|
දුලීකා කැමැති තමන් මැවූ චරිත 7 ක්
පුදුම හතට අද පැමිණියේ අපේ රටේ වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයත් සිය රංගන ප්‍රතිභාවෙන් ඔපවත් කළ රංගන ශිල්පිනියක්. ඇය ඔබ කාගේත් ආදරයට ලක් වූ දුලීකා මාරපනයි. දුලීකා අද පුදුම හතෙන් කතා කරන්නේ සිය රංගන ජීවිතයේදී නිරූපණය කරන්න ලැබුණු තමා බෙහෙවින්ම ප්‍රිය කළ චරිත පිළිබඳවයි.
මම බෙහෙවින්ම කැමැති මා නිරූපණය කළ චරිත අතර ඉහළින්ම සිටින්නේ ස්වර්ණමාලි වේදිකා නාට්‍යයේ අශෝකමාලා චරිතයයි. අශෝකමාලා චරිතය නර්තනය, ගායනය සහ රංගනය ආදී සියලුම අංශවලින් පරිපූර්ණ වූ චරිතයක්. මෙය මගේ ජීවිතයට සුවිශේෂ චරිතයක් වෙන්නේ රංගනයට මගේ ආගමනය සිදු වූයේ ද අශෝකමාලා චරිතය හරහා වීම නිසයි. එහි තවත් විශේෂ හේතුවක් තියෙනවා. නාට්‍යවේදී බන්දුල ජයවර්ධනයන්ගේ අවසන් නාට්‍ය නිර්මාණය වුණෙත් ස්වර්ණමාලි නාට්‍යයයි. ඔහුගේ නිර්මාණයක් තුළින් ක්ෂේත්‍රයට පිවිසෙන්න ලද අවස්ථාවන් මට ගොඩක් වටිනවා. අශෝකමාලා චරිතය නිසා මට වේදිකාවේ එකල දැවැන්තයන් පවා අබිබවා හොඳම නිළිය සම්මානය හිමිවීමත් මගේ ජීවිතයේ අපූර්වතම සිදුවීමක්. ඒ විතරක් නොවෙයි මට ඉන් පසු තවත් ටෙලි නාට්‍යකට ආරාධනා ලැබුණා.
ස්වර්ණමාලි වේදිකා නාට්‍යයේ රංගනය නිසා මට ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ සඳ අමාවකයි ටෙලි නාට්‍යයේ රංගනයට ආරාධනා ලැබුණා. ඇත්තටම මට ඒ අත්දැකීම ආගන්තුක වුණා. ඒ නිස සඳ අමාවකයි ටෙලි නාට්‍යයේ සඳමාලිගේ චරිතයෙන් පසුව ආයෙමත් ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙන්නේ නෑ කියලා මම එදා හිතා ගත්තා. මගේ අම්මත් අවසන් වරට රඟපාන්න මට අවසර දුන්නේ සඳමාලිගේ චරිතයට විතරයි. සඳ අමාවකයි නිර්මාණය වගේම ප්‍රසන්න ජයකොඩි නම් වූ අධ්‍යක්ෂවරයාත් රංගන ක්ෂේත්‍රයේදී මට හමු වූ සොඳුරු නිර්මාණකරුවෙක්. ඒ වුණත් සඳ අමාවකයි නාට්‍යයේදී මට යම් යම් කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වුණා. මං හිතන්නේ අදටත් ප්‍රසන්න අයියා නම් ඒ සිදුවීම් දන්නේ නැතුව ඇති. ඒ වුණත් සඳමාලිගේ චරිතය සමඟින් ලද ඒ අත්දැකිම් රංගන ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න මා දිරිමත් කළා. ඒ නිසා සඳමාලි චරිතය මගේ රංගන ජීවිතයේ සුවිශේෂී චරිතයක් බවට පත් වුණා.
දී. ග. සෝමපාල නම් වූ අපූරු නිර්මාණකරුවා නිර්මාණය කළ හිම කැටයම් ටෙලි නාට්‍යයේ දමයන්ති නම් වූ චරිතයත් මගේ රංගන ජීවිතයේ ගොඩක් ආසාවෙන් නිරූපණය කළ චරිතයක්. දමයන්ති කියන්නේ උපතේ සිට දුර්වල රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවෙක්. මුලදී පිටපතේ තිබූ ආකාරය අනුව දමයන්ති නම් චරිතය මිනිසුන්ගේ සිත් තදින් බැඳ ගන්නා චරිතයක් නොවන්නට ඉඩ තිබුණා. නමුත් අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කරමින් ඒ චරිතයේ යම් යම් වෙනස්කම් පවා කරන්න මට හැකි වුණා. ඒ නිසා අදටත් දමයන්ති චරිතය කතාබහට ලක් වෙන චරියක් බට පත් කළා. ඒ වගේමයි හිම කැටයම් දර්ශන තලයත් හරිම සුන්දර එකක් වුණා. රූගත කිරීම්වලදී හරිම විහිළුවෙන් සමගියෙන් අපි කාලය ගත කළේ. එක දවසක් විජේරත්න වරකාගොඩ මහත්තයාගේ විහිළුවකට හිනා වෙලා හුස්ම හිරවෙලා ෂූටින් කැන්සල් කරන්නත් සිදු වුණා. දැන් ටෙලි නාට්‍ය වගේ තිබ්බා ගැහුවා වගේ නෙවෙයි එදා. ඒ ටෙලි නාට්‍ය බොහොම සැළසුම්ගතව කාලය අරගෙන නිර්මාණය කළේ. ඒ වගේමයි ඒ කාලය හරිම සුන්දරයි.
සුධීරා ටෙලි නාට්‍යයේ ශාහිනි ලේල්ලවල නම් වූ ඇමතිවරියකගේ චරිතයත් මගේ රංගන ක්ෂේත්‍රය තුළ ලද විශේෂ චරිතයක් ලෙසින් මා දකිනවා. දේශපාලනය වැනි ක්ෂේත්‍රයක කාන්තාවකගේ භූමිකාව මට මේ ලෙසින් නිරූපණය කරන්න ලැබීමත් මට සතුටක්. ඒ වගේමයි ශාහිනි ලේල්ලවල සුවිශේෂ කාන්තා චරිතයක ප්‍රතිනිර්මාණයක්. දේශපාලනයට පිවිසි කාන්තාවකගේ ධෛර්යය, එඩිතරකම අවසානයේදී මවක හා බිරිය නම් වූ භූමිකාව ඉදිරියේ අසරණ වන ආකාරය මම එහිදී නිරූපණය කළා. සුධීරා ටෙලි නාට්‍යයේදී මම තේමා ගීතය ගායනයටත් දායක වුණා. මේ හැම කරුණක්ම හේතුවෙන් මට ශාහිනි ලේල්ලවල චරිතය සුවිශේෂ වෙලා තියෙනවා.
ඩිංගිරි අම්මා
ඩිංගිරි අම්මාගේ චරිතයත් ප්‍රේක්ෂකයන් හැදාමත් මතකයේ තියෙන චරිතයක් බට පත් වුණා. එහිදී සාම්ප්‍රදායික ගැහැනිය ලෝකය දකින ආකාරය අපූරුවට නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. ඩිංගිරි අම්මාගේ චරිතය ප්‍රේක්ෂකයන් වගේම මමත් ගොඩක් ආදරය කරන චරිතයක්.
පුංචි මැණිකා පුංචි මැණිකා චරිතය මට ලැබෙන්නේ රිදී ඉට්ටංකරය ටෙලි නාට්‍යයෙන්. 1950 දශකයේදි අපේ රටේ පැවති දේශපාලන ක්‍රමවේදය, සමාජ ක්‍රමය වැනි දේ ඇතුළත් වූ එම ටෙලි නාට්‍යයේ පුංචි මැණිකා ලෙසින් මට නිරූපණය කරන්න ලැබුණු චරිතය මට සුවිශේෂ වුණා. එදා සමාජය තුළ ප්‍රේමය, මව් ගුණය වැනි භූමිකා සමඟින් ගෙවෙන කාන්තාවකගේ චරිතය මට එහිදී නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේමයි පුංචි මැණිකා චරිතය මාව හොඳම නිළිය ලෙසින් සම්මානනීය කළා.
සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කළ ඉසුරු භවන ටෙලි නාට්‍යයේ වයලට් මෝනාගේ චරිතයත් මගේ රංගන ජීවිතයේ මට ලැබුණු අපූරුතම චරිතයක්. නැති දේ ඇති වෙලා ඉහළ සමාජ තලයට ගිය පසු එහි සංකිර්ණත්වය හමුවේ හාස්‍යයට ලක්වීම එහිදී නිරූපණය කරන්න සිදු වුණා. වයලට් මෝනාගේ චරිතයත් මට සම්මාන ගෙන දුන් තවත් චරිතයක්. ඒ වගේම රූගත කිරීමේදී පවා මා බොහෝ ආසාවෙන් වින්ද චරිතයක්.
මේ දිනවල විකාශය වෙන පුංචි වලව්ව ටෙලි නාට්‍යයේ මේරි මේඛලාගේ චරිතයත් මගේ රංගන ජීවිතය තුළ මා ලද තවත් අපූරු චරිතයක්. ඒ වගේමයි කවදාවත් අමතක නොවන චරිතයක්. මේරි මේඛලාගේ චරිතයත් දැන් ප්‍රේක්ෂකයන් අතර ආදරයට ලක් වූ චරිතයක් බවට පත් වෙලා. මලී, අත්තම්මා නාට්‍යවල පටන්ම පැමිණි ප්‍රේක්ෂක ආදරය පුංචි වලව්වේ මේඛලාටත් ඒ අයුරින්ම ලැබෙනවා.
|