වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ විවාහය ළඟදීම සිද්ධ වේවි

අපේ විවාහය ළඟදීම සිද්ධ වේවි

නමට ‘ශි’ ශබ්දාකාර තුනක් ඇති ලංකාවේ එකම නිළිය ඇයයි. ඇය කළු අරලියා හී නිලූට පණ පොවන්නියයි.

ශිරෝෂි රොමේෂිකා.

රුවින් මෙන්ම නමින් ද ඇයව ඔබ හොඳින් හඳුනයි. ශිරෝෂි සහ රොමේෂිකා යන නාමයන් අයිති ජපානයටයි. මම නිකමට මෙන් ශිරෝෂිගෙන් නමෙහි තේරුම ඇසූවෙමි.

අයියේ මමත් තවම නමේ තේරුම හොයනවා.

ඇය කීවේ සිනහ සලමිනි. එතැන් පටන් අපි මේ කතාව මෙසේ ඇරැඹුවෙමි.

* නිලූ . . . ශිරෝෂිට වැඩිය දැන් නිලු ජනප්‍රියයි. මං හරිද?

හරියටම හරි. කළු අරලියා අද වන විට ඉතාමත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් බවට පත් වෙලා තියෙනවා. මට ඒක දැනෙනවා. මං එහෙම කියන්නේ බහුතරයක් මට නිලූ කියලා කටපුරා අමතන හින්දා.

* නිලූ පාතාල සබඳකම් මත නිළියක් වූ තැනැත්තියක්. එය සත්‍ය චරිතයක්ද?

ඒක නම් මම හරියටම දන්නේ නැහැ. හැබැයි නිලූ වගේ අය ඉන්න පුළුවන්. වර්තමානයේදිත් ඉන්නවා.

* ශිරෝෂි කාලයක් ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා හිටියා නේද?

ඒක ඉවත්වීමක් නෙවෙයි. මට රඟපාන්න හොඳ නිර්මාණයක් ලැබුණේ නැහැ.

* කොච්චර කල් එහෙම නිහඬව හිටියද?

අවුරුදු දෙකක් විතර.

* එහෙම රඟ නොපා ඉඳීමෙන් ඔබේ ජනප්‍රියත්වය අඩුවෙයි කියලා හිතුණේ නැද්ද?

මගේ අරමුණ රඟපාලා ජනප්‍රිය වීම නෙවෙයි. රඟපාන්න තියෙන ආසාවට මං රඟපාන්නේ. ඒ හින්දා රඟ නොපා සිටීමෙන් මගේ ජනප්‍රියත්වය අඩු වෙයි කියලා හිතන්නේ නැහැ. මං කොච්චර සද්ද නැතුව හිටියත් මං කරපු දේවල් එක්ක මිනිස්සුන්ට මාව හොඳට මතකයි’.

* ශිරෝෂි රංගනය ගැන ඉගෙන ගෙන තියෙනවාද?

මං කාලයක් අනෝජා මිස්ගේ වැඩමුලු කිහිපයකට සම්බන්ධ වුණා. එතැනින් එහාට කාර්යබහුලකමත් එක්ක හැදෑරීම් කරන්න බැරි වුණා.

* රංගනය තවදුරටත් ඉගෙන ගත්තා නම් හොඳයිනේ?

ඒක නම් ඇත්ත. රංගනය හදාරන්න ඕනෑ මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න.

* ශිරෝෂි හිතන විදිහට කවුද ලංකාවේ දක්ෂ විදිහට රංගනය උගන්වන්නේ?

මාර අමාරු ප්‍රශ්නයක්නෙ ඔයා ඇහැව්වේ. මං ඕකට මෙහෙම පිළිතුරක් දෙන්නම්කො. එක එක අය උගන්වන්නේ තම තමන්ගේ ශෛලීන්වලට. ඒ හින්දා හොඳටම උගන්වන කෙනා කවුද කියලා එක් කෙනෙක්ව හඳුන්වලා දෙන්න අමාරුයි.

* ශිරෝෂිට මේ ක්ෂේත්‍රය එපා වෙච්ච වෙලාවල් තියනවාද?

යම් යම් සිද්ධීන් වෙනවා හිත රිදෙන. ඒත් මේක ලංකාවනෙ කියලා හිත හදා ගන්නවා.

* යම් යම් සිද්ධීන් කියන එකෙන් අදහස් කළේ මොකක්ද?

මං එක අත්දැකීමක් කියන්නම්කො. ආර්ටිස් කෙනෙක් විදිහට මං මහ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් මහන්සි වෙලා මහන්සි වෙලා පොඩ්ඩක් ෆ්‍රී වුණ ගමන් ඇතැම් අය වාඩි වෙන්න පුටුවක්වත් දෙන්නේ නැති තරම්. අපිට ඉතින් බලෙන් ඉල්ලන්න බැහැනේ. හැබැයි ඔහොම වුණ එක අවස්ථාවකදී මට ඩිරෙක්ටර් කෙනෙක් නැගිටලා පුටුව දුන්නා වාඩිවෙන්න.

* ඒ ඩිරෙක්ටර්ගේ නම කියන්න පුළුවන්ද?

ඕනෑ නැහැ. එතකොට පුටු නොදෙන ඩිරෙක්ටර්ලා මගෙත් එක්ක තරහ වේවි.

* ශිරෝෂිගේ හැඩකාර රුවට වසඟ වෙලා අනන්තවත් දෙනා අයුතු යෝජනා කරලා ඇති?

ඔව්.

* ඒ වගේ වෙලාවන්වලදී මොකද කරන්නේ?

එහෙම යෝජනා දාන අයට අවස්ථාව නොදී හිටපුවම හරි. ඔවුන්ව මග හැරිය යුත්තේ කපටිකමින්මයි. තනි අතින් අත්පොඩි ගහන්න බැරි බව තේරුම් ගත්තම ඒ අය ඉබේම හැලෙනවා.

* ඔබ මග හරිද්දිත් දිගින් දිගටම පස්සෙන් එන අයත් ඉන්නවද?

අපොයි ඔව්. සමහර අය මගේ දිහා අමුතු බැලලි බලනවා. හරියට ගෑනු දැකලා නැහැ වගේ.

* ඉතින් කේන්ති යන්නේ නැද්ද?

මොකද නැත්තේ. හොඳට කේන්ති යනවා. ඒත් මං ඉවසීම හොඳට ප්‍රගුණ කරලයි තියෙන්නේ. මගේ ඉවසීමේ බැම්ම හින්දා කිසි කෙනෙකුට අයුතු විදිහට මට ලංවෙන්න බැහැ.

* සාමාන්‍යයෙන් ශිරෝෂිට වැඩිපුරම කේන්ති ගිය අවස්ථාවක් මතකද?

ඔය බස්වල යනවා නේද අමුතු මේනියා තියෙන අය. ඔවුන් ලස්සන ගෑනු ළමයෙක් දැක්ක ගමන් ළඟට ඇවිල්ලා ඇඟපත අල්ලලා අමුතු වින්දනයක් ලබනවා. මාත් එහෙම අතවරයකට ලක් වුණා බස් එකකදි. එදා තරම් කේන්තියක් ආවේ නැහැ වෙන කිසිම දවසක.

* මං හිතන්නේ මේ සිද්ධිය වෙන්න ඇත්තේ මීට අවුරුදු පහ හයකට කලින්, ශිරෝෂි බස්වල යන දවසක?

හරියටම හරි.

* මේ තියෙන ජනප්‍රියත්වය නැති වෙලා ආයෙත් ශිරෝෂිට බස් එකේ යන්න සිද්ධ වුණොත්?

මං ඒකටත් රෙඩි. මේ ජනප්‍රියත්වය තාවකාලිකයි කියලා මං දන්නවා.

* මේ වන විට කී දෙනෙක් ශිරෝෂිට ආදරෙයි කියලා තියෙනවාද?

ගොඩක් දෙනෙක්.

* ඒ අතරින් තෝරා ගත් කෙනා පිළිබඳව මාධ්‍යයට කියන්න බය ඇයි?

මං හිතන්නේ එයා ගැන දන්න අය දන්නවා. ඒ ඇති.

* එයා ප්‍රසිද්ධ, සංගීතයට සම්බන්ධ කෙනෙක් නේද?

ඔය ප්‍රශ්නවලට වැඩිදුර පිළිතුරු කියන්න මට අපහසුයි.

* කවදද ඔය දෙන්නගේ විවාහය සිද්ධ වෙන්නේ?

ළඟදීම.

* ශිරෝෂිට ඔහුගෙන් රංනයනට තහනමක් නැතිද?

ඔහු දැනට මගේ ආසාවට ඉඩ දීලා ඉන්නේ.

* කළු අරලියා නාට්‍යයෙන් පසුව ඔබ ආයේ දකින්නට ලැබෙන්නේ මොන වගේ නිර්මාණයකින්ද?

මට ඕන වෙනස් චරිත කරන්න. මේ වගේ වෙනස් චරිතයකින් ආයේ ප්‍රේක්ෂකයන් හමුවට එනවා.

* කළු අරලියා රඟපාද්දී ඔබ වඩාත් අපහසුතාවයට පත් වෙච්ච අවස්ථාව මතකද?

එක සින් එකක් ඇතුළේ චින්තක පිරිස්ට පහර දෙන්න තිබුණා. ඔහු මගේ හිතවතෙක්. අනෙක ඔහුගේ මුහුණටයි පහර දෙන්න තිබුණේ. හරිම අපහසුවෙනුයි ඒ දර්ශනයට මුහුණ දුන්නේ.