වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




බුදු අම්මෝ කවුද එපා කියන්නේ

බුදු අම්මෝ කවුද එපා කියන්නේ

තරුමලීට තනි රකින සුබා රුවී හේරත්

ප්‍රේමවන්තයා සහාය අධ්‍යක්ෂවරයෙක්

මේ සිටින්නේ මුතු පලස දිගේ සෑම සතියේ දිනකම රාත්‍රියේ අප ආලින්දයට ගෙඩ වදින මනෝලි. තරුමලීගේ තනියට සිටි සුබා. සිටු මැදුරේ සෙනුරි. හිරු තනි වෙලා සමඟින් එන නටාෂා.

මං හරි නේද ඔබව හඳුන්වලා දුන්නු විදිහ?

තව නාට්‍ය දෙක තුනක් ඔයා කිව්වේ නැහැ අයියේ.

ඒ මොනවද?

ඇයි හිරු තනි වෙලා. එතකොට හිතට වහල් වීමි, අයියයි නංගියි, සඳට ආදරෙයි සහ ඒ ත්‍රීතර්ටි. අන්තිමට මං කිව්ව නාට්‍ය දෙක නම් මේ දිනවල ෂූටිං.

ඔබේ නම රුවී හේරත්?

ඔව්.

රුවී කවදා, කොහොමද ඔබ රංගනයට පිවිසුණේ?

මට අවුරුදු 12 දියි මං මුලින්ම රඟපෑවේ. ඒ අරුණ ජයවර්ධනගේ බාඳුරා දේශය ටෙලි නාට්‍යයේ.

පාසලෙන් අවසර තිබුණද එවකට පුංචි ඔබට රඟපාන්න?

පාසලෙන් තමයි මාව යොමු කළේ.

ඔබට කලාවට එන්නට මඟ විවර කර දුන් පාසලේ නමත් මතක් කරමු?

බණ්ඩාරවෙල විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය.

එතකොට රුවීගෙ ගමත් බණ්ඩාරවෙලද?

ඔව්. මගේ ගම බණ්ඩාරවෙල. දැනට කොළඹ පදිංචි වෙලා ඉන්නවා.

බාඳුරා දේශයෙන් පසු ඔබ රඟපෑ ටෙලි නාට්‍ය?

හිතට වහල් වීමි. ඊට පසුවයි අනෙකුත් නාට්‍යවලට සම්බන්ධ වුණේ.

ඔබ රඟපෑ ටෙලි නාට්‍යවලින් වැඩි ප්‍රතිශයක් වැටෙන්නේ මෙගා නාට්‍ය කුලකයට. මෙගා කරලා එපා වෙලා නැද්ද?

මට කොයි වෙලාවකත් මෙගා එපා වෙලා නැහැ. මෙගා නිසා නිදිමරන්න වෙනවා. ඒ මදිිවට දවසේ වැඩ කරලා ඉවර වෙද්දී හොඳ ගණං. හැබැයි ඒ මහන්සිය අමතක වෙනවා ටී. වී. එකේ මාව දකිද්දී.

ජනප්‍රියත්වයට ආසයි වගේ?

නාට්‍යවල ඉන්න කොට කොහොමත් ජනප්‍රිය වෙනවනේ.

රංගනය ඔබේ වෘත්තියද?

නැහැ. ළඟදීම මං මගේ වෘත්තීය මාරු කරනවා.

වෙනත් රැකියාවක් කරන ගමන් රඟපාන්න බැහැනෙ?

මං කිව්වේ ව්‍යපාරයක් වගේ දෙයක් පටන් ගන්නවා කියන එක. එතකොට රඟපාන්නත් පුළුවන්. බිස්නස් එක කරන්නත් වෙලා තියෙනවා.

රඟපාලා ලැබෙන මුදල රුවීට ප්‍රමාණවත් නැහැ වගෙයි?

එහෙම හින්දා නෙවෙයි වෘත්තීය මාරු කරන්නේ. ඉස්සර නම් මුදල් නැතුව රඟපෑවා. දැන් මං ඉල්ලන ගණන මට ලැබෙනවා.

අද වන විට බොහෝ නිළියන් නිෂ්පාදිකාවන් බවට පත් වෙලා. ඔබටත් නිෂ්පාදිකාවක් වීමට අදහසක් තිබෙනවද?

මට නිළියක් විදිහට තව හදා ගන්න දේවල් ගොඩක් තියෙනවා. නිළියක් විදිහට ක්ෂේත්‍රයේ නමක් හදා ගන්නකම් නිෂ්පාදිකාවක් වීමට මගේ අදහසක් නැහැ.

රුවී රඟපාන්නේ සම්මාන බලාගෙනද?

අපොයි නැහැ.

ඒ කියන්නේ සම්මානයක් දුන්නොත් එපා කියනවාද?

සම්මානයක් දෙන කොට කවුද එපා කියන්නේ.

මට ඒ උත්තරයෙන් පැහැදිලියි ඔබගේ හිත යට සම්මාන සිහිනයක් තියෙනවා කියලා?

හැමෝටම ජීවිතේ හීන තියෙනවනේ.

ජීවිතේ පැරැදිලා තියෙනවාද?

පැරැදීම් නැත්තේ කාටද. පැරැදීම් ගැන හිත හිත හිටියොත් අපි පරාදයි.

ගැහැනු ළමයෙක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරද්දී නොයෙකුත් ප්‍රශ්න ඇති වෙලා ඇති.

පුදුමයි. මට මේ වෙනකම් එහෙම ගැටළු ඇති වෙලා නැහැ. අපේ අය මට හරිම ආදරෙයි. මට ඊරිසියාකාරයොත් අඩුයි.

රුවී රඟපාන්න කැමැති චරිතයක් තියෙනවාද?

ඔව්. මට මේ වන විට ඒ චරිතය ලැබිලා තියෙන්නේ.

මොන නාට්‍යයේද?

රොෂාන් කුරුප්පු අයියගේ සඳට ආදරෙයි නාට්‍යයේ. අවිහිංසක ගැමි තරුණියකගේ චරිතයකුයි එහි මට රඟපාන්න තිබුණේ. මගේ එක්තරා හීනයක් සැබෑ වීමක් ලෙස එය මට කියන්න පුළුවන්.

රුවීගේ උපන් දිනය කවදද?

අප්‍රේල් එකොළහ.

එතකොට ලග්නය?

මකර.

හරි . . . එහෙමනම් කියන්නකො රුවීගේ පවුලේ තොරතුරු?

මමයි අම්මයි තාත්තයි. අම්මා තමයි මගෙත් එක්ක තනි නොතනියට ඉන්නේ.

රුවීට රඟපාන්න විතරද පුළුවන්?

නැහැ. මට සිංදු කියන්න නටන්න එහෙමත් පුළුවන්.

ගායන හැකියාවෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත්තේ ඇයි?

ඔක්කෝටම ඉස්සෙල්ලා රංගනයෙන් ඉදිරියට යන්න ඕනෑ. ගායනයයි නර්ථනයයි රංගනයයි එකට කරලා වැඩ අනාගන්න මට බැහැ. මුලින්ම රංගනය කරලා බලමු. ඊට පස්සේ ගයමු.

රුවීගේ ආදරවන්තයා මේ ක්ෂේත්‍රයේම ප්‍රකට සහාය අධ්‍යක්ෂවරයෙක්. ඔහු ගැන කියන්න සුදුසුම වෙලාවයි මේ?

මං හිතනවා ඒ ගැන වැඩිපුර සඳහන් නොකළොත් හොඳයි කියලා. මං කැමැතියි මගේ කලා ජීවිතය ගැන කතා කරන්න. අපි දෙන්නා පිළිබඳ දන්න අය හොඳට දන්නවා. ළඟදීම ඒ ගැන එළිකරන්නම්කො.

දෙදෙනාම එකම ක්ෂේත්‍රයක හින්දා ප්‍රශ්න ගැටළු නැතිද?

අපි දෙන්නට දෙන්නා හොඳ අවබෝධයකින් ඉන්නේ. ඒක හින්දා කිසිම ගැටළුවක් නැහැ.

ඔබේ ප්‍රේමවන්තයා මට කියලා තියෙනවා කවදා හරි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා කියලා. අනිවාර්යයෙන්ම එහි ප්‍රධාන නිළිය ඔබ වේවි?

එයාම මට එහෙම අවස්ථාවක් දුන්නොත් හොඳයි.

මොකද ඒ පිළිතුර ටිකක් කලකිරීමෙන් වගේ කිව්වේ?

මාව මේ වෙනකම් කවුරුවත් චිත්‍රපටයකට ගත්තේ නැහැනෙ.

ඇත්තටම තවම චිත්‍රපටයකට ආරාධනා ලැබිලා නැද්ද?

නැහැනෙ. ඒ ආරාධනාව ලැබෙනකම් තමයි මාත් බලාගෙන ඉන්නේ.

රුවීට ඒ අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ විසින්ම ඔබව කෙටියෙන් හඳුන්වා දෙන ගමන් මේ කතාවට විරාමයක් තබමු?

මං චුට්ටක් දඟයි. හරිම හොඳයි. කාටත් උදව් කරන අවිහිංසක කෙනෙක්.