වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




කිඹුලා වතුරේ දැම්මා බෝට්ටුවක් පැටළුණා

කිඹුලා වතුරේ දැම්මා බෝට්ටුවක් පැටළුණා

ගාමිණී මොරගොල්ලාගම

ඔහු කොළඹ පැමිණියේ ව්‍යාපාරිකයකු වීමේ සිහිනය සමඟිනි.

එසේ ව්‍යාපාරයන් කිරීමට කොළඹ පැමිණී ගාමිණී අද අපට හමුවන්නේ නිර්මාණ ශීලී කැමරා අධ්‍යක්ෂවරයකු ලෙසිනි.

ආලෝකකරණ ශිල්පියකු ලෙස ටෙලි නාට්‍යයන්ට එක්වූ ඔහු මේවන විට නිර්මාණශීලී කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස රටම හඳුනයි.

මේ Behind The Scene සමඟ ගාමිණී මොරගොල්ලාගම එක්වූ මොහොතයි.

ඉතින් ගාමිණී ඔබේ කතාව කියමු?

කුරුණෑගල, මොරගොල්ලාගම, අලුත්ගම ග්‍රාමයේ හැදී වැඩී වම්බටුවැව කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, බොරවැව මහා විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසුව 1994 දී යුද හමුදාවට සම්බන්ධ වුණා.1996 දී හමුදාවෙන් අස්වෙලා ගොවිතැන් හා ව්‍යාපාර කටයුතුවල නිරත වුණා. ව්‍යාපාර කටයුතු සඳහා කොළඹ ඇවිත් නැවතුනේ මගෙ වැඩිමහල් සහෝදරයගේ හිතවතෙක් වූ රංගන ශිල්පී සංජය ලීලාරත්න මහතාගේ මහගෙදරයි. එතුමා මට අසෝක ගනේගොඩ මහතාව හඳුන්වා දුන්නා. අසෝක මහත්තයා මාව ඉන් ශ්‍රී ආයතනයට සම්බන්ධ කළා.

ඉතින් ඊට පස්සේ මොකද වුණේ?

මම ව්‍යාපාර, රැකියා අත්හැරියේ මා සතු කලා කාමී හැඟීම් ඉස්මතු කරගැනීමට තිබෙන ආසාව නිසයි. 1998 දී ඉන් ශ්‍රී ආයතනයට බැඳුනේ ඒ අදහස ඉෂ්ට කරගැනීමටයි. පළමු රැකියාව වුණේ ආලෝක කරන ශිල්පීයෙක් ලෙස වැඩ කිරීම. පළමුවෙන් සහභාගි වුණේ ගයා රම්‍ය අල්විස් මහතා අධ්‍යක්ෂණය කළ රුවට රුව ටෙලියෙයි. ඊට පසුව සහාය පටිගත කරන ශිල්පී, පටිගත කරන ශිල්පී, ප්‍රධාන ක්‍රේරේන් ක්‍රියාකරු. සහාය කැමරා ශිල්පී ආදී වශයෙන් වසර ගණනාවක් කටයුතු කළා. මේ ආයතනය නිල්වලා ආයතනයට විකුණුව. මම නිල් වලා ආයතනයට සම්බන්ධ වුණේ සහාය කැමරා ශිල්පියෙක් ලෙසයි. කැමරාකරණයේ දී මගේ ගුරුතුමා කේ. ඒ. ධර්මසේන මහතායි. මට එතුමාව හමු වුණේ සරදියෙල් ටෙලි නාට්‍යයේ කෛ්‍්‍රන් ඔපරේටර් කෙනෙක් ලෙස වැඩ කරන විටදියි.

ගෙව්නු වසර 16 ය තුළ ටෙලි හා චිතුපට කීයකට දායක වී තිබෙනවාද?

ටෙලි නාට්‍යය හැටකට හා චිත්‍රපට පහළොවකට. මෙයින් ජයපිට ජය, නිදියහන කැලඹේ, ජීවිතේ ලස්සනයි, රන්ජා, දැනට ප්‍රදර්ශනය වූ චිත්‍රපට සඳහා කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුණා.

කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස ඔබේ වගකීම කුමක්ද?

ඉතා කෙටියෙන් කිව්වොත්, යම් පිටපතකට අනුව අධ්‍යක්ෂවරයාගේ හිතේ මැවෙන නිර්මාණය ප්‍රේක්ෂකයාගේ හිත් ඇඳගන්නා අයුරින් නිර්මාණය කරදීම කැමරාකරුගේ වගකීම ලෙස හැඳීන්විය හැකියි.

අමතක නොවන සිදුවීම් බොහොමයක් ඇති නේද ?

සරදියෙල් ටෙලි නාට්‍යයේ රූ ගැන්වීමක් තිබුණා කිතුල්ගල. සරදියෙල් තොටියෙක් ලෙස ඉන්නකොට ගඟේ නාන කෙනෙක්ව කිඹුල ඇදන් යනවා. සරදියෙල් වතුරට පැනල බේර ගන්න දර්ශනයක් තමයි කරන්න තියෙන්නේ. උමයංගනා තමයි රඟපෑවෙ ඒ කාන්තාවට. අවුරුදු 55ක් වයස කිඹුලෙක් දෙහිවල සතුන් වත්තෙන් ගෙනත් හිටියා. ඌව බලාගන්නත් එහෙන්ම කට්ටිය ආව. දර්ශනය රූ ගන්වන්න කිඹුලව වතුරට දැම්මහම ආම්බාන් කරන්න හරි අමාරු වුණා. කිඹුල ගහලා ෆයිබ බෝට්ටුවක් පැළුණා. කිඹුලව තනියෙන් ෂුට් කරලා ඉවරවෙලා , අනෙක් දර්ශනය රූ ගන්වන්න ලෑස්තිකරලා, උමයංගනාවයි අනිත් කට්ටියවයි වතුරට බස්සවල වැඩේ කරන්න සුදානම් වෙලා ඉන්නකොට සුදත් රෝහණ අයියා මට කතා කරලා කිව්ව උඹට පුළුවන්නම් රෝලින් කියනකන් ඉඳලා වතුර යටින් ගිහින් උමයංගනාගෙ කකුලෙන් ඇදගෙන ටික දුරක් ගිහින් අත අරින්න කියලා. මම ඒ වැඩේ හරියටම කළා. ප්‍රේම් එක බලනකොට උමයංගනා පුදුම විදිහට බයවෙලා කෑගහලා තිබුණා. මම මේ දේ කරනවා කට්ටිය දන්නෙත් නැහැ.

ගාමිණී ඔබේ පවුලෙ විස්තරත් කියමු?

බිරිඳ අනෝජා ගීතානි, දුව දිනිති, පුතා විහඟ දෙදෙනාම ඉගෙන ගන්නවා. අපි පදිංචි වෙලා ඉන්නේ පනාගොඩ, වැලිපිල්ලෑවේ.

මේ දවස්වල මොකද කරන්නේ?

සූරියභානු ටෙලියෙ වගේම ඩොක්ටර් නවරියන්, විරු දරුවෝ, චිත්‍රපට දෙකේත් ඉතිරි වැඩ කරමින් ඉන්නේ.

ඔබ මේ ආ ගමනට අතදුන් සැමට ස්තූති කරන්නට දැන් අවස්ථාව?

මට මේ තත්ත්වයට එන්නට නන්අයුරින් උදව් කළ සංජය ලීලාරත්න, සුසන්ත සංජය, අසෝක ගනේගොඩ, උපුල් ජයසිංහ, කේ.ඒ. ධර්මසේන, සුදත් රෝහණ, ලලිත් තෝමස්, සුනිල් සෝම පීරිස්, සුදේශ් වසන්ත පීරිස්, කුමාරසිරි සිල්වා, යන මහත්වරු සහ මගේ පවුලේ සැමට ස්තූති කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.