වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සදාකාලික දේශපාලන බල අරගලය සදා අනුස්මරණීය ඛේදවාවකයකි

සුගත් සමරකෝන්ගේ තිර රචනය ඇසුරෙන් ‘සරසවිය’ගෙන එන කතාව

05 කොටස

සදාකාලික දේශපාලන බල අරගලය සදා අනුස්මරණීය ඛේදවාවකයකි

ඇහැළේපොළ රජ වේවි
අර තේඋඩිච්චි බිසව වේවි

කුරුළු කූජනයෙන් නැඟෙන මියුරු ස්වරය මුළු පරිසරයේම පැතිර ගියේ නැවුම් දිනයක් ආරම්භය සනිටුහන් කරමිනි. කඳු වළල්ලෙන් එබිකම් කරන හිරු කිරණ තණ අග දිලිසුණු පිණි කැට සොරා ගන්නා අයුරු කදිමය. හිරුට හොරෙන් පැන දුවද්දී මිහිදුම් කුමරියට අමතකව ගිය ස්වේත සළුව තවමත් කඳු වළල්ලේය.

‘අපූරු දසුනක්’

සීමැදුරු කවුළුවට වී හාත්පස සොඳුරු බව විඳින රජුගේ මුවඟට නැඟුණේ ඉබේමය. ඔහු අත වූයේ පෘතුගීසින්ගේ පැරැණි නාවික දුරදක්නයකි. ඔහු එය තම නෙත් මතට ළං කළේ පරිසරය වෙළා ගත් මේ සොඳුරු දසුන තව තවත් ළං ළංව නරඹන අදහසෙනි. කඳුවැටිය පීරාගෙන ඇදෙන දුරදක්නය නතර වූයේ හිටිවනමය. දුරදක්නය මඳක් ඈත් කර නෙත් දෙක පිසදා ගත් රජු නැවතත් දුරදක්නයේ නාභිගත වූයේය.

‘මැගේ සුන්දර බව වාඩත් ඉස්මතු වෙන්නේ දැන් තමයි’

රජු තමාටම මුමුනා ගත්තේය. ඔහුගේ දුරදක්නයේ කාචය නතර වූයේ ඇහැළේපොළ කුමාරිහාමි ළඟය.

සුපුරුදු ලෙස උදෑසනම දිය නා ගත් කුමාරිහාමි වලව්ව පිටුපස වූ එළිපත්ත මත වාඩි වූවාය. දිය රෙද්ද වෙනුවෙන් ඇඳි රෙද්ද නිසා ඇගේ නිතඹත්, පිරිපුන් ළමැදත් අපූරුවට කැපී පෙනුණාය. ඒ පිරිපුන් යුවතියකගේ අඟ පසඟ සේය. ඊටම නොදෙවෙනි වූ දිගු අක් බඹර වරලස සිහිපත් කළේ මොනර පිළකි. මෙහෙකාරියක් දිය නෑම නිසා අවුල් වුණු කුමාරිහාමිගේ කෙස් වැටියේ අවුල් හරිමින් ඈ අසලම සිටගෙන සිටියාය. ඇගේ සම්පූර්ණ අවධානය යොමු වී තිබුණේ ස්වාමි දුවගේ කෙස් වැටිය දෙසටය. මේ අවුල් හැරීමට තවත් විනාඩි දහයක් පහළොවක්වත් ගත වන බව මෙහෙකාරිය සිකුරටම දත් කාරණයකි. ඇගේ රුව රස විඳින රජුට ඒ ඇසිල්ල හොඳටම ප්‍රමාණවත්ය. රජු දුරදක්නයේ කාච එහා මෙහා රැගෙන ගියේ අගේ රුව රස විඳිනු සඳහාය.

‘මේ දේශයේ ලස්සන ගෑනු නැහැයි කියලා කිව්වත් ඇගේ රුවට අග බිසවගේ රුවත් පරදිනවා. ළමයි සිව් දෙනෙකු සිටියත් තවමත් නාඹර තරුණියකගේ සොඳුරු බවයි ඇගෙන් දිස් වෙන්නේ’

අඟ පසඟ වඩාත් හොඳින් ළං ළංව රස විඳි රජුගේ මුවඟෙන් එළියට පැන්නේ කුමාරිහාමිගේ රුව ගැන අපූරු කියමනකි. රජු අවට බැලුවේ තම සිරියහන් ගබඩාවෙහි තවමත් අග බිසව සිටීදැයි කියාය. එහෙම වුණා නම් තමාට විසුමක් නොවන වග රජු දන්නේ අත්දැකීමෙනි. එහෙත් ඈ තමා අවදිවීමටත් පෙර සිරියහන් ගබඩාවෙන් ඉවතට ගොස් තිබූ වග මතකයට නැඟුණේ එවිටය.

කුමාරිහාමිගේ සුන්දර රුව පළමුවරට තම නෙත ගැටුණේ මණ්ඩලේෂ්වර තනතුරු ප්‍රධානයේදීය. ඇහැළේපොළට සබරගමු කැරැල්ල මර්දනය කිරීම නිසා පිරිනැමුණු මේ තනතුරු ප්‍රධානයට කුමාරිහාමි ද පැමිණ සිටියේ අග බිසවට නොදෙවැනි ලෙස හැඳ – පැලඳගෙනය. ඈ ඇහැළේපොළට ගෑවි නොගෑවී මෙන් ඔහු අසලම හිඳගෙන සිටිමින් පානා සෙනෙහෙවන්තකම රජු දුටුවේය. රජුගේ සිත ඇහැළේපොළ පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් පිරී ඉතිරී ගිය බව රජුට මතකය.

 ඈ මගේ අන්තඞපුරයට රැගෙන එන්නට ඇත්නම් යැයි රජුට සිතුණේ එවේලෙහිමය. නෙතට රසඳුනක් බඳු ඇගේ රුවෙන් මොහොතකටවත් සිය නෙත අහකට නොගත් රජුගේ සරාගී දෙනෙත අන් අයට නොපෙනුණේ මධුවිත පානය කිරීම නිසා ඇති වුණු රත් පැහැය නිසාවෙනි. එහෙත් එය සැඟවිය නොහැකි එකියක් ද රජු අසල සිටියාය. ඒ අග බිසවය. කුමාරිහාමිගේ රුව රස විඳින තවෙකෙක් එහි සිටින වග රජුගේ නෙත ගැටුණේ ඇමැති මණ්ඩලය දෙසට තම නෙත් යොමු කළ මොහොතේය. මොල්ලිගොඩට රජු තමා දෙස බලා සිටින වගක් නොපෙනුණේ ඔහු කුමාරිහාමිගේ රුවට වශී වූ කලෙක මෙන් ඈ දෙසම බලා සිටි බැවිනි. රජුගේ සිත රැඳි කේන්තිය දෙගුණ වූයේය. රජු එය වළක්වා ගත්තේ ලෝකුරු නයිදේ ඇමතීමෙනි.

‘හැමදාම මාව වර්ණනා කරන උඹේ කටට ඇහැළේපොළ නිලමෙතුමා, කුමාරිහාමි ගැන වර්ණනා කවි පද එන්නේ නැද්ද?’

ඒ අදහස ඇසූ මොල්ලිගොඩ බිරිය, අග බිසවගේ කනට කර කුමක් හෝ කොඳුරනු

මධු බී තරමක් මත්ව සිටි රජුගේ නෙත ගැටිණි. ඔවුන්ගේ ඊර්ෂ්‍යා සහගත මුහුණු දුටු රජුගේ මුහුණෙහි මතු වූයේ උපහාසයකි.

හැඟීම්වල ගැත්තෙකුව සිටි රජු නැවතත් දුරදක්නයට සිය නෙත් යොමු කළ ද එහි ඇය නොසිටියාය. ඈ සමඟ මෙවේලෙහිම රති කෙළියක යෙදෙන්නට ඇත්නම් යැයි රජුට සිතිණි. එහෙත් බාධකව ඇත්තේ ඇහැළේපොළ බව සිහිපත් වීම නිසා රජුගේ සිතට පිවිසුණු කෝපයට බිලි වූයේ ඔහු අත ඇති දුරදක්නයයි. රජු දුරදක්නය සිරියහන් ගබඩාවට වීසි කළේ ඉතා වේගයෙනි.

‘මම ඇහැළේපොළයව සබරගමුවට යවනවා’

රජු ගිගිරුවේය. රජුගේ යටි සිතේ රැඳුණු සිතුවිලි ක්‍රියාත්මක වෙමින් තිබිණි. ඒ අපූරු යෝජනාවට වඩාත් සතුට පළ කළේ මොල්ලිගොඩය.

මොල්ලිගොඩගේ යටි සිතෙහි වූයේද අනෙක් උපක්‍රමයකි. ඇහැලේපොළ ළඟ නොසිටින තාක් තමාට රාජ සභාවෙහි පළමුතැන හිමි වන වග සක් සුදක් සේ ඔහු දත්තේය. ඒකට ඇහැළේපොළට ලැබුණු මේ අපූරු දඬුවම සිහි කළ ඔහු තනිවම සිනාසුණේය. ඔහු දුරකට ගිය පසුව කේළම් කියා කුමන ක්‍රමයකින් හෝ රජුගේ සිත බිඳවීමට හැකි වග ද හේ දැන සිටියේය. ඇහැළේපොළ අසරණ කළ පසුව අසරණ වන්නේ කුමාරිහාමිය. ඇයට ළංවීමටත්, ඇගේ සිත දිනා ගැනීමටත් ඇති එකම මඟ මෙය නොවේදැයි මොල්ලිගෙඩගේ යටි සිතට පිවිසියේ සියුම් සතුටකි. හාන්සි පුටුවෙහි සුවපහසුව හිඳිමින් සිතු සේ සිතුවිලි අතර සැරිසැරූ ඔහුට ඉන් ඈත්වීමට සිදුවුණේ තම සඟයන්ගේ පැමිණීමත් සමඟිනි.

‘මොකද නිලමේතුමා බර කල්පනාවක’

මුල්ලේගමගේ ස්වරයත් සමඟ ඔහු අසල සිට කන්දේපොළ බස්නායක, පහලේ ගම්පොල, අරිට්ඨ ඇතුළු අනෙක් කිහිපදෙනා බලාපොරොත්තු වූයේ ඔවුන්ගේ සිත සනසන වදනකි. කිසිවක් නොකී මොල්ලිගොඩ සැප පහසුවට හිඳගෙන උන් හාන්සි පුටුවෙන් මඳක් නැඟිට ගත්තේ තමා පසුපස පැමිණෙන්නැයි ඔවුන්ට ඉඟියෙන් පවසමිනි. නිවෙසට පැමිණි තම සැමියාගේ මිතුරන්ට සත්කාරයක් කළ යුතු බැවින් මොල්ලිගොඩගේ බිරින්දෑ තම අත වූ ආහාරපාන ඔවුන් අතේ තැබූයේ ඇණුම් පදයක් ද කියන අතරතුරය.

‘කොහොම හරි රජ්ජුරුවන්ට තමුන්නාන්සේලාට වැඩිය ඇහැළේපොළ ලොකු උනානේ’

‘අපේ රජ්ජුරුවන්ගේ ඥාන මණ්ඩලයේ මොකක්දෝ අවුලක් ඇති වෙලා තියෙනවා මේ දවස්වල’

මුල්ලේගම පැවසවේ ඇගේ ඇනුම්පදය ගණනකට නොගෙනය. සෙසු සියල්ලෝම හඬ නඟා සිනාසුණේ මුල්ලේගමගේ අදහසට එකඟ බව පළ කරන්නටය.

‘බලමුකෝ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා’

තම බිරියගේ කට පිළිබඳ දන්නා මොල්ලිගොඩ කිව්වේ තමන් නිශ්ශබ්දව සිටීම නොමනා යැයි සිතූ සිතුවිල්ලෙනි.

‘මොනවද වෙන්නේ . . . ඊළඟට ඇහැළේපොළ රජ වේවි. එතකොට අර තේ උඩිච්චි රජ බිසව වෙයි’

මොල්ලිගොඩගේ බිරිය ගස්සාගෙන නිවෙස ඇතුළට ගියේ තවත් කුමක් දෝ සෙමෙන් කොඳුරන අතරය. ඉන් පසුව ඇසුණේ රහස් මන්තරයක් කරන කලෙක මෙන් ඔවුන්ගේ රහස් සාකච්ඡාවයි.

තවත් කොටසක් ලබන සතියේ

අගෝස්තු 01 දා සිට ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වේ


පසුගිය කොටස්

01 කොටස - උඩරට වැසියන්ට විදේශ මත්පැන් රොබට් බ්‍රවුන්රිග්

02 කොටස - කිළිකුණු ඇති වඳිගේ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක්

03 කොටස - අනාගතේ මේ රට බේබද්දන්ගෙන් පිරිච්ච රටක් වේවි

04 කොටස -නුවර කලාවියේ උන්ට නැති බදු සබරගමුවේ උන්ට