වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




බුද්ධිමත් රසිකයා තවම සුභාවිත ගීතය සමගයි

බුද්ධිමත් රසිකයා තවම සුභාවිත ගීතය සමගයි

විශාරද එඩ්වඩ් ජයකොඩි

මේ S.M.S තරුවල දීප්තියෙන් දෑස් නිලංකාර වූ යුගයකි. අද ගායකයකු වන්නට සරල ගී පරීක්ෂණ හෝ ශිල්පීය වර්ගීකරණයක් අවශ්‍ය නැත. එකම සුදුසුකම වන්නේ අනුන්ගේ ගීත තමාගේ මෙන් ගායනා කිරීම පමණකි. ‘තරු’ පමණක් නොව අද රූපවාහිනී නාළිකා මඟින් ගී ලොව ‘සුපිරි වීරයන්’ බවට පත් කර ඇත්තේ ද මේ S.M.S ගිරා පැටවුන්ය.

‘සුභාවිත ගීතය’ කුමක්දැයි නුදුරු දිනෙක දරුවකු අපෙන් විමසුවහොත් එය පුදුමයට කරුණක් නොවේ. ඒ සුභාවිත ගීතය කෙවිටෙන් තලා පිටමං කරන්නට, එය පිළිකෙව් කරන්නට අද ඇතැම් විද්‍යුත් නාළිකාවන් පෙරමුණ ගෙන ඇති බැවිනි.

විශාරද එඩ්වඩ් ජයකොඩි ‘මාරම්බරී’ ගී දැහැන රැගෙන සිය රසික සමූහයා වෙත පිය ඔසවන්නේ එවන් ගිරිදුර්ග, කටු කොහොල් පිරි මාවතක් ඔස්සේය. සැබැවින්ම එඩ්වඩ්ගෙන් පසු අපේ සුභාවිත ගීතය ඉදිරියට රැගෙන යාමට ශිල්පියකු බිහි නොවූ බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ.

තව නොබෝ දිනකින් ‘මාරම්බරී’ සුවිශේෂී ප්‍රසංගයක් සමඟින් එඩ්වඩ් සිය සහෘද රසිකයන් හමුවීමට නියමිතය. මේ පිළිසඳර ඒ නිමිත්තෙනි.

මේ 29 වැනිදා සවස 6.30 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ‘මාරම්බරී ‘ විශේෂ වාර්ෂික ප්‍රසංගයක් පැවැත්වෙනවා. ප්‍රසංග වාර හැටකට අධික ප්‍රමාණයක් මේ වන විට ‘මාරම්බරී ‘ අපි මෙරටත්, විදෙස් රටවලත් පවත්වා තිබෙනවා. වසර තිස් පහක් පුරා මම ගැයූ විවිධ කඩඉම් ගී මේ ප්‍රසංගයට ගායනා කරනවා. ඇත්තෙන්ම ඒ කාලය පුරා මා ලත් අත්දැකීම්, පරිචය මෙවැනි සාර්ථක ප්‍රසංගයක් පවත්වන්නට මට ඉවහල් වුණා කීවොත් නිවැරැදියි. ‘මාරම්බරී’ වසර තිස් පහක් ඉවසලා කරපු ප්‍රසංගයක්.

* මම හිතන්නේ ඔබ පාසල් වියේ පටන්ම ඒක පුද්ගල ප්‍රසංග කලාවට ඇළුම් කළ කෙනෙක්?

අමරදේව සර්ගේ, සනත් නන්දසිරි සර්ගේ, එතකොට වික්ටර් රත්නායක මහත්මයාගේ, නන්ද මාලිනී මහත්මියගේ ප්‍රසංග මම නැරැඹුවේ පාසල් යන කාලේ. එතකොට මම කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. සංගීතයත් හදාරනවා. මම ඔය නම් සඳහන් කළ ප්‍රවීණයන්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංග නරඹා එදා මා ලැබුවේ ලොකු ආශ්වාදයක්.

* හිතුණද කවදා හරි ඒක පුද්ගල ප්‍රසංගයක් කරනවා කියලා?

අපෝ නැහැ. එය විශ්වකර්ම වැඩක් හැටියටයි එදා මම දැක්කේ. කොහොමද තනියම මෙපමණ ගීත සංඛ්‍යාවක් ගායනා කරන්නේ? කොහොමට මේවා කෙරෙනවා ඇද්ද කියන කුහුලයි ඇත්තටම මට තිබුණේ. හැබැයි මේ ප්‍රසංග නරඹා මට කිසියම් ආනන්දනීය උන්මාදයක් නම් ඇති වුණ. පාසල්වලත් තිබුණා එහෙම උසස් රසඥතාවයට රුකුල්් දෙන වටපිටාවක්. මගේ සංගීත ගුරුවරයා වුණේ එච්. ඩී. සමරපාල. ආචාර්ය මණ්ඩලයේ හිටියා ජී. එච්. ජී. එදිරිසිංහ, ආරියවංශ රණවීර වැනි ගුරුවරු. ඔවුන් කලාවට, සාහිත්‍යයට ගොඩක් ආදරය කළ අය. අමාත්‍ය මහීපාල හේරත්, ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානාච්චි වගේ අය ඒ කාලේ අපේ පාසලේ වැඩිහිටි ශිෂ්‍යයෝ. සාහිත්‍ය සංගම්වල කතා පවත්වන්න ගීත ගායනා කරන්න අපව යොමු කරන්නේ ඔවුන්.

* ඔබ ඇතුළු අපේ ප්‍රවීණ ශිල්පීන්, ශිල්පිනියන් රැසක් බිහි වුණේ ගුවන් විදුලිය හරහා. ඔවුන් තමන්ගේ මහ ගෙදර හැටියට අදත් සලකන්නේ ගුවන් විදුලිය?

විශේෂයෙන්ම අපි ගීත සාහිත්‍ය පැත්තෙන් බැලුවොත් යම්කිසි ප්‍රමතිගත ආනන්දයක් තමයි එදා ගුවන් විදුලියෙන් අපට ලබා දුන්නේ. ප්‍රමිතිගත ඥාණනයක් තමයි විහිදුවා හැරියේ. ඒ නිසා ගුවන් විදුලියට ඒ ගෞරවය අදත් හිමි වෙන්න ඕනෑ.

* නමුත් අද ජාතික ගුවන් විදුලියත් ඇතැම් විට එෆ්. එම්. නාළිකා අනුකරණය කරන බවක් පෙනෙනවා?

අද මාධ්‍යය වෙනදාට වඩා විවර වෙලා. ගුවන් විදුලියට හෝ ජාතික රූපහිනියට තනිව මේ ගමන යන්න බෑ. එහෙම වුණොත් ඔවුන් වත්මන් මාධ්‍ය ලෝකයේ හුදෙකලා වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජාතික මාධ්‍යයන්ටත් පවතින රැල්ලට අනුගත වෙන්න සිදු වී තිබෙනවා අකැමැත්තෙන් වුණත්. ඒක ඉතින් ලෝක ස්වභාවය. එදා ගායකයෙකු, ගායිකාවක මිනිස්සුන්ට දකින්න පුළුවන් වුණේ සංගීත ප්‍රසංගයකදී, එහෙම නැතිනම් පුවත්පතකින් විතරයි. දැන් අද එහෙම ඕනැ නෑනේ. මාධ්‍ය තියෙනවානේ ඕනෑ තරම්.

* මේ ගීත ශ්‍රවණය කරනවා වෙනුවට නරඹන යුගයක් නේ?

ඉස්සර ගුවන් විදුලියෙන් ගීතයක් අහලා අපට ඕනෑ චිත්ත රූපය අපි මවා ගත්තා. අපේ මනස ඇතුළේ තමයි ඒක රූගත වුණේ. පිටපත් රචකයා, කැමරා ශිල්පියා හා සංස්කරණ ශිල්පියා මේ සියල්ලම අපිමයි. දැන් අද එක පුද්ගලයකුගේ සිතිවිල්ල තමයි අපට බලෙන් නරඹන්න වෙලා තියෙන්නේ මෙන්න මේකයි ගීතයේ අරුත කියලා. ඇත්තටම මේක ශ්‍රාවකයාගේ රස වින්දන ශක්තියට කරන ලොකු හානියක්. පෙන්වන දෙයක් බලලා කරබාගෙන ඉන්න තමයි අද සිදු වෙලා තියෙන්නේ.

* ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වීම කිසියම් ගායන ශිල්පියකුට හෝ ශිල්පිනියකට ලැබෙන සුවිශේෂ වරප්‍රසාදයක්. තව පැත්තකින් අභියෝගාත්මක කාර්යභාරයක්?

මේක සරල දෙයක් කියලා හිතන්න බෑ. ඒ වගේම හෑල්ලු කරන්නත් බෑ. මේක හරිම බැරෑරුම් වගකීමක්. මොකද ශාලාවකට එන සහෘදයාව පැය දෙක හමාරක් පමණ වේදිකාව පැත්තට නතු කර ගන්න ඕනෑ. රස වින්දනය වගේම හරවත් දෙයක් ඔවුන්ට ලබා දෙන්න ඕනෑ. සුභාවිත ගීතයේ රුව, ගුණ මේයැයි කියන හැඟීම අප ඔවුන් තුළ ඇති කළ යුතුයි. ඉතින් ඒවා අර මම කියපු ප්‍රසංගවලින් දැක්කා. ඒවා අධ්‍යනය කළා. ඒ නිසා එකී අභීයෝගාත්මක කාර්යයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා.

* සුභාවිත ගීතයට කෙතරම් සම්බාධක කවුරුන් විසින් පැනවුවත් එකී ගීත කලාවට ප්‍රිය කරන රසික පිරිස් අදටත් බහුලව මේ සමාජයේ ඉන්නවා?

මොන විදිහේ බාධක ආවත්, කුමන කෙනෙහිලිකම් සිදු වුවත් තවම සුභාවිත ගීයට ප්‍රිය කරන, ආදරය කරන විශාල රසික පිරිසක් අප අතර ඉන්නවා. ඇහුවොත් සල්ලි තමයි කියන නාළිකාවලින් ශ්‍රාවකයා මුදලට ගන්න උත්සාහ කළත් බුද්ධිමත් රසිකයා තවමත් ඉන්නේ සුභාවිත ගීතයත් සමඟ. අමරදේවයන් ප්‍රසංගයක් පැවැත්තුවත් බොහෝ පිරිස් තවමත් එය නරඹන්න එන්නේ ඒ නිසයි. වික්ටර් රත්නායකගේ, නන්දා මාලිනියගේ ප්‍රසංගයක් තිබුණොත් සමහර විට ප්‍රවේශ පත්‍රයක්වත් හොයා ගන්න නැහැ. දැන් වික්ටර් රත්නායක මහත්මයා ‘ස’ ප්‍රසංගය නවතා දැම්මට අදටත් ඒ ප්‍රසංගයට ඉල්ලුමක් තියෙනවා. අපේ සනත් නන්දසිරි මහත්මයා නැවත ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පවත්වන්න යනවා. ඒක හොඳම අවස්ථාවක් රසිකයන්ට.

* වර්තමානයේ ‘මාරම්බරි’ සමඟ තවත් ඒක පුද්ගල ගී ප්‍රසංග කිහිපයක්ම කරළියේ ගීතවත් වෙනවා. එය ඔබට අභියෝගයක් නෙවෙයිද?

අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ, ටී. එම්. ජයරත්න වැනි ශිල්පීන්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංග සඳහා හොඳ රසික ප්‍රතිචාරයක් තිබෙනවා. එය සතුටට කරුණක්. මොකද ඔය කාට රසික ආකර්ෂණය ලැබුණත් එයින් ආරක්ෂා වෙන්නේ අපේ සුභාවිත ගීතයයි. මේ වාගේ විවිධත්වයක් තිබෙන ප්‍රසංග නරඹන්න තාම ප්‍රේක්ෂකයෝ සැදී පැහැදී ඉන්නවා. හැබැයි මෙවැනි ප්‍රසංග සඳහා තිබෙන ලොකුම බාධකය තමයි විනෝද බදු සහනය නොලැබීම. නාට්‍යය කලාව බය නැතිව ඉදිරියට ගෙනියන්න පුළුවන් වුණේ එය විනෝද බද්දෙන් නිදහස් කරපු නිසා. ඉතින් විනෝද බද්ද අඩු කළොත් තවත් රසික පිරිසක් මෙබඳු ප්‍රසංග සඳහා ඈඳා ගන්න පුළුවන්. ඊළඟ අයවැයෙන්වත් මේ සහනය ලබා දෙන්න කියා රජයෙන් ඉල්ලීමක් කරන්නත් අපි හිතාගෙන ඉන්නවා.

* එතකොට අද ඇතැමුන් LIVE IN CONCERT  නමින් ප්‍රසංග පවත්වනවා. ඇතැම් විට මේවාත් තනි ගායකයකුගේ හෝ ගායිකාවකගේ ප්‍රසංග. මේ ප්‍රවණතාව ඔබ අර්ථ දක්වන්නේ කොහොමද?

මේ හැම දෙයක්ම LIVE IN CONCERT  තමයි. දැන් අපි ලතා මංගේෂ්කර්, මොහමඩ් රාෆි වැනි ශිල්පීන්ගේ LIVE IN CONCERT  නරඹලා තියෙනවා. තවත් ලෝකයේ එවැනි විශිෂ්ට ශිල්පීන්, ශිල්පිනියන්ගේ. මෙබඳු ප්‍රසංගයක අභිප්‍රාය වන්නේ එම ශිල්පියා හා රසිකයා අතර අන්‍යෝන්‍ය සම්බන්ධය රැක ගැනීම. කැසට් පටයක් හරි සී.ඩී. එකක් හරි අහනවාට වඩා සජීවීව ප්‍රසංගය නරඹන කොට එකිනෙකා අතර සමීපතාවක් ඇති වෙනවා. ප්‍රසංගය මොන නමින් ආවත් ඕක තමයි සංසිද්ධිය.

* එඩ්වඩ් ජයකොඩිගෙන් පසු අපේ සුභාවිත ගීතය එක තැනක නතර වුණා කියා ඇතැම් විචාරකයන් මෙන්ම ගීත ලෝලිනුත් පවසනවා. ඒක පිළිගන්නවාද?

පිළිගන්නම්. හැබැයි ඒකට හේතුව තමයි අර මම මුලින් කියපු මාධ්‍ය විවෘතභාවය. ගුවන් විදුලියෙන් අපව බිහි කළේ ප්‍රමිතිගතව. ඒ නිසා අපට කල් ඉකුත්වීමේ ලේබලය ඇල වුණේ නැහැ කොහෙන්වත්. අර විවෘතභාවය නිසා බොහෝ ශිල්පීන් ක්ෂේත්‍රයට එනවා. නමුත් ඒ එනකොටම කල් ඉකුත් වීමේ දිනයත් ඇලවිලා එන්නේ.

* සමසහර විට එක්පය(ර්) ඩේට් එක සතියයි දෙකයි?

ඔව්. එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි ඔය අතරේ ඉතාම දක්ෂයන් ඉන්නවා. සුභාවිත ගීතයෙන් හොඳ මෙහෙවරක් කරන්න පුළුවන් අය ඉන්නවා. ඒත් ඒ අයට හොඳ මග පෙන්වීමක් සහ අතදීමක් නොකර අයාලේ යවන්න හොඳ නැහැ. මම නම් ආසයි ඔවුන් සමඟ එකතු වෙලා අපේ ගීතය හොඳ පැත්තට හරවන්න.

* වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයට නවකයන් බහුල වශයෙන්ම පිවිසෙන්නේ මේ රියැලිටි ප්‍රසංග හරහා. එබඳු එක් වැඩසටහනක ඔබත් විනිශ්චයකරුවෙක්. සුභාවිත ගීතය රැක ගැනීම සඳහා ඔබත් යම් පරිශ්‍රමයක් දරන බව ද ඔය කියන්නේ?

ඔව්. ඇත්තටම ඔව්. මොකද ‘රණවිරු රියල් ස්ටාර්’ තරගාවලියේදී මම ඒ නවකයන්ට නිරන්තරයෙන් උපදෙස් දෙන්නේ හොඳ හරවත් ගීත කලාවක් එක්ක ඉදිරියට යන්න කියලයි. අපේ රට, දැය බේරා ගත්ත වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් අපට හැකි පමණින් මෙහෙවරක් කරන්නට තමයි මමත්, ජැක්සනුත්, යශෝධාත් ඊට පෙර හිටපු කල්හාරිත් මේ රණවිරු රියල් ස්ටාර් වැඩ සටහනට සහභාගි වුණේ. රණවිරුවා, සොල්දාදුවා කියපුවාම අපට මැවෙන්නේ රළු චරිතයක් සහ පරිසරයක්. අපේ ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞන්දර්යාත්මක සංකල්පය ඔස්සේ තමයි මේ රණවිරුවාගේ නැතිනම් සොල්දාදුවාගේ කලා කුසලතාවන් ජනතාව වෙත ඔසවා තැබුවේ. සමහර විට මේ අය උපරිම කුසලතා තිබෙන අය නොවෙන්න පුළුවන්. නමුත් ඔවුන් තුළ සිටින සෞන්දර්යාත්මක මිනිසා අවදි කිරීමම සද්කාර්යයක්.

* ‘මාරිම්බරී’ ප්‍රසංගයේ අප දකින විශේෂත්වය තමයි අපේ ළමා පරපුර උදෙසාත් ගීත නිර්මාණ ඉදිරිපත් කරන එක?

ඇත්තෙන්ම මේ ප්‍රසංගයේ දරුවන් වෙනුවෙන් විශේෂ කලාපයක් තියෙනවා. දැන් පාසලකින් ‘මාරිම්බරී’ ප්‍රසංගය කරනවා නම් මම ඒ පාසලේ කුසලතා තිබෙන දරුවන් කීප දෙනෙක්වත් ඊට සම්බන්ධ කර ගන්නවා. ඒ දරුවන්ට ඒක සදා සිහිවටනයක් වෙනවා. ඒ වගේම ඒක පුද්ගල ගී ප්‍රසංගයක වුණාම එහි විවිධත්වයක් තිබිය යුතුයි කියන එක මම හැමදාම කියනවානේ. ඒ නිසා තමයි අවුරුදු තිස් පහක්ම මම ඉවසුවේ. දැන් සරල ගීත, චිත්‍රපට ගීත, වේදිකා නාට්‍යය ගීත, ටෙලි නාට්‍ය ගීත, ඒ අතරේ ආදර ගීත, දේශාභිමාන ගීත, යුග ගීත, සමූහ ගීත, පර්යේෂණාත්මක ගී මේ හැම ආකෘතියක්ම තියෙනවා නම් තමයි රසිකයෝ කැමැති වෙන්නේ සහ ප්‍රසංගයේ විවිධත්වය රැකෙන්නේ. ඉතින් අවුරුදු තිස් පහකට පසුව මෙවැනි ප්‍රසංගයක් පැවැත්වීමට යන්තමින් හෝ මා සුදුසුයි කියා සිතුන නිසයි ‘මාරම්බරී’ ආරම්භ කළේ.

* මෙම සුවිශේෂී ප්‍රසංගයේ ඔබට දායක වන පිරිස පිළිබඳ අල්පමාත්‍රයකින් හෝ සඳහන් කළොත්?

ආචාර්ය රෝහණ වීරසිංහයන් තමයි මෙම ප්‍රසංගයේ වාද්‍ය වෘන්දය මෙහෙය වන්නේ. 1977 වසරේ මගේ මුල්ම ගුවන් විදුලි සරල ගීතය ‘කරදිය ගැඹරේ’ නිිර්මාණය කළේ රෝහණ. ඔහු පෞද්ගලික දිවියේ වගේම නිර්මාණ දිවියෙත් කල්‍යාණ මිත්‍රයෙක්. 2010 ‘මාරම්බරී’ පටන් ගන්න කොටත් සංගීත අධ්‍යක්ෂණය කළේ රෝහණ. එතකොට මෙහි යුග ගී ගායනා විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, විශාරද ශ්‍රියා කාරියවසම් හා ළමා ශිල්පිනී ශාරණ්‍යා ජයකොඩි විසින්. ඒ වගේම මෙම ප්‍රසංගයේ විස්තර කථනය වසන්ත රෝහණගේ. මේ 29 වැනිදාත් හොඳම දවසක් ඔබට මා හමුවන්නට.