වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ඇහැළේපොළගේ පිටපත් කපලා

ඇහැළේපොළගේ පිටපත් කපලා

ගයාන් රණධීරගෙන් චෝදනා

සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කරන ලද අහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ පිටපත් අපේක්ෂිත ප්‍රමාණය මුදා හැරීමට චිත්‍රපට සංස්ථාව මඟින් ඉඩ දී නැතැයි එහි නිෂ්පාදක ගයාන් රණධීර මහතා පසුගියදා නිපෝන් හෝටලයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

ඒ පිළිබඳය ප්‍රවෘත්ති නිවේදනයක් පළ කරන ඔහු එයට පෙර නිෂ්පාදනය කළ විජය කුවේණි චිත්‍රපටය පිටපත් 46 ක් මුදාහල වග දන්වා සිටියේය.

එහෙත් 2013 ජනවාරි 01 දා සිට සියලුම චිත්‍රපට පිටපත් 35 කට සීමා විය යුතු යැයි චිත්‍රපට සංස්ථා සභාපතිතුමා නියෝග කර ඇතත් එයින් පසුවද එම සීමාව ඉක්මවා චිත්‍රපට ගණනාවක් තිරගත වූ බව ද ඔහු චෝදනා කර සිටී. එබැවින් අදාල චිත්‍රපටවල 35 සීමාව ඉක්මවීමට අවසර දුන්නේ නම් ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයට එම අවසරය නොදෙන්නේ කුමන හේතුවක් නිසාදැයි ඔහු තවදුරටත් දන්වන ලදී.

එමෙන්ම විශාල වියදමක් දරා නිපදවන ප්‍රේක්ෂක ආකර්ශණයට ලක්වන සිනමා ශාලාවලට රසිකයින් කැඳවන චිත්‍රපටවලට පිටපත් වැඩිපුර මුදා හැරීමට ඉඩ සැලසීමෙන් සිදු වන්නේ සිනමා කලාවට හා කර්මාන්තයට පොදු යහපතක් බවත් එසේ කිරීම ආකර්ශණීය චිත්‍රපට නිපදවන අයට ද වාසියක් මිස අවාසියක් නොවන බවත් ඔහු අවධාරණය කරයි. මේ අනුව ඔහුගේ පළමු ඉල්ලීම වන්නේ සමස්ත දේශීය සිනමාවටම වී ඇති මෙම 35 සීමාව ඉවත් කරන ලෙසය. තවද එම නීතිය තාමත් පවතින්නේ නම් අනෙකුත් චිත්‍රපටවලට අවසර දුන් අයුරින් 2013 ට පෙර නිෂ්පාදන කටයුතු ඇරැඹූ ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයට ද පිටපත් 55 ක් මුදා හැරීමේ අවසරය ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.

මේ නීතිය දිගටම නොවෙනස්ව පවතින්නේ නම් අනාගතයේදී තමාට ද සිනමා කර්මාන්තයෙන් ඉවත් වීමට සිදු වන බව ද කණගාටුවෙන් වුව ප්‍රකාශ කරන බවද පැවසීය.

මේ අවස්ථාවට චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක, සුගත් සමරකෝන්, ගයාන් රණධීර, සුනිල් ටී. ප්‍රනාන්දු යන මහත්වරුන්ද අදහස් දැක් වීය.
 

ඇහැළේපොළ කුමාරිහාමි අධ්‍යක්ෂ සුගත් සමරකෝන්, චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක සහ නිෂ්පාදක ගයාන් රණධීර මාධ්‍ය හමුවේදී