වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිතයට සිනමාව පිළිමතලාවේ

ජීවිතයට සිනමාව පිළිමතලාවේ

ජාතික චිත්‍රපට සංස්ථාවේ, අධ්‍යාපන ප්‍රවර්ධන සංස්කෘතික අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘ජීවිතයට සිනමාව’ සිනමා රස වින්දන වැඩ සටහනේ ප්‍රථම අදියර මෙම මස 25 වැනිදා උදෑසන පිළිමතලාව ගිරාගම සෞන්දර්ය ගුරු විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. මෙහිදී චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සරත් ධර්මසිරි විසින් ප්‍රධාන දෙසුම පවත්වනු ලැබේ.

ශාස්ත්‍රීය ගී සැඳෑව 30 වැනිදා

ශාස්ත්‍රපති යූ. ඒ. පාලින්දගේ ශාස්ත්‍රීය ගී සැඳෑව මෙම මස 30 වැනිදා සවස කොළඹ 07, ග්‍රෙගරි පාරේ, ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. විශාරද නලීන් ජිනේන්ද්‍ර ද අල්විස් හාමෝනියම් වාදනයෙන් ද, විශාරද පේෂල මනෝජ් තබ්ලා වාදනයෙන් ද, ඉසුරු කොන්දසිංහ වයලීන වාදනයෙන් ද මේ සඳහා දායක වෙති.

 

සනත් නන්දසිරි ආලකමන්දාවට...

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නනන්දසිරි වෙනුවෙන් වෙන් වූ ආලකමන්දාව වැඩසටහන මෙම මස 29 වැනිදා රාත්‍රී 10. 10 ට ජාතික නාළිකාවේ විකාශය වේ. මෙය විනීතා කරුණාරත්නගේ අධ්‍යක්‍ෂණයක් වන අතර පිටපත ලාල් ආනන්ද අබේධීර ගෙනි.

තඹරවිලට අජන්තා

ආචාර්ය අජන්තා රණසිංහගේ කලා කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරන තඹරවිල වැඩසටහන මෙම මස 27 වැනිදා එනම් එන ඉරිදා රාත්‍රී 10 ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වේ. උදය තෙන්නකෝන් නිෂ්පාදනය කරන මෙය සඳහා මහාචාර්ය සමන්ත හේරත්, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ධම්මික බණ්ඩාර ආදීන් ආරාධිතයින් ලෙස සහභාගී වේ.

ගීත ගායනා කලාසූරී ලතා වල්පොළ, ටී. එම. ජයරත්න, විශාරද එඩ්වඩ් ජයකොඩි සහ ජගත් වික්‍රමසිංහගෙනි. වැඩසටහන පියල් වික්‍රමසිංහ විසින් මෙහෙයවනු ලබයි.