වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේමකීර්ති මියුරු කල්පනා

ප්‍රේමකීර්ති මියුරු කල්පනා

සමිඳු පාමුල

සමිඳු පාමුල පිදෙන විලසින්
නා මලක් වී මා මලත් කම් නෑ
මහා කරුණා ඇල් දියේ
සසිල ලොවකට දුන් පියේ

වෙසුණු ඝනඳුරු දිවි රැයේ
පහන් දොර හිරු නැඟි පැයේ
පැමිණියෙමි දුර ඈත සිට මා
හිමි දෙසූ බුදු බණ අසන්නට

ගලා ගිය දම් ගඟ මා
අදත් බැස යයි ලොව තෙමා
රුදුරු බියකරු රාගයේ
අතරමං වූ ලෝකයේ

නිවන් මෙත් සුව ලබන පැතුමින්
පැමිණියෙමි බුදුබණ අසන්නට
 

තනුව - ගැයුම - වික්ටර් රත්නායක

 

ඔබෙ දෙතොල්

ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලිලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරිසරණ තෙක් ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරිසරණ තෙක් ඔබ මගේ ඔබ මගේ

නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මඳ පවන් රැලි වැදී සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබේ පෙනෙනවා
සසර සැරිසරණ තෙක් ඔබ මගේ ඔබ මගේ

යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරිසරණ තෙක් ඔබ මගේ ඔබ මගේ

අහස්තල පොළෝතල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත් ගතින් දෙදෙනකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟම තැවෙනවා
සසර සැරිසරණ තෙක් ඔබ මගේ ඔබ මගේ
 

තනුව - ගැයුම - වික්ටර් රත්නායක

අම රස පෙම්

අම රස පෙම් රසයෙන් කැලතෙම්
ඔබ නැතිනම් මිහිපිට නැත මං
ඔබ නැතිනම් මිහිපිට නැත මං
අම රස පෙම් රසයෙන් කැළතෙම්

සඳ වතුරෙන් සඳ සිසිල ගෙනා
ඔබ දැකුමෙන් සිත උමතු වුණා
මා ජීවත් වන බව මට දැනුණේ
ඔබ හද සැලෙනා රාවෙන්

ඔබ හද සැලෙනා රාවෙන්
අම රස පෙම් රසයෙන් කැළතෙම්
සුපිපුණු මල් නටුවෙන් ගිලිහී
මඳ සුළඟින් ඔබ වෙත පැමිණි

ඔබ පා මත වැතිරී පර වෙන්නට
මට ඉඩ දෙනු මැන මතුදා
මට ඉඩ දෙනු මැන මතුදා
තනුව - වික්ටර් රත්නායක
 

ගැයුම - ශ්‍රීමතී තිලකරත්න

 

ආදරයේ උල්පත වූ

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි

සුළැඟිල්ලේ එල්ලී
සඳ දියකොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන නැලවිලි ගීයෙන්

මතකයි මා නැළවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ

දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙන දී දිවියට නව පණ ලැබදී
මා දැඩි කළ අම්මා
 

තනුව - ගැයුම - වික්ටර් රත්නායක

 

නැවුම් සුවඳින්

නැවුම් සුවඳින් ඔබේ මුව දුටු
රත්තරන් දවසේ
සිතක ආදර පැතුම් මල් පෙති
අවදි විය රහසේ

සුදුනි ඔබෙ සුදු දෙපා යටවෙන
සිහින් වැලි අතරේ
රැඳුණු මා හද සිහින සිතුවිලි
පැතුම් දිවි කතරේ

උදා තරුවත් සමඟ අවදිව
නොහිඳ ගන අදුරේ
එන්න මා වෙත සිහිල් සුළඟක
දැවටිලා සොඳුරේ
 

තනුව - ගැයුම - වික්ටර් රත්නායක

 

 

මියුරු කල්පනා

මියුරු කල්පනා නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද
සිතක් හිනැහුනා
වරෙක හිනැහුණා වරෙක ලතැවුණා

නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැල වුණා
පිනි බිඳකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි

කටු අකුලෙහි මල් පුබුදමි
ඔබ හිනැහේනම්
හිම ගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි

කඩු තුඩු මත සැතපෙන්නෙම්
ඔබ සැනසේ නම්
 

තනුව - සරත් දසනායක

ගැයුම – වික්ටර් රත්නායක

 

 

රැළකින් තනිවී

රැළකින් තනි වී – වන මැද සරණා
කැකුළු තුරුණු යාමේ

ඇතෙකුට ඇත්දල – යුවළක් වාගෙයි
මට ඔබගේ ප්‍රේමේ

හබල බිඳී ගොස් - පෙරළුණු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ

රුවල් මසාදී ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ

තුඩ තුඩ තබමින් - නෙක නෙක පලවැල
කවා පොවා සනහා

පෙරුම් පුරනවද – මතු බුදු වන්නට
මට දී රැකවරනා
 

තනුව - රෝහණ වීරසිංහ

ගැයුම – අබේවර්ධන බාලසූරිය

 

 

සක්විති රජෙකුට

සක්විති රජෙකුට අත් දෙක දෙන්නයි
මව්පිය මා හැදුවේ
වික්මැති පෙම්වත සිත් තුළ ඒ බැව්
රඳවා ගත යුතුවේ

ඝන රන් තලියක දිව භෝජන රස
නැතුවට කමක් නැතේ
සෙනෙහස උතුරන හෙවණක බතකට
මට ලුණු මිරිස ඇතී

සරණය නම් ඒ සිදුවිමක් නොව
දෙදෙනෙකු එක්ව බැඳී
මරණය දක්වා නොබිඳී මගදිග
යන ගමනක්ය අපී
 

ගැයුම – නිරංජලා සරෝජිනී

මියැසි රටා - රෝහණ වීරසිංහ

 

 

අරුණළු ඇතිරෙන

අරුණළු ඇතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
කළුවර ගොනු කොට ගිමන් දවන මඟ

ගමන් කළෙමි දුර සසර පුරා
පස්කම් සම්පත් එක්තැන් කරගෙන

ගමන් කළෙමි දුර සසර පුරා . . .//
මහ කරුණාවේ සිසිල ගලා එන

බුදු හිමියනි ඔබෙ මෙත් දහරේ . . .//
නැහැවෙමි සසරෙහි කෙලෙස් මුදාහැර
බුදු හිමියනි ඔබෙ මෙත් දහරේ
 

තනුව - ගැයුම - වික්ටර් රත්නායක

අඳුර බිඳින්නට

අඳුර බිඳින්නට රැයක් දවාලූ
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා

මතකය නම් වූ මළපොත පෙරලා
මළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොලවා ගත්
දෑතෙහි දසැඟිලි දිගහැරලනු මැන

එහි මොනවද ඇත්තේ කිසිත් නැත
හිස බවෙකිය ඇත්තේ
සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ

හිස්වන හදවිත සපුරා ලන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ එපමණයි
පිළිසරණය වන්නේ
 

තනුව - ගැයුම - වික්ටර් රත්නායක

ලොව නිසසල වී

ලොව නිසසල වී නවතින මොහොතේ
යටි හිත් මතුකොට සිනහා සලා
ලොව දොඩමලු වී නෙත් මානන කළ
අප දෙදෙනා ඉමු තරහා වෙලා

තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොඳ වී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරැවී ඇතිතුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන

අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එක තැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන
 

තනුව- වික්ටර් රත්නායක

ගැයුම – නිරංජලා සරෝජිනී

කරුණාව වෙහෙර මලුවේ

කරුණාව වෙහෙර මලුවේ දේවාලේ කෝවිලේ
මිනිසාට මතක නැතිවේ ගේ ගාව මායිමේ
දෙසුවාට බණ දහම් – ඇසුවේ ඔවුන් නොවේ
හිටියා ද නොමැත දන්නේ - දෙවියෝ බුදුන් ලොවේ

මෙ ඩිංගෙ නේද කෝලම් – පවසයි සොහොන් බිමේ
මළගේක දීම විතරයි – පැතුවේ නිවන් සුවේ
අනෙකාගේ සතුට නොරිසියි - සැඟවී උගුල් අදී
බුදුගේක සෙවන නොදනියි - සිරගේ හොඳින් දනී

කැලයේ ද සිටිනු හැකිමුත් - නොසැලී සතුන් ඇති
අවබෝධ කරනු නොහැකියි – විෂමයි මිනිස් ගති
 

මියැසි රටා - රෝහණ වීරසිංහ

ගැයුම – අබේවර්ධන බාලසූරිය

කුණ්ඩුමණී

මන්නාරම් පිටි වැල්ලේ
මදටිය වැල් ඔංචිල්ලේ
කොණ්ඩෙ කඩන් හඳට අඬන්
සිංදු කියන්නේ
කුණ්ඩුමණී . . .//

නැහැයේ කරාඹුව දෙකණේ
කඩුක්කං දමා සියොළඟ
මොට්ටැක්කිලියෙන් හැඩකොට
වසා ඉඟ නමා

උළුඳු කොටා තල වේලා
තල්පත මත ගිණි අව්වේ ලා
කුණුඩුමණී . . .

සෙම්බුතාලි උකුලේ හොවා
ආඬි ලිඳෙන් දිය ඇදලා
ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස්

පොල් ගහලා නළලේ අළුගා
කුණ්ඩුමණී . . .
මන්නාරම් පිටිවැල්ලේ . . .
ගොම ඉහලා හැදූ ගෙබිම

පිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක්
දොරකඩ සිටුවා තබලා
කුම්බු ඝටම් මෘදංග නද

මුළු ගමටම හඬවා තියලා
කුණ්ඩුමණි . . .

සණ්ඩු කරලා බැණුම් අහලා
හැංගි හැංගි බැන්ද ප්‍රේමි
මහ රාජා ආ කළ ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමණී යන පෙරහර බලා හිඳිමි

කීකරු වීලා
කුණ්ඩුමණී . . .
 

සංගීතය – වික්ටර් රත්නායක

ගැයුම - ෆ්‍රෙඩී සිල්වා