඤ්ඤ වීදියේ කිසිවෙකුගේ ඇස නොගැටෙන රියෝ සහ නවා යන සිනමා ශාලා ගොඩනැගිල්ල එහි මුල්ම සංකීර්ණයයි. කෙසේ වෙතත් හැත්තෑව දශකය අග භාගය වන විට අපේ සිනමා ශාලා පරිහානිය කරා ළඟා විණි.

බොහෝ සුඛෝපභෝගි සිනමා ශාලා වායු සමනය වැනි පහසුකම් අත්හරින ලද අතර ඇතැම් සිනමා ශාලා වැසී ගියේය. තවත් කිහිපයක් 1983 වසරේදී ගිනිබත් විය. එහෙත් එසේ ගින්නට හසුව විනාශව ගියේ පරිහානියට ලක් වුූ සමස්ත සිනමා ශාලා සංඛ්‍යාවෙන් අතිශය සුළුතරයකි. එයට එක් හේතුවක් ලෙස මා දකින්නේ ඒ අවධිය මෙරට සිනමාව සම්බන්ධව ගත් සෑම තීරණයක්ම හැම විටම නිෂ්පාදකයා සහ ප්‍රදර්ශකයා එකිනෙකා ආරක්ෂා කර ගත්තා විනා වඩා අවශ්‍ය වන පාරිභෝගිකයා වන ප්‍රේක්ෂකයා දිනා ගැනීම කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකළ නිසාවෙනි. කාලය ගත වෙත්ම චිත්‍රපට නැරැඹීම සිනමා ශාලාවක කළ යුත්තක් නොව නිවසේදීම කළ හැක්කක් බව පෙන්වාදීමට ප්‍රේක්ෂකයාට හැකි විණි.

අපේ සිනමා ශාලා යළි තරගයට මුහුණ දෙන්නට සූදානම් වූයේ කරවටක් දියේ ගිලුන පසුය. ඒ වන විට සිනමා ශාලා ව්‍යාපාරයේ රැඳී සිටියේ ඇම්ම නිසා එහි රැඳී සිටින සිනමා ලෝලී සිනමාහල් හිමියන් හෝ වෙනත් කිසිවක් නොදන්නා නිසා රැඳී සිටි අයයි. එහෙත් තරගකාරී අලුත් ඉඩකඩ සපුරමින් එයට පිවිසෙන්නේ අලුතින් සිතන සිනමා පරම්පරාවන්ගේ සාමාජිකයන්ය. ඔවුහු පැරැණි සිනමා සම්ප්‍රදාය වෙනුවට නිවසකදී නොලද හැකි සිනමා අත්දැකීමක් මෙරට ප්‍රේක්ෂකයන්ට අත්පත් කර දීමට උත්සුක වූහ. එමඟින් ඔවුන් ප්‍රදර්ශනයේ නවීන තරගයට මුහුණ දුන්හ. එම්පයර්, මැජෙස්ටික්, සැවෝයි, ලයිට් වැනි සිනමා ශාලා මෙන්ම රට පුරා මොන යම් වූ හේතුවක් නිසා නවීකරණය වන සිනමා ශාලා අලුතෙන් ලෝකය දකින මිනිසුන්ගේ ප්‍රතිඵලයකි.

එම්පයර් සිනමාහලේ නව්‍ය අත්දැකීම ලබන අතරේම එහි දුටු වාර්තා චිත්‍රපටයක ඇති සාවද්‍ය කරුණුු කිහිපයක් කෙරෙහි ද මගේ අවධානය යොමු විය. මෙම වාර්තා චිත්‍රපටය නිර්මාණය කර තිබුණේ ද සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම වෙනුවෙනි. මෙරට සිනමා ඉතිහාසය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ නම් එසේ කළ හැකි දීර්ඝ ඉතිහාසයක් ඇත්තේ ද ඔවුන්ටය. එහෙත් කිසිවෙකු හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම වාර්තා චිත්‍රපටයට වැරැදි කාරණා එකතු කර තිබිණි. එහි සඳහන් වන අන්දමට මුල්ම සිංහල චිත්‍රපටය වනුයේ අසෝකමාලා චිත්‍රපටයයි. එමෙන්ම මෙරට මුල්ම චිත්‍රාගාරය වනුයේ සිලෝන් තියටර්ස් සමාගමට අනුබද්ධිත සිලෝන් තියටර්ස් ආයතනයයි. මෙම කාරණා දෙකම සාවද්‍ය කරුණු සහිතය. මෙරට මුල්ම සිංහල කතානාද වෘතාන්ත චිත්‍රපටය කඩවුණු පොරොනදුව මෙන්ම මුල්ම චිත්‍රාගාරය වූයේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයයි.

මෙරට සිනමාව බිහිවීමේ කතාන්දරයේ මහ ගෙදර ලෙස සැලකිය හැක්කේ කොළඹ රීගල් සිනමාහලයි. එය බිහි වනුයේ 1928 වසරේදීය. මා දන්නා තරමට කිසියම් රටක පුවත්පත් හා සිනමාව යන මාධ්‍ය අංශ දෙකෙහිම මහ ගෙවල් මුහුණට මුහුණ ළා පිහිටා ඇත්තේ කොළඹ නගරයේ පමණි. ඒ ලේක්හවුස් ආයතනය හා රීගල් සිනමා ශාලාවයි. එමෙන්ම පුවත්පත් මහ ගෙදර ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජේවර්ධන මහතාණන් නමින් නම් කරන ලද පරණ මැක්ලම් පාරත් සිනමාවේ මහ ගෙදර නිර්මාණය කළ ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් නමින් නම් කරන ලද රීගල් සිනමාහල ඉදිරියෙන් යන පැරැණි පාසන්ස් පාරත් ආරම්භ වනුයේ එක් හන්දියකදීය.

ඒ ලේක්හවුස් වටරවුමයි. යාපනයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ ශ්‍රීමත් ගාඩිනර් පසු කලෙක මනිපායි මන්ත්‍රීවරයා වූ සී. එල්. තම්බයියා සහ මෙරට සිනමාවේ රාජකීය වික්‍රමය නම් නිහඬ චිත්‍රපටයේ නිෂ්පාදක මෙන්ම පැරැණිතම සිනමා ව්‍යාපාරිකයෙකු වූ ටී. ඒ. ජේ. නූර්බායි හා එක් කොට සිලෝන් තියටර්ස් සමාගම ගොඩ නඟනුයේ ඒ අවධියේ හැටියට දැඩි අවදානමක් ලබා ගනිමිනි. මෙරට චිත්‍රපට කර්මාන්තයට අවතීර්ණය වන මුල්ම ලාංකිකයන් දෙදෙනා ලෙස ශ්‍රීමත් ගාඩිනර් සහ තම්බයියාට අත් වනුයේ අද්විතීය ගෞරවයකි. චිත්‍රපට නිෂ්පාදනයට අවතීර්ණ වූ පසු ශ්‍රීමත් ගාඩිනර් හට අවශ්‍ය වනුයේ මුල්ම කතානාද චිත්‍රපටය නිපදවීමේ ගෞරවය දිනා ගැනිමට නොව වඩා හොඳ චිත්‍රපටය නිපදවීමේ අරමුණයි. එබැවින් මුල් කතානාද චිත්‍රපටයට වඩා හොඳ චිත්‍රපටයක් ලෙස අශෝකමාලා එළි දුටුවේය. ලිපිය දීර්ඝ වන බැවින් එමඟින් නිපදවන ලද චිත්‍රපට ගොඩ නගන ලද සිනමා ශාලා සහ සිනමා සංස්කෘතිය ද මේ ලිපියේ සීමා කරන්නට මට සිදු වේ. එහෙත් වැරැදුණු කුරුමානම, නිධානය, සකමන් මළුව, ළසඳා, සසර ඇතුළු චිත්‍රපට රාශියක් ඔවුන්ගේ නිෂ්පාදන ගොන්නට අයත්ය.

මෙරට චිත්‍රපට මාලිගා Picture Palace ස්වරූපය ගන්නා එකම ශාලාව ද වනුයේ කොළඹ රීගල් සිනමාහලය. එමෙන්ම කලක් අතිශය වැදගත් සිනමා ප්‍රදර්ශක මණ්ඩලයන් ද තිබුණේ ඔවුන් සතුවය. සැඩ සුළං, ගොළු හදවත, නිධානය වැනි චිත්‍රපට පවා තිරගත කළේ එම ශාලාවලය. මෙරට සිනමා සංස්කෘතිය පිලිබඳ හොඳ වාර්තා චිත්‍රපටයක් කරන්නේ නම් එය කළ හැක්කේ ද සිලෝන් තියටර්ස් සමගමටය. එහෙත් එය සාවද්‍ය කරුණුවලින් තොර ගෞරවනීය වාර්තා චිත්‍රපටයක් ලෙස එළි දකින්නේ නම් එය අපේ සිනමා ඉතිහාසයට මෙන්ම ඔවුන් කරන ලද මෙහෙයට තවත් සළකුණක් වනු ඇත.