වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




විකල් මතක මැද පහන් තරුව ඔබ...

විකල් මතක මැද පහන් තරුව ඔබ...

ප්‍රේමකීර්ති ද අල්විස්
පිළිබඳ සුමිතුරු වික්ටර් රත්නායකයන් ගේ මතකය

ප්‍රේමකීර්ති ද අල්විස් නමැති ඒ සොඳුරු රසවතා අපට අහිමිව ගොස් මෙම ජූලි 31 වැනිදාට පුරා අඩ සියවස් අඩකි. නොඑසේ නම් විිසිපස් වසකි. එහෙත් ඔහු, අප හද පුදසුන මත තබා ගිය සුවඳ ගී මල් පොකුර කිසිදා මිලිනව යන්නේ නැත.

විෂම ලොවක මුනි බණ පදයක් ව, බිඳුණු හදක සිහින් ඉකි බිඳුමක් ව, සෙනෙහස් දෙතොලක මුදු හසරැල්ලක් ව, මධු සාදයක පි‍්‍රය තෙපුලක් ව, ඔහු තවමත් අප අසලින්ම ජීවත් වේ. ඒ සැබෑ කලාකරුවා කිසි දිනෙක මිය නොයනා වග අපට සනාථ කරමිනි.

ප්‍රේමකීර්ති පිළිබඳ කතා කරනා විට, වික්ටර් රත්නායක නාමය අමතක කළ නොහැකිය. ඒ සුමියුරු සුසංයෝගය අපේ ගී කෙත අස්වැද්දූ රන් දියවරක් බඳුවේ. කලණ මිතු දමෙන් හා පිරුණු සදාදරයෙන් සුසැදි ඒ ආත්මීය සබැඳියාවට අතීතයේ එක් අඳුරු නිමේෂයක දී විරාමය තබන්නට සිදු වූයේ කිසිවකු නොසිතූ පරිද්දෙනි. සිය අපූර්ව ගමන් සගයා පිළිබඳ මහරු මතකය අවදි කරන්නට අප වික්ටර් රත්නායකයන්ට ඇරැයුම් කළෙමු.

ප්‍රේමකීර්ති ද අල්විස් නමැති ඒ අපූරු රසවතා, විශ්මිත මිනිසා පිළිබඳ මතකය ආවර්ජනය කරනා විට එය අපේ මුල්ම හමුවීමෙන් අරම්භ කිරීම වඩාත් යෙහෙකැයි මම සිතමි.

ඒ මා නිරන්තරයෙන් ගුවන් විදුලියට ආගිය කාලයයි. එවකට සිටි ප්‍රවීණ සංගීතවේදීන් බොහොමයක ගේ ගීත පටිගත කිරීම් සඳහා නිත්‍ය වයලීන වාදකයකු ලෙස සහභාගි වූ නිසා මා ගත කළේ තරමක අවිවේකී දිවි පෙවෙතකි. “සිහිල් සුළං රුල්ලේ”, “සෝක සැනසුම්”, “පාවේ වලා” වැනි මගේ මුල්ම ගීත කිහිපයක් ද එකල ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර ඉමහත් ජනපි‍්‍රයත්වයක් හිමි කර ගෙන තිබුණි.

කෘෂි කර්මාන්තය හා වාරි කර්මාන්තය පිළිබඳ වැඩසටහනක් ගුවන් විදුලියේ සන්ධ්‍යා සේවය මඟින් ආරම්භ කළේ එම වකවානුවේදීය. ගොවියන්, ගෙවිලියන් වගා කටයුතු සඳහා දිරිමත් කිරීමත් ඔවුන් දැනුම්වත් කිරීමත් එහි අරමුණ විය.

දිනක් ප්‍රවීණ සංගීතවේදී පී. එල්. ඒ. සෝමපාලයන් එම වැඩසටහන සඳහා ගීත හතරක් නිර්මාණය කරදෙන ලෙස මාගෙන් ඉල්ලීමක් කළේය. එහෙත් සැනෙකින් මතු වූ ගැටලුව වූයේ එම ගීත හතර රචනා කර ගන්නේ කවුරුන් ලවාද යන්නය. “අපි මේ වැඩේ පොඩි මාස්ටර්ට කියමු” යැයි සෝමපාලයන් යෝජනා කළේය. “කවුද පොඩි මාස්ටර්” පෙරළා මා ඔහුගෙන් විමසූයේ තරමක කුහුලකින් යුතුවය. එවිට “ආ අර එන්නේ පොඩි මාස්ටර්” සෝමපාලයන් පවසන විට මා දුටුවේ ගුවන් විදුලි කොරිඩෝව දිගේ අප දෙසට එමින් සිටි පුංචි පහේ සිරුරකින් යුත් පුද්ගලයෙකි. ඒ පොඩි මාස්ටර් අන් කිසිවකු නොව ප්‍රේමකීර්තිය.

සෝමපාලයන් ඔහුට මා හඳුන්වා දුන්නේය. “ආ මම දන්නවා. වික්ටර් ගේ ගීත මම අහලා තියෙනවා” යනුවෙන් ඔහු පිළිවදන් දුන්නේ කට පුරා හිනැහෙමිනි. කොට කලිසමකින් හා අත්කොට කමිසයකින් සැරසී සිටි මේ පුංචි මිනිසා මගේ නිර්මාණ දිවියේ යෝධ සෙවණැල්ලක් වෙතැයි එදා නිකමටවත් මට සිතුණේ නැත. එවකට ගුවන් විදුලියේ සහන නිවේදකයකු වූ ඔහු කරු අයියාගේ ළමා පිටියටද සම්බන්ධව සිටියේය.

අප එසේ හමු වූ දිනට පසු දින හෝ ඊට පසු දින ප්‍රේම් එකී ගීත හතර මට ලබා දුන්නේය. එම ගීත හතර සංගීතවත් කොට ගායනා කළේ ම විසින්මය. “මුතු වරුසාවට තෙමිලා”, “රනේ රුවට රන් ගිරවුන්”, “හිරු පායන පාන්දරින්”, “ගමේ ළඳුන් එක්වෙලා” යන එකී ගීත අද පවා ගීත ලෝලීන් ගේ මතකයේ රැඳී ඇතුවා නිසැකය. ගොවි කර්මාන්තය ගැන මෙන්ම මැණිකෙලා ගේ හැඩ ගැනද ප්‍රේම් අපූර්ව ගේය සිත්තම් නිර්මාණය කර තිබුණේ ඔහුගේ නිසඟ සිද්ධ ප්‍රතිභාව මැනවින් විදහා පාමිණි. අප දෙදෙනාගේ නිර්මාණ දිවියේ රන් උල්පත පෑදුනේ එදින යැයි මම විශ්වාස කරමි. ඔහුගේ ඒ මුල්ම ගී පදමාලා අතරින් මා දුටුවේ පේ‍්‍රමකීර්ති ද අල්විස් නමැති අපූරු ජන කවියාය.

මාගේ සරල ගී වැඩසටහනක් සඳහා ප්‍රේම් රචනා කළ මුල්ම ගීතය “දෙවුරම් වෙහෙරේ” ය. ඉන්පසු බොදු බැති ගී රැසක් ඔහු මා හට ප්‍රබන්ධය කැර දුන්නේ එකිනෙකට එකක් නොපරදින විලසිනි.
 

“සමිඳු පාමුල පිදෙන විලසින්

නා මලක් වී මා මළත් කම් නෑ”

 

ප්‍රේම් මට ලියා දුන් මා වඩාත් පි‍්‍රය කරන බොදු බැති ගීතය එයයි. “අරුණළු ඇතිරෙන” ඔහු මට ලියා දුන් තවත් විශිෂ්ට බොදු ගීයක් බැව් මෙහිලා සඳහන් නොකළහොත් එය අඩුවකැයි මට සිතේ. ඉතාමත් අර්ථපූර්ණ වූ එකී ගේය කාව්‍යයන්ට මා යෙදූ තනු හා නිර්මාණය කළ සංගීතය නිසා ඒවා වඩාත් විචිත්‍රවත් වූ බව ප්‍රේම් නොයෙක්වර මට පැවසූ අයුරුද මට තවම මතකය.

පේ‍්‍රම් ගේ ගේය පද රචනාවලින් මා ලද ආලෝකය යළි ඔහු වෙත පරාවර්තනය වූවා යැයි මම සිතමි. සැබැවින්ම එකිනෙකා ගේ ප්‍රතිභාව දෙදෙනාගේම නිර්මාණ දිවියට එකසේ ආලෝකයක්, දීප්තියක් එක් කළ බව මාගේ අදහසය.

“ආදරයේ උල්පත වූ අම්මා” ප්‍රේම් ගේ ගී පද රචනා අතුරෙන් මා වඩාත් පි‍්‍රය කරන ගීතයයි. ප්‍රේම් අතින් ඒ ගීතය නිර්මාණය වන්නේ එක්තරා සිදුවීමක් මුල් කර ගනිමිනි. ප්‍රේම් ගේ මවගේ ඇසක සුළු සැත්කමක් සිදු කිරීමට නියමිත බව දිනක් ඔහු මට පැවසුවේය. ඉතාමත් සංවේදී ගුණයෙන් යුත් ප්‍රේම් ඒ පිළිබඳ පමණට වඩා බියක් ඇති කරගෙන තිබුණි. මව සිය එකම පුතුට පෑ ආදරය, සෙනෙහස තරමටම ප්‍රේම් ද සිය මවට පණ සේ ආදරය කළේය.

සැත්කමට පෙර දිනයේ මම ප්‍රේම් සමඟ ඔහුගේ මව බැලීම සඳහා රෝහලට යන්නට තට්ටු දෙකේ බස් රථයකට ගොඩ නැඟුණේ ගුවන් විදුලි සංස්ථාව අසලිනි. ඒ වන විට මට යළිත් සරල ගී වැඩසටහනකට ඇරැයුම් ලැබී තිබුණේය. ඒ සඳහා ප්‍රේම්ගෙන් ගීතයක් ලියවා ගැනීමට අදහස් කළ ද දැන් උද්ගතව ඇති තත්ත්වය නිසා ප්‍රේම්ට එය පැවසීමට මම තරමක් පැකිළුනෙමි. එහෙත් අවසානයේ මම ඔහුට එය පැවසුවේ බස් රිය තුළදීමය. ඔහු බස් ප්‍රවේශ පත්‍රයේ යමක් කුරුටු ගානවා මට පෙනුනි. විනාඩි කිහිපයකින් ඔහු මා අතට පදවැලක් යොමු කරමින් කීවේ “මචං මේක හොඳද බලපන්” කියාය. “ආදරයේ උල්පත වූ අම්මා” බිහි වූයේ එලෙසිනි.
 

“සඳ දියකොට කිරි වතුරෙන්

ඒ දියරෙන් මුව දෝවා” යනුවෙන් ප්‍රේම් එම ගීතයේ අන්තරා කොටස ලියා තිබුණේ මට ඉබේම තනුවක් මැවෙනා ආකාරයටය. එක්වරම මගේ මුවට නැඟුණේ “දොයි දොයි දොයි දොයිය බබා” නමැති නැළැවිලි ගීතයේ විරිතය. එය ඇසුරු කර ගනිමින් මා එම ගීතයේ තනුව හා සංගීතය නිර්මාණය කළෙමි. අපේ ගීත සාහිත්‍යයේ බිහි වූ විශිෂ්ටතම මවු ගුණ ගීතය සේ බොහෝ දෙනකු පිළිගනු ලබන්නේ එය බව මා මෙහි සඳහන් කරන්නේ නිහතමානී ආඩම්බරයකින් යුතුවය.

ඇසිල්ලකින් ගීතයක් ලිවීමේ හැකියාව ප්‍රේම් සතුව තිබූ වෙසෙස් ප්‍රතිභාවක් සේ මම දකිමි. බොහෝ විට ඔහු තම සිතට නැඟුණ අදහස කුරුටු ගෑවේ හිස් සිගරට් පැකැට්ටුවක් ඉරා එහි සුදු පැහැති කොටසේය. කෙනෙකුට පිටු දහස් ගණනක් පුරා ලියුවද ඒ ලියාගත නොහැකි දෑ ප්‍රේම් වදන් කිහිපයකට ගොනු කළේ පරිසමාප්ත ගී පදවැලක අරුතත්, රසයත් එකට කැටි කරමිනි.

එලෙස ඔහු සැනෙන් ලියූ ගී පද වැලට මා එසැනින් තනුව නිර්මාණය කළ අවස්ථා ද බොහොමයකි. පසුව ඒවා අපේ සුභාවිත ගීතාවලියට එක් වූයේ විශිෂ්ට ගී නිර්මාණ ලෙසිනි. ප්‍රේම් හා මාගේ සුසංයෝගයෙන් බිහි වූ “ඔබෙ දෙතොල් පෙති ළිහී”, “තනි තරුවේ”, “මුදු පරම සුපිවිතුරු”, “නැවුම් සුවඳින්”, කුරුල්ලන්ට ගී ගයන්න”, “සඳ කැන් වැසිලා”, මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී”, “මියුරු කල්පනා”, “අඳුර බිඳින්නට”, “කතරට කුමටද”, “තරු අත් අකුරින්”, “සිහින සතක් දුටුවෙමි මම”, “සඳ හිරු තරු මැද” වැනි ගීත ඊට නිදසුන් කිහිපයක් පමණි.

ප්‍රේම් ගේ ගී උල්පතෙන් බිහි වූ අපූර්වතම ගීතයක් මේ මොහොතේ මගේ මතකයට නැඟේ. ඉන් පෙර හෝ පසුව අපේ ගීතයක මෙවන් පද පෙරළියක් වූයේ නම් ඒ ඉතා කලාතුරකිනි. මවිසින් තනුව නිර්මාණය කර, ඒ ගීතය ගැයුවේ සුජාතා අත්තනායක සමඟිනි. මේ ගීතය එකල කොතරම් ජනපි‍්‍රය වීද යත් මගේත්, සුජාතාගේත් නම් පවා කණපිට හරවා කියන්නට ඇතැමුන් පෙළඹී සිටියහ. මේ එහි පදවැල් කිහිපයකි.
 

‘පඳ සහනයි - සඳ පහනයි

පද මවනයි – මද පවනයි

වසර සසන තුරු - සසර වසන තුරු

අම මාදරෙයි – මම ආදරෙයි.....’

පෙම්වතා සිය පෙම්වතියගෙන් අවසානයේ කියවා ගන්නට හදන්නේ “මම ආදරෙයි” කියාය. එහෙත් පෙම්වතිය “ම්හ” කියමින් එය ප්‍රතික්‍ෂේප කරන්නීය. සම්මත ගීත ආකෘතිය වෙනස් කළ එම ගීතයද ප්‍රේම් ගේ අතිශය සාර්ථක නිර්මාණයක් සේ හැඳින්විය හැකිය. පෙම්වතිය තම ආදරය ප්‍රතික්‍ෂේප කළ විට අද බොහෝ පෙම්වතුන් කරන්නේ පිහියකින් ඇන පෙම්වතිය මරා දැමීමය. එහෙත් පෙම්වතියගේ මිහිරි කට හඬින් “මම ආදරෙයි” කියවා ගන්නට පෙම්වතා එදා කරන්නේ කෙතරම් අහිංසක ප්‍රයෝගයක්ද...? ප්‍රේම් ගේ මුදු මොළොක් හදවත ද එබඳුම අවිහිංසකත්වයකින් පිරී තිබූ බව මම දනිමි.

නිර්මාණ දිවියේ වූ අපේ බැඳීම මේ අත්භවයේ පමණක් නොව සසර පුරාවටම බැඳී ආ එකකැයි මට සිතේ. එකී සංසාරගත, ආධ්‍යාත්මික බැඳීම නිසාවෙන්ම අපේ නිර්මාණ සුසංයෝගය ද මෙතරම් හෘදයාංගම වූවා විය හැකිය. පේ‍්‍රම් අතිශය සංවේදී අයකු බැවි මා මුලින්ද සඳහන් කළෙමි. ඇතැම් වේලාවක ඔහු හඬා වැළපෙනු මා දැක තිබේ. නමුදු ඒ අතිශය සංතාප වේදනාවකින් නොව අසීමිත සතුටට පත් වූ මොහොතකය.

දිනක් ප්‍රේම් අප නිවසට පැමිණියේ ෆ්‍රෙඩී සිල්වා ද කැටුවය. ඒ ෆ්‍රෙඩී වෙනුවෙන් ගීත දෙකක් නිර්මාණය කර ගැනීමේ අටියෙනි. ප්‍රේම් ලියූ ෆ්‍රෙඩී ගේ “පාං කිරිත්තා තක්කිට තරිකිට” හා “කුණ්ඩුමනී” ගීත දෙක මවිසින් නිර්මාණය කළේ එදිනය. ගීත පුහුණුවීම් කටයුතු අවසන්කැර ෆ්‍රෙඩී “මහත්මයා මම ගිහින් එන්නම්” කියා සමුගන්නා විට ප්‍රේම් ද යන්නට සැරසුණි. “උඹට හදිසියක් නෑනේ පොඩ්ඩක් ඉඳලා පලයං” යැයි මා කළ ඉල්ලීම පේ‍්‍රම් ඉවත දැමුවේ නැත. අනතුරුව අප දෙදෙනා අල්ලාප, සල්ලාපයේ යෙදෙමින් මධුවිතක රස බලන්නට වීමු.

“මචං, රත්නේ කුණ්ඩුමනී ගීතය උඹ කියපන්, මම ෆ්‍රෙඩීට වෙන එකක් ලියලා දෙන්නම්. ඒක හරියටම ගැළපෙන්නෙ උඹට”. ප්‍රේම් එක්වරම එසේ පැවසුවේ මා තරමක මවිතයට පත් කරමිනි. එම ගී පදවැලට මවිසින් නිර්මාණය කළ තනුවට හා සංගීතයට ඔහු බොහෝ සේ වශීකෘතව සිටි නිසා එසේ පැවසූ වග මා පසක් කර ගතිමි. කෙසේ හෝ ඒ ඉල්ලීම ඉතා කාරුණිකව මා ප්‍රතික්‍ෂේප කර සිටියේ අනුන් උදෙසා කළ නිර්මාණයක් කෙතරම් උසස් මට්ටමක තිබුණත් එය මා සතු කර ගැනීමේ තන්හාවක් එදා පටන් මා තුළ නොතිබූ නිසාවෙනි.

ප්‍රේම් බොහෝ සේ පි‍්‍රය මනාප අයෙකි. මිතුරන් අතර ඔහු සුමිතුරෙකු වීය. නිරන්තරයෙන්ම අව්‍යාජ සිනා රැල්ලකින් මුව සරසාගෙන සිටි ඔහු ජීවිතයේ දුක්ඛ, දෝමනස්සයන් හමුවේද ඒ සිනහ සපිරි මුවින්ම ලෝකය හමුවේ පෙනී සිටියේය. අප පවුලේ ළෙන්ගතු හිතවතකු වූ ප්‍රේම් “යශෝධරා” ගීතය රචනා කරන ලද්දේ මගේ පි‍්‍රය බිරිය වූ චිත්‍රාවන් වෙනුවෙනි. මෙහිලා තවත් විශේෂ කරුණක් සඳහන් කළ යුතුයැයි මට හැඟේ. මගේ බිරිය හැර “රත්නේ” කියා මට ආමන්ත්‍රණය කළ එකම තැනැත්තා ප්‍රේම්ය.

1989 ජූලි 31 වැනි දා මගේ ජීවිතයේ මා අතිශයින්ම කම්පාවට හා භීතියට පත් වූ දිනයයි. එදින මැදියම් රැයේ ආ දුරකථන ඇමතුමෙන් පැවසුණේ “ප්‍රේමකීර්ති” වෙඩි තබා ඝාතනය කර ඇති බවය. එම දුරකථන ඇමතුම මා වෙත ලබා දුන්නේ එවකට හෝමාගම පොලීසියේ ස්ථානාධිපතිවරයා වූ සුනිල් කණ්ඩම්බි මහතාය.

එකී පුවත සවනත වැකීමෙන් දැඩිව කම්පනයට පත් මා ප්‍රේම්ට මේ අපරාධය කළ වුන්ට ශාප කරන්නට වීමි. අප නිවස මුළුමනින්ම මළ ගෙදරක් බඳු වූයේ අසුරු සැනෙකිනි. පි‍්‍රය බිරිය චිත්‍රා, ජයන්ත පුතා, චාන්දනී, මංජුලා දියණියන් ඉකිබිඳිමින් හඬා වැළපුණ අයුරු තවමත් මගේ මතකයේ රැඳී තිබේ. ලෙලුම් පුතණුවන් එදවස පුංචි කොලු පැටියෙකි. එදින පොලිස් ඇඳිරි නීතිය පනවා තිබූ බැවින් ප්‍රේම් ගේ බිරිය වූ නිර්මලා හා දරු දෙදෙනාද පොලිස් ජීප් රියකින්ම පාන්දර ජාමයේ අප නිවසට ගෙනත් හැරලූ වග මට මතකය.

ඒ බිහිසුණු, අවාසනාවන්ත දවස උදාවූයේ අදින් විසිපස් වසරකට පෙරාතුවය. එහෙත් ඔබ ගැන මතකය තවමත් මා මනසින් බැහැරව ගොස් නැත. ඔබ ඇසුරු කළ සියල්ලන් ගේම සිත්වලද ඔබ තවමත් ජීවමානව හිඳිතැයි මම විශ්වාස කරමි. එදා “පේ‍්‍රම පරාදීසේ” ගීතයට ඔබ ලියූ මෙවදන් මා අද යළි ගයන්නේ වෙනස් අරුතකින් යුතුවය. ඒ ඔබ ම වෙනුවෙනි. පි‍්‍රය සුමිතුර... ඔබට ජය...
 

විකල් මතක මැද පහන් තරුව ඔබ

බොඳ වුණ සිහිනෙක අරුණේදය ඔබ

වැළපුණ වෙරළක දිය බිංදුව ඔබ

ගොළු වුණ දෙතොලක සිනහ සිසිල ඔබ ......