වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




හනිමුන් එකේදී ජයන්ත අයියා වරිග සබාවක් කැඳෙව්වා

හනිමුන් එකේදී ජයන්ත අයියා වරිග සබාවක් කැඳෙව්වා

උමාලිගෙයි මගෙයි මධුසමය දීර්ඝ වුණා

සාරංගගෙයි අම්මාගෙයි ආදරය මැද කාලය ගෙවනවා

උමාලිට රසට තේ හදන්න පුළුවන්

“ආදරේ කතන්දරේ
රහසේ පිටුවක් පෙරළුණා
දෙහදක් යා කළා
සඳවත සේයා
ඔබ මා තුරුලේ නැවතුණා“

සාරංගත් - උමාලිත් මෙහෙම ගයන්නේ සැබෑම ආදරයෙන්. ඒ වසර ගණනක් දෙහදක බැඳී හාදකම ගැනයි. මේ බැඳී හාදකම එක්තැන් වී කාලයක් ගතවුණේ කාටත් නොදැනී. මේ අලුත් ජෝඩුවගේ දුක සැප සොයන්න හිතගෙනයි සරසවියේ අපි සාරංගගේ නිවෙසට පය තිබ්බේ. අලුත් ජෝඩුව අප දුටුව ගමන්ම බොහොම ආදරයෙන් පිළිගත්තේ ආගන්තුක සත්කාරයට මුල්තැන දෙමින්.

“උමාලිගෙත් - සාරංගගෙත් අලුත් ගීතය මේ දවස්වල අපට ඇහෙනවා.“ මා කතාවට ආරම්භයක් දුන්නා.

“අපි දෙන්නගේ අලුත් ගීතයේ තියෙන්නේ අපි දෙන්නාගේම කතාව තමයි. ඒ ගීතය අපි මුලින්ම ගැයුවේ අපේ විවාහ මංගල්ලයේදී. ඊට පස්සේ අපි ඒක චැනල්වලට දුන්නා.“

සාරංග කතාවට අත්පොත් තිබ්බේ එහෙම කියමින්.

‘ඉතිං කොහොමද ජීවිතේ‘

මං විමසුවේ අලුත ගෙනා මනමාලිගෙන්.

“ජීවිතය ගඟක් වගේ බොහොම සුන්දරව ගලාගෙන යනවා. අලුත් ජීවිතේ සුන්දරත්වයත් තුරුළු කරගෙන සුපුරුදු විදියට කාලය ගෙවෙනවා. නේද සාරංග“ උමාලිගේ නෙත නතර වුණේ සාරංගගේ නෙත් අතරේ.

උමාලි ඉන්නේ ජපානයේ වග මගේ මතකයට නැඟුණේ ඇගේ ඒ කතාවෙන්.

සාරංගව බලන්න නිවාඩුවක්වත් ලැබුණාද?

“මම මේ ආවේ සතිදෙකක නිවාඩුවකටයි. ඒ මම රඟපෑව ‘මහරජ ගැමැණු‘ චිත්‍රපටයේ හඬකැවීම් සඳහායි. ඉගෙනීම් කටයුතු යන අතර ගෙවෙන මේ නිවාඩුව සාරංග ළඟින් ඉන්නත් අපූරු අවස්ථාවක්. සාරංගගේ වගේම අම්මගේ ආදරය මැද කාලය ගෙවෙනවා දැනෙන්නේ නෑ“

“දුරස් වෙලා ඉන්න ලැබෙන එක දුකක් නෙවෙයිද?“

“දුකක් තමයි. ඒත් ඒ අපේ අනාගතය වෙනුවෙන් කරන දෙයක් නේ. මේ දුරස්ථ බව අපට දැන් අලුත් දෙයක් නොවෙයි. ඒකට අපි හුරුවුණේ ආදරවන්තයන් වෙලා සිටින කාලයේදී ඉඳලා. උමාලි ඇයගේ අධ්‍යාපන කටයුතු අතර ජපානයේ කාලය ගත කරන කොට මමත් මගේ රටට වෙලා රංගන කටයුතුවල නියැළෙනවා. ඒ අතර උමාලිට කතා කරනවා. පසුගිය කාලයේ ඈව බලන්න මම ජපානයට ගිහින් මාස එකහමාරක නිවාඩුවක් ගත කරලයි මේ ඇවිත් ඉන්නේ. මෙහේ අපි දෙන්නට නිතරම එකට ඉන්න බැරිවුණත් ඒ ගත කළ කාලය බොහොම සුන්දරයි. උපරිම නිදහසක් භුක්ති වින්දා. අපේ මධුසමය කාලය දීර්ඝ වුණා කියලයි මට නම් හිතෙන්නේ.“

සාරංගගේ සිත තාමත් තිබුණේ ජපානයේ. ඒ අතර සකුරාමල් වැටුණු පාරදිගේ සාරංගත් -උමාලිත් ඇවිද යන අපූරුව මගේ සිතේ ඇඳුණා.

“සකුරා මල් පිපෙන ජපානය හිතට අල්ලලා වගෙයි“

“සාරංගත් එක්ක ගෙවුණු කාලය බොහොම අපුරුයි. සාරංග එනකොට සකුරාමල් යායට පිපිලා තිබුණේ නැති වුණත් අතරින් පතර සකුරා මල් දකින්නට ඔහුට හැකිවුණා. අපි දෙන්නම බොහෝ තැන්වල ඇවිද්දා. ටෝකියෝ, නගාතෝ, කියතෝ, සිසුකා,හිතාචි,චිබා, ඕසාකා වගේ තැන්වලට අපි ගියා. විශේෂයෙන්ම මම ඒ රටේ රඟපාන ටෙලි නාට්‍යයේ රූගත කිරිම් නරඹන්නත් ඔහුට වාසනාව උදාවුණා.“

සාරංගගේ ජපාන් සංචාරය ගැන සතුට පළ කළේ උමාලි.

“කොහොමද උමාලිගේ තේ එකේ රස එහෙම“

“උමාලිට රසට තේ හදන්න පුළුවන්. ඒ වගේම උයන්නත්. එහේදි සමහර අවස්ථාවලදී ඈ ඉව්වා. මම වඩාත් ජපන් කෑම කන්න කැමැති නිසා එළියෙන් අපි කෑම කෑවා. සමහර දවස්වලට කෑමට උමාලිගේ යාළුවෝත්, ගුරුවරුන්ගෙත් ලැබුණු ආරධනාවලටත් අපි සහභාගි වුණා.“ සංග්‍රහවලින් හා සුන්දරව ගෙවුණු කාලය ගැන සිහි කරමින් සාරංග කිව්වා.

“ගෙදර ආවට පස්සෙත් උමාලි ද තේ හදන්නේ“

“අපෝ නෑ. අම්මා තමයි තේ හදන්නේ. මට තියෙන මේ කෙටි කාලයේ මගේ වැඩ කටයුතු ටික කරන කොට වෙන වැඩක් කරන්න කාලයක් නැහැ. ඒත් ඉතිං මම සමහරදාට කුස්සියේ ඉඳගෙන අම්මගේ තනි රකින වෙලාවලුත් නැතිවාම නොවෙයි. කොහොම වුණත් අම්මා අපි ගැන ඉන්නේ බොහොම අවබෝධයෙන් නිසා කිසිම කරදරයක් මට ඇත්තේ නැහැ. සාරංග වුණත් එහෙමයි. මේ වැඩය කළ යුතුමයි කියලා මට අණ කිරිම් කරන්නේ නැහැ. මම වුණත් එයාගේ කටයුතුවලට ඕනෑවට වඩා මැදිහත් වීමක් වෙන්නේ නෑ. සමහර පුරුදු අපි විසින්ම ඈත් කර ගත යුතුයි තමයි. ඒවා කතාබහ කරලා සහයෝගයෙන් යුතුව වැඩ කරන එකයි අපි කරන්නේ. සාරංග මා ගැනත්, මම සාරංග ගැනත් ඉන්නේ බොහොම අවබෝධයෙන්“

‘ඇත්තටම උමාලිගේ මොනවගේ ගතිගුණ ද ඔබගෙත් වඩාත් සිත් ගත්තේ“

“ඈ බොහොම මානුෂීය අදහස්වලින් සපිරුණු තරුණියක්. ඒකට මම බොහොම කැමැතියි. යම් ප්‍රශ්නයකදී ඒ ප්‍රශ්නයට අදාළ කෙනාගේ සපත්තුවට බැහැලා ඒ ගැන හිතන්න පුළුවන් කෙනෙක් තමයි උමාලි කියන්නේ. කාලයක් මගේ වගේම තාත්තාගේත් ඇසුර දුරස් වෙලායි තිබුණේ. ඒ වගේම මගේ ජීවිතේ අමතක නොවන කාරණයක් විදිහට මම දකින්නේ ඒ ඇසුර ළං කරන්න ඈ ගත්ත මහන්සියයි. මා උදාසීන අවස්ථාවල ඒ උදාසීන බවෙන් මඟ හරවලා ඒ ඒ කටයුතුවලට යොදවමින් ඈ කරන කාර්යභාරය ගැන කියන්නත් මට වචන නැහැ.

“සාරංගගේ හදවතේ තිබුණු ඒ සොඳුරු හැඟීම දෙනෙත්වලත් ගැබ්වෙලා වගේ. ඒ තරමටම හැඟිමීබර බවක් ඔහුගේ ස්වරයෙන් මුසුවෙලා. ඒ අතර උමාලිගේ සිත ගන්න මේ අපූරු යෞවනයා ගැන යමක් කියන්නත් අපි ඈට ආරාධනා කළා.

“සාරංගත් මමත් මුණ ගැසෙන්නේ ‘සඳවතක සේයා‘ කියන ටෙලි නාට්‍යයේදී. මම අගය කළ බොහෝ දේ ඔහු කෙරේ තිබුණා. මුලින්ම ඔහුගේ ආදරයට මම බොහොම කැමැතියි. ඒ වගේම ඔහු කරන කාරිය නිවැරැදිව අලුත් විදියට, උපරිමයෙන් කරන්න උත්සාහ ගන්නවා. ඔහුගේ සාර්ථකත්වයට හේතුව ලෙස මා දකින්නේ ඒ කාරණයයි. ඒ වගේම මගේ පවුලේ අයට ආදරය කරන, විශේෂයෙන්ම මගේ ආත්තම්මාත් සමඟ ඔහු කුඵපගයි. අත්තම්මගේ හිත දිනා ගන්නත් ඔහුට පුළුවන් වුණා. මාව යම් යම් ගැටලුවලින් බේරා ගන්න, සමහර අවස්ථාවලදී යම් යම් දේවල හරි වැරැදි දේ අවබෝධ කරලා දෙන්න පුළුවන් අපූරු සැමියෙක් තමයි සාරංග කියන්නේ. නිහතමානී ගතිගුණවලින් සපිරුණු ඔහු වාහනය පදවන ආකාරයටත් මට බොහොම කැමැතියි.“

උමාලි සාරංග ගැන බොහෝ දේ කිව්වා.

පුංචි තිරයේ ඉන්න ජනප්‍රිය පෙම්වතා පෙම් ජවනිකා රඟන විට පුංචි ඉරිසියාවක්වත් ඇති වෙන්නේ නැද්ද

කියලා මා මේ රුවැත්තියගෙන් විමසුවා.

“එහෙම ඉරිසියාවක් ඇතිවෙන්නේ මාව ඔහු දෙවැනි තැනට දාලා සැලකුවොත් තමයි. එහෙම නැති නිසා ඒ වගේ දේවල්වලට මගේ සිතේ ඉඩක් නැහැ. “

උමාලිගේ මියුරු ස්වරයේ තිබුණේ අවංකබවක්.

“ළඟදීම ඔබ රංගනයෙන් අලුත් පිම්මක් පනින්න සුදානම් බවක් අපට අරංචි වුණා. ඒක ඇත්තක් ද?“

“ජපානයේ ව්ඩ්ම් නාලිකාවේ ටෙලිනාට්‍යයකට මා රංගනයෙන් සම්බන්ධයි. එහිදි පරීක්ෂණ වගයක් තිබුණා හොලිවුඩ් චිත්‍රපටයකට. එහි ප්‍රධාන චරිතය කරන්නේ හොලිවුඩ්වල ප්‍රසිද්ධ නළුවෙක් කියලා ආරංචියි. ඒ වගේම ක්‍රිස්ටීන් ස්ටුවඩ් හා ගයිපියස් ඊට සම්බන්ධ වන බවත් ආරංචියි. ඒ ගැන යම් බලාපොරොත්තුවක් තිබෙනවා. “

“නව යුවළගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?“

ඒ පැනයට සාරංග අපුරු මතකයක් හෙළි කළා.

“මේ සිද්ධිය සිද්ධ වුණේ අපේ මධුසමය ගත කරන කාලයේ. ඒ දවස් ටික අපි රට වටේම ඇවිදින්න යන්නයි තීරණය කරලා තිබුණේ. කොහොම වුණත් දඹුල්ල කණ්ඩලම හෝටලයේ ඉන්න අතරතුර අපට මහරජ ගැමුණු චිත්‍රපටයේ රඟපෑමට දායක වෙන්න සිද්ධ වුණේ හදිස්සියේ. අපිව උදේ හතරට විතර හෝටලයෙන් ගත්තා. ඒ වුණත් එදා ෂූට් එක කරන්න වුණේ නැත්තේ තිබුණු කාලගුණ තත්ත්වය නිසයි. මේක ඉතිං කළ යුතුම දෙයක් වුණත් ජයන්ත චන්ද්‍රසිරි අයියා ඊළඟ දවස නම් අපෙන් ඉල්ලුවේ නැත්තේ අපි දෙන්නගේ ජීවිතේ ලස්සනම දවස් කිහිපය රූගත කිරීමටම ගතවන නිසයි. ඒත් ඉතිං අපි එහෙම හිතන්නේ නැතිව ඒ දවසත් ෂූට් එකේ ඉඳලා ඒ වැඩේටත් සහභාගි වෙලාම ආවා. ඒකට බොහොම ස්තූති කළ ජයන්ත අයියා විශේෂයෙන්ම වරිග සබාවකුත් කැදෙව්වා. මේ සිදුවීම නම් අපට ජීවිතේ තියෙනතුරාවටම අමතක නොවේවි. “

“අපේ මංගල උළෙල ගැන කවදහරි දවසක කතා කරන්නට යමක් එකතු වුණා.“

උමාලිත් කතාවට හවුල් වුණේ ඒ අතීත මතකයේ ගිලෙන අතරමයි.

හෝරාකිහිපයක් ගෙවුණු උමාලි - සාරංගගේ සොඳුරු කැඳල්ලෙන් සමුගෙන අප යා යුතුයි. ඒ නිසා අප ඔවුන්ගෙන් සමුගත්තේ බොහෝ දක්ෂාතා සපිරුණු නව යුවළගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා කියන ප්‍රාර්ථනාවත් සමඟින්.