වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ

ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ

මෙල්රෝයි ධර්මරත්න

ගේයපද රචකයකු තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

මෙවර ‘මතක ගී පොත‘ ට සහභාගි වන්නේ මිල්රෝයි ධර්මරත්නය. කලාවට පිවිස අඩ සියවසක් සපිරීම නිමිති කරගනිමින් ඔහු ලියු ‘පව් සහ පින්‘ නවකතාව මේ මස 27 වැනිදා පස්වරු 3.00ට කෝට්ටේ ශාන්ත තෝමස් මුනිඳු දෙව් මැදුරු භූමියේ පිහිටි ජුබිලි ශාලාවේදී එළි දකී. විශාරද නන්දාමාලිනිගේ ප්‍රධානත්වයෙන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාසගේ මුඛ්‍ය දේශනයකින් ද සමන්විත මේ අවස්ථාවට ඔබටත් පැමිණිය හැකිය. මෙල්රෝයි ධර්මරත්න ලේඛකයෙක් මෙන්ම ගේයපද රචකයෙක් හා සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස ද ඔබ හමුවට පැමිණි නිර්මාණකරුවෙකි. ‘මේ මැයි ගහ යට‘ , ‘ඔබ නිදන්න ඔබ නිදන්න‘ දුරකථනයකින් මම ඔබ අමතමි“ ආදී ගීතවල තනු හා සංගීතය නිර්මාණය කළ ඔහුගේ සුරතෙන් ‘දුර ඈත අතීතේ‘, ‘ගිය ඉරිදා ඔබ‘ කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ‘ ආදී ගීත රැසක් ද පද බැඳුණි. ඔහු සිය සිත බැඳී ගීත ද්විත්වය හා අතීතය පිළිබඳ මෙසේ සඳහනක යෙදුණේය.

සිසිර සේනාරත්න නම් සොඳුරු ගායකයාගේ මියුරු ස්වරයට මම කවදත් ප්‍රිය කළෙමි. ඔහු ගැයූ සෑම ගීතයකටම මෙන් මම බෙහෙවින් ආදරය කළෙමි. ඔහුගේ ගී අගයන මා එකල පාසලෙහි ජ්‍යෙෂ්ඨයෙහි උගත් පාසල් සිසුවෙකි. කොටහේනේ තිබුණු අප නිවසේ සිට මා පාසල් ගිය ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට තිබුණේ වැඩිදුරක් නොවේ. දිනපතා ඒ මඟ ගෙවා යන මට අවට නිවෙස්වල රේඩියෝවෙන් ඇසෙන්නේ සිසිර සේනාරත්නගේ ගී ස්වරයයි. ඒවා කෙරෙහි සිත යොමු කරගෙන යන නිසාදෝ ඔහු එකල ගැයු බොහෝ ගීත මට කටපාඩම් වූයේ ඉබේමය. සිසිර සේනාරත්නයන්ගේ ගීතවල අපූරු රසියකයෙක් වූ මම ඔහු ගයන නව ගීත සොයන්නට ද වඩාත් උනන්දුවක් දැක්වූයෙමි. ඒ සෙවීමේ ප්‍රතිඵලයක් මත මට මුන ගැසුණු මේ ගීතය අද ද මගේ සිත ඇඳ බැඳ ගත්තේ අපූරු විලසිනි.

සුජාතා.... ආදරණීය සුජාතා
ඔබ නිදි දෙව් දුවගේ තුරුල්ලේ
ඉඳ රසවත් සිහින බලා
ඒ සිහිනෙන් ඔහෙ මා ගෙන්වා
සුව යහනේ මා හිඳුවා
මුදු සීත සුළං මුසු සඳරැස් වතුරින්
නහවා ගීත කියා
නහවා රස ගීත කියා
සුජාතා..... ආදරණීය සුජාතා
සැබැවින් මෙලොවේ අපහට බැහැනේ
තව එකතැන ඉන්න සුජා
සැමදා සිහිනෙන් ඇවිදින් සැනහී
නළවන්න මෙමා මිහිරේ
අප දෙදෙනා හට නිදහස ඇත්තේ
මේ සිහින ලොවේ පමණයි
සිහිනෙන් හමුවන්න සුජා
සැමදා එහි එන්න සුජා
 

ගේය පද රචනය - හර්බට් එම්. සෙනෙවිරත්න

සංගීතය - සිසිර සේනාරත්න

ගායනය - සිසිර සේනාරත්න

මේ ගීතය ඇසෙන කාලයෙහි පාසල් ගොස් අවසන්ව ගැටවර වියේ වුන් තරුණයෙක් වූ මම දිනපතාම ගුවන් විදුලියට සවන් දුන්නෙමි. සිසිර සේනාරත්නයන්ගේ මේ ගීතය මට අසන්නට ලැබෙන්නේ එහි ප්‍රතිඵලයකිනි. මේ ගීතයට මා කොතරම් ප්‍රිය කළේ ද යත් යැයි මට හැඟෙන්නේ එහි වූ තනුව හා සංගීතය, ගායනය, පද රචනය මගේ හදවත පතුලේ තැන්පත් වූ අයුරෙනි. එය කොතරම් ප්‍රබල වී දැයි කිවහොත් මගේ බොහෝ නිර්මාණවල ඒ ගීතයෙන් මා ලැබූ ආභාසය ගැබ් වී යැයි මට හැඟේ. විශේෂයෙන් ජෝතිපාල ගයන ‘ඔබ නිදන්න ඔබ නිදන්න‘ කියන ගීතයෙහි තනුව හා සංගීතය පිළිබඳ සැලකීමේදී මේ සිතුවිල්ල මා හදවතෙහි යළි යළිත් ඉපැදේ. ඒ ගීතය ජෝතිපාලයන් ගයන්නේ නැළවිල්ලේය. එවැනි නැළවිලි තනුවක සංගීතයක් යොදන්නට මා පෙලඹූයේ සිතේ කාලයක පටන් නිදන් ගත වූ මේ ගීතය බව මම ඉඳුරාම පවසමි.

ගීතයකටත් වඩා කවියක ස්වරූපයක් ගත් මේ ගීතය වඩාත් මගේ මතකයට පිවිසෙන්නේ මගේ බිරියගේ හමුවීමත් සමඟය. ඇයව මුන ගැසෙන්නේ ඉහළ උසාවියේ මා ලඝුලේඛකයෙක් ලෙස සේවය කරමින් සිටියදීය. අපගේ ඒ සොඳුරු කතාබහ අවසානයේදී නතර වන්නේ ගීතයෙනි. ගීතවලට මා මෙන්ම ඇයද බෙහෙවින් ප්‍රිය කළාය. මේ ගීතයද විශේෂයෙන්ම ඇගේ සිත බැඳුණු ගීත අතර වූ බව මට මතකය. අප දෙදෙනා අතර වූ බැදීමකට ඒ ගීතය ද හේතු වූ බව මේ මොහොතේ මා පසක් කරන්නේ අතීතයේ වූ ඒ සිතුවිලි අතර සැරිසරමිනි. එමෙන්ම තරුණ අපගේ ප්‍රේම සිතුවිලි මතු කරමින්, සිත නිවී සනසවමිනි.

ජෝතිපාලයන් ගයන මේ ගීතයද මගේ සිත නිවී සැනසීමට පත් කරයි.

කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ....

මතුවේ සිහින් සුසුම් රැළි හද විල් දියේ මගේ
කිසිවත් ලොවේ වෙනත් නැත මට ඔබ තරම් අගේ
රැජිණ ද ඔබයි උදාරියේ මගේ දිළිඳු ලෝකයේ
ඇයි මිහිරියෙ තනිවී කිව මැන කල්පනා ලොවේ
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ.....

මා වෙසෙනතුරු ලොවේ ඔබ කිසිදිනක තනිනොවේ
හමුවෙන්න එනු ප්‍රියේ අද මෙන් මතුද මේ භවේ
පිළිගන්න මා රජෙක් ලෙස සනසා දයාවියේ
ඇයි මිහිරියෙ තනි වී කිවමැන කල්පනා ලොවේ
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ....

ගේය පද රචනය - පේ‍්‍රමකීර්ති ද අල්විස්

ගායනය - එච්.ආර්. ජෝතිපාල

 

එකල අනුකාරක ගීත ප්‍රචලිත වූ සමයකි. බොහෝ අනුකාරක ගීතවල තිබූ ආදරයේ බොළඳ බව වෙනුවට මේ ගීතයෙහි දක්නට ලැබෙන ආදරය පිළිබඳ කියැවෙන ගැඹුරු ස්වභාවයට මම නිතැතින්ම ඇලුම් කරමි. ගීතය ශ්‍රවණය කරන අවස්ථාවේදී තනුවට පද යෙදූ බවක් අපට නොපෙනේ. තනුව හා සම සමවම ගීතයෙහි පදයෙදී ඇති වගක් මට හැඟේ. ඒ පේ‍්‍රමකීර්ති ද අල්විස් කියන ගේයපද රචකයාගේ දක්ෂතාවයි. ඔහු ලියූ පදත්, ජෝතිපාලයන්ගේ සංවේදී ස්වරයත් එකමුතු ගැයෙන නිසාම දෝ ඔහු ගැයූ අනෙක් ගීතවලට වඩා මේ ගීතය නිතර අසන්නට මම ප්‍රිය කරමි. ඒ ගීය අසන සෑම මොහොතකම මා හා ඔහු බැඳුණු ඒ අතීතයත්, ඔහුගේ නිහතමානී බවත් මට නිතර සිහිපත් වෙයි.

අපගේ හදවතේ ජීවත් වූ වීරයා බවට එච්.ආර්.ජෝතිපාල පත් වන්නේ අප ගැටවර වියේදීමය. ඔහු කොටහේන ප්‍රදේශයේ සංගීත සංදර්ශන සඳහා පැමිණෙ තැයි ආරංචි වූ කළ කුමන වැඩක නියැළුණ ද ඒ හැර දමා ඔහුගේ මියුරු ස්වරය ආසන්නට මා ඉගිලුනේ නිතැතිනි. කොට කලිසමක් ඇඳගත් මා වේදිකාව අසලටම ගොස් ඔහු ගී ගයන අයුරු දැක තුටු වන්නේ මට ද ඔහුට ගීයක් ලියන්නට ඇත්නම් යැයි යන අපූරු සිතුවිල්ලත් සමගිනි. ගීතයක් ලියන්නට ද නොසිතූ එකල වූ ඒ ප්‍රාර්ථනය සැබෑවක් බවට පත්වන්නේ අහම්බයෙනි. ඒ 1971 වර්ෂයේ අග භාගයයි. නිව්සෝන්ග් එන්ටර් ප්‍රයිසස් ආයතනය මගින් එච්.ආර්.ජෝතිපාලයන්ට ගීත හතරක් සඳහා තනු නිර්මාණය කරන්න යැයි මගේ සහෝදරයා වූ රොනාල්ඩ් ධර්මරත්නට ආරාධනා කරන්නේ මේ අතරය. ඔහුට පැවරූ කාර්ය ඔහු මට පවරන්නේ ඊට වඩාත් සුදුස්සා මා යැයි පවසමිනි.

ස්වතන්ත්‍ර නිර්මාණ වූ මේ ගීත සතර සඳහා තනු නිර්මාණය මට තරමක අභියෝගයක් විය. මන්ද ඒ වනවිට මම කිසිදු ප්‍රවීණයකුට තනු නිර්මාණය නොකළ ආධුනිකයෙක් වූයෙමි. “ඔබ නිදන්න ඔබ නිදන්න“, ගංගාවයි මහ මුහුදයි“, “මලින් පිරීගිය විසල් වනේ“, “මල් එතනෝ“ යන ගී සතරට මා තනු නිර්මාණය කළේ ගැහෙන හදවතෙනි. ජෝතිපාල කොතරම් නිහතමානී ගායකයෙක් දැයි පැවසුවහොත් ඔහු මේ ගීත සතර පුහුණු වීමට මගේ නිවසට පැමිණියේය. ගීත සතර එකල කොතරම් ජනප්‍රිය වී දැයි කිවහොත් තුන්මාසයක් ඇතුළත එල්.පී තැටි පන්දහසක් විකිණී ගිය බව පැවසුවේ නිව් සෝන්ග් එන්ටර් ප්‍රයිසස් ආයතනයයි. වරක් කහවත්තේ ප්‍රසංගයකට සහභාගි වීමට පැමිණි මා සමඟ එකම පාසලේ එකම පංතියේ කාලයක් ඉගෙන ගත් මිතුරා වූ විජය කුමාරතුංග පැවසුවේ ජෝතිපාල ගැයූ හොඳම ස්වතන්ත්‍ර ගීතය මා තනු යෙදූ ‘ඔබ නිදන්න ඔබ නිදන්න‘ ගීතය බවය. මේ ගීතය ගයන සෑම මොහොතකම ඒ අතීතයේ සිතුවිලිවලට කිඳා බසින්නේ මා නොදැනුවත්වම ය.

ගීතය හා සම්බන්ධ නොවුණ ද මා ලියූ නවකතාව දොරට වඩින දිනය සම්බන්ධව ද යමක් කිව යුතුමය. ඒ මා නන්දා මාලිනියගේ ප්‍රධානත්වයෙන් දොරට වැඩුම පැවැත්වීමට හේතු වූ කාරණාව පිළිබඳය. නන්දා මාලිනියත්, මමාත් විසුවේ කොටහේනේ වොල් වීදියෙහිය. එකල පටන්ම, මම, ඇයවත්, ඇය, මමත් හොඳීන් හඳුනන අසල්වැසියන් වීමු. අපදෙදෙනා දෙමඟක ගිය නමුදු එකම ප්‍රදේශයක විසූ බව අමතක කිරීමට මට නොහැකි විය. ඒ අතීතය මතකයට නඟමින් මගේ උත්සවයේ ප්‍රධානත්වය දරන්නට මම ඇයට ඇරැයුම් කළෙමි. එය ඈ සුහද සිතෙන් භාරගත්තේ මට කරන උපහාරයක් ලෙස යැයි මම සිතමි. එමෙන්ම මට ලේඛන දිවියෙහි කිරුළ පළඳීන්නට මුල් වූ ආරියරත්න කහවිට, කරුණාසේන ජයලත්, ධර්මසිරි ගමගේ, ආතර් යූ අමරසේන,පී.වී. අබේගුණරත්න යන මහත්වරුද සිහිපත් කරන්නේ හද බැතිනි.