වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




රැයක් පහන් වනතුරු රිටිගල මුදුණේ

රැයක් පහන් වනතුරු රිටිගල මුදුණේ

ගිරිතරණයේ එකම කාන්තා හඬ තේජානි විජේසිංහ

රිටිගල කන්දේ ගල්කුළු අහස් කුස අරා විහිද යයි. මේ කන්ද තරණය ඔවුනට විශාල අභියෝගයකි. රිටිගල රක්ෂිතය පුරා විහිදී යන රැහැයි හඬ හැරෙන්නට ඒ හඬ පරයමින් ඇසෙන කෑරලෙකුගේ හඬ ඉඳ හිට ඇසෙයි. දහවල් කාලයේ ඇරැඹුණු ගමන සවස් වනවිට කන්දේ මුදුනට ළං වී තිබුණේ හිරිගඩු පිපි සීතලත් සමඟිනි.

රාත්‍රී හතට ආසන්න වෙද්දී කූඩාරම් සකස්කර අවසන් වී තිබුණා. කන්ද මුදුණේම වූ ගල් තලාව මත හිඳිමින් ගැයෙන ගී හඬ මධ්‍යම රාත්‍රිය තෙක්ම එක දිගටම ගැයුණේ අවට වූ සුන්දරත්වයේ චමත්කාරය ද සමඟිනි. ගිරිතරණයේ අභියෝගය සමඟ මෙහි සිටි එකම ගැහැනු ළමයා මේ අවදානම් චාරිකාවේ මිහිර විඳ ගත්තේ මාධ්‍ය ජීවිතයේ ඇය ඇලුම් කළ අත්දැකීම් එහි සිටින සහෘද මාධ්‍යවේදීන් සමඟ එකසේ විඳ ගනිමිනි.

ජාතික රූපවාහිනියේ තේජානී විජේසිංහ.... අද අප ඇය හමුවන්නේ “ගිරි තරණයේ” ඒ ලැබූ අපූරු අත්දැකීම් පෙළක් සමඟිනි.

ඇත්තටම තේජා ඒ වගේ අත්දැකීමක් ලැබීම ගැන ඔබට මොකද හිතෙන්නේ....

මම මුලින්ම මේ ගමනට එකතු වුණේ හරිම ආසාවෙන්. එහිදී ලැබුණු අත්දැකීම් නම් කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. අපි කන්ද මුදුණෙම උයාගෙන කාලා රාත්‍රී නින්දට ගියා. මට වෙනම කූඩාරමක් තිබුණා. අපේ කණ්ඩායමේ ශිල්පියෝ වෙනම කූඩාරම් දෙකක හිටියා. නිදියන්න හැදුවට මොන නින්දක්ද? බිම තියෙන මුල් ඇනෙනවා. එදා රෑ එළිවෙනකම් නිදි නැහැ. සර්පයෝ ගැනත් හරිම බයයි. එළිය වැටෙනකල් නිදි නැතිව ඉඳලා උදේ අපි පහළට බැස්සා.

බහිනකොට අපට එක පාරටම අමුතු ශබ්දයක් ඇහුණා. අපේ කැමරා කණ්ඩායමත් හෙමිහිට ඒ පැත්තට කිට්ටු වුණා. බලනකොට මල් කරවලා කියන සර්පයා ගෙම්බෙක් ගිලිනවා. මේ දුලභ සිද්ධිය අපේ කැමරා ශිල්පීන්ට එදා පටිගත කර ගන්න පුළුවන් වුණා. ඒක පැය දෙකක් අපි පටිගත කළා. ඇත්තටම මේ ගමනෙදි අපි ජෛව විවිධත්වය කියන දේ දැක ගත්තා.

ගිරි තරණය ඔබ ඉදිරියේ කළ එක වැඩ සටහනක් විතරයිනේ. අපි ඔබව පුංචි තිරයේදී බොහෝ විට දකින්නේ මැදිරියක් තුළ නෙවෙයි. වැඩිපුරම ගවේෂණාත්මක වැඩ සටහන් හරහා.

මම මාධ්‍යවේදිනියක් ලෙස හැම විටම බිත්ති හතරකට කොටුවෙන්න කැමැති වුණේ නැහැ. මට ඕනේ වුණේ වෙනස්ම ආකාරයේ, අභියෝගාත්මක වැඩසටහන් ඉදිරිපත් කරන්න. ඒ නිසාමද කොහෙද මට ලැබුණෙත් එවැනිම වැඩසටහන්.

එවැනි වැඩසටහන් ගැන මතක් කළොත්....

“අපි අපි” කියන ගවේෂණාත්මක වාර්තා වැඩසටහන එවැනි එකක්. අපි එක් වැඩ ටහනක් කළා කොළඹ වීදි වෙළඳාම් කරන පලතුරු වෙළෙන්දෝ ගැන. මට මතකයි මේ වගේම කාලෙක අපි ගියා තිඹිරිගස්යායේ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය ගාවට. එතන මේ කාලෙට දූරියන්, මැංගුස්, ගඩුගුඩා, අඹ, රඹුටන් විකුණනවා.

මෙතනට මේ පලතුරු විකුණන්න ගැහැනු අයත් එනවා. ඒ අය රෑට ඉන්නේ මේ පලතුරු ගොඩ ළඟයි. ළමයිනුත් එක්ක මේ ගැහැනු අය ඉන්නකොට සිදුවෙන හිරිහැර ගැන බලපෑම් ගැන අපි මේ අය සමඟ කතා කළා. ඒ අය එන්නේ ඈත පිටිසර ගම්වලින්. පලතුරු වාරය ඉවරවෙලා අවසන් වුණාම ආපහු යනවා. මේ අය විඳින දුක, කටුක බව දැක්කාම මට පුදුමාකාර සංවේදී බවක් දැනුණා.

එවැනිම වැඩසටහනක් අපි දවසක් කොටුවේ ස්ටේෂන් එක ඉදිරිපිට කළා. එතන ඉන්න ටොෆි, කඩල, ඇපල්, දොඩම් විකුණන පදික වෙළෙන්දෝ ගැන. මම එක අන්නාසි වෙළෙන්දෙක්ගේ වොයිස් කට් එකක් ගන්න ලැහැස්ති වුණා. එක පාරටම එතනට කඩාගෙන පැන්න මනුස්සයෙක් ඇයි ඇයි... මොකද්ද .... ඔය කරන්න හදන්නේ.... කාගෙන් අහලද කරන්නේ කියාගෙන මැදට පැන්නා. අපි කරන්න යන දේ ගැන ඒ මනුස්සයට පැහැදිලි කළා. නමුත් ඒ මනුස්සයා කියනවා ඕනේ දෙයක් තියනවා නම් මගෙන් අහන්න... මෙතන ඉන්න ඔක්කොම මගේ අය. ඒ අයට වෙළෙඳාම් කරන්න දීලා තියෙන්නේ ඒ මනුස්සයාලු. අන්තිමේදී අපි ඒ වැඩේ අතහැරලා ආපහු ආවා.

තවත් මගේ ආසම වැඩසටහන තමයි රිවිදින අරුණැල්ල... ඒ වැඩසටහන මම මුලින්ම දැක්කේ අවුරුදු දහයේදී. උදය ද සිල්වා මහත්තයා වගාව ගැන කියාදෙන ඒ වැඩසටහන බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. පස්සේ අවුරුදු විස්සෙදී මට ඒ වැඩසටහන කරන්න ලැබුණා.

තේජානිගේ මාධ්‍ය ජීවිතේ පටන් ගන්නේ....

මම මුලින්ම ඉදිරිපත් වුණේ ගුවන් විදුලියේ ළමා පිටියෙන්. අවුරුදු දහයේදී විතර මහින්ද අල්ගම, හෂිනා ගුණරත්න, මාලනී වෙත්තසිංහ කියන අය තමයි මට ක්ෂේත්‍රයේ ගුරුවරු වුණේ. ඒත් මම පුංචිම කාලේ පාසලේ කතා කරන කෙනෙක් නෙවෙයි. මම මුලින්ම ගියේ බොරැල්ලේ සංඝමිත්තා බාලිකාවට. පසුව ආනන්ද බාලිකාවේදී තමයි වසන්තා හරිස්චන්ද්‍ර මහත්මිය මාව මාධ්‍ය ඒකකයට සම්බන්ධ කර ගන්නේ. ළමා පිටියේ ළමයි 400 කින් ප්‍රවෘත්ති, නාට්‍ය හඬ කැවීම, සජීවී හඬ කැවීමට 100% ලැබුණා. ඒ නිසාම මට මහින්ද අල්ගම මහතා සමඟ වැඩ කරන්න අවස්ථාව ලැබුණා. මාව එතැනට යොමු කළේ භාරත සඳරුවන්. ඔහොම ඇවිත් සාමාන්‍ය පෙළ ලියනකොට තමයි සහන නිවේදක තනතුරට තේරුණේ. ඒ ආපු අයගෙන් අද වෙනකල් සිටි FM එකේ වැඩ කරන්නේ මම විතරයි. ඒ හරහා තමයි මම රූපවාහිනියට සම්බන්ධ වුණේ.

ඔබ ගුවන් විදුලියේ වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී ලැබූ අත්දැකීම් ඇතිනේ....

සිටි FM එකේ රිදම් ඔෆ් සිටි FM කියලා බෙල්ට් එකක් තියෙනවා. ඒකේ යන්නේ තරමක් වේග රිද්ම ගීත. මම සාමාන්‍යයෙන් හින්දි ගීතවලට ආසයි. ඒ නිසා පැයකට හින්දි ගීත දෙකක්වත් විකාශය කරනවා. දවසක් උදේක මට මේ වැඩසටහන කරන්න ලැබුණා. එදා ෆ්ලේ කළේ පැයකට එක හින්දි සිංදුව ගානේ. මම හින්දි සින්දු එක දිගටම ගහනවා කියලා කවුද සභාපතිතුමාට කියල තිබුණා. එදා වැඩසටහන ඉවරවෙනවත් එක්කම සභාපති හඩ්සන් සමරසිංහ මහත්තයා එන්න කිව්ව ගමන්ම මම දැනගත්තා මොකක් හරි ප්‍රශ්නයක් කියලා. මම බයෙන් බයෙන් සභාපතිතුමාගේ කාමරයට ගියා. එක පාරටම ඔහු ඇහැව්වා “මොකක්ද ඔය ළමයා එක දිගටම බීම් එකේ හින්දි සිංදු ගහනවා කියන්නේ. මොකක් කියලා හිතුවද කියලා” මම නැහැ සර්.... එහෙම දෙයක්.... කියන්න විතරයි ලැබුණේ. මේ ඔය ළමයගේ ඕෆ් කට් එක ගේන්න. මම බෝඩ් එකක් තියලා අස්සනවා.

“ඒ අය වැඩසටහන හොඳ නෑ කිව්වොත් හෙට ගෙදර යන්න ලැහැස්ති වෙලා ඉන්න.” කියලා ඔන්න දැන් ඕෆ් කට් එක ගෙනාවා. හැබැයි බෝඩ් එක මේක අහන වෙලාවේ මම එතන හිටියේ නැහැ. මම ඒ වෙනකොට ඌව පළාත් සභා අවුරුදු උත්සවයට ගිහින්. දැන් ඒ වැඩසටහන කරන අතරේ සභාපතිතුමාගේ කාර්යාලයෙන් දුරකතන ඇමතුමක් ආවා. “දැන්මම සභාපතිතුමා එන්න කියනවා” කියලා. මම දැන් රූපවාහිනියේ වැඩකට ඇවිත් ඉන්නේ. මට තව දවස් දෙකක් දෙන්න පුළුවන්ද? මම සර්ව හම්බ වෙන්නම් කියල ඇහුවා. සර් හා කියලා තිබුණා.

පස්සේ දවස් දෙකකින් මම ගියා සර්ව හම්බ වෙන්න. පස්සේ ආපු වෙලාවේ එතන ටී.ඩී.කේ ජයන්ත මහත්තයත් හිටියා. සභාපතිතුමා කිව්වා “මම දැක්කමයි ළමයෙක් බීට් එක තේරුම් අරගෙන සිංදු ටික ගන්න ඕනේ ෆ්ලේ එක තේරුම් අරගෙන සිංදු ටික අරන් තියෙන්නේ” කියලා ඇත්තටම එදා සර්ට කියපු කේලම ඇහැව්වා නම් මම ගෙදර. නමුත් සර් ඒ ගැන පරීක්ෂණයක් තියලා සොයා බලපු නිසා මාව බේරුණා. ඊට පස්සේ ටී.ඩී. කේ. සර්ටත් කිව්වා මට උදව් කරන්න කියලා. මට එදා තමයි හොඳම ප්‍රසංසාව ලැබුණු දවස. ඊට පෙර නම් මම අනන්තවත් වැරැදි කරලා බැනුම් අහලා තියෙනවා. හැමදාම බැලුම් අහලා එදා හොඳක් අහපුවහම මට සතුටක් ආවා.

ඇත්තටම මට ගොඩක් උදවු කරපු මහින්ද අල්ගම මහත්තයා මියගිය දවස මට කවදාවත් අමතක කරන්න බැහැ. ඔහු මියගිය දවසේ මම බීම් එකේ. ඒ පුවත මටම කියන්න සිදුවීමත් මගේ ඇස් දෙක කඳුළින් තෙමුණු දවසක්. ඒ නිසාම ඒක මට කියාගන්න බැරිවුණා.

ඉතින් තේජා..... කොහොමද ඔබේ පෞද්ගලික ජීවිතේ....

අම්මා මහවැලි අධිකාරියේ, තාත්තා අධිකරණ අමාත්‍යාංශයේ. මම අපේ ගෙදර ඉන්න එකම දරුවා. ඒක තමයි මගේ විස්තරය.

තේජානිගේ ඊමේල් ලිපිනය -

[email protected]