වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




පැරණි කතාවම අලුත් ඇසකින්

පැරණි කතාවම අලුත් ඇසකින්

මිනිසා පරිණාමය වුයේ වානරයා ගෙන් බව අපි අසා ඇත්තෙමු. කැලයේ ගස් උඩ වාසය කළ වානරයා දෙපයින් සිටගනිමින් මිනිසෙකු බවට පරිමාණාමය වීම ආරම්භ වී ඇත්තේ මීට වසර මිලියන ගණනකටත් ඉහත කාලයක සිටය. එහෙත් ඒ වානරයා අද මිනිසුන්ට එරෙහිව පැමිණ සිටියි.

සත්වෝද්‍යානයක වෙසෙන සීසර් නම් වූ වානරයා මිනිසා හා සමාන වූ බුද්ධියකින් යුතු වානරයෙකි. සීසර් තම බුද්ධිය මෙහෙයවමින් වෑයම් කරන්නේ සත්වෝද්‍යානයේ සිටින තම වර්ගයා සමගින් නිදහස්ව වනාන්තරයට පලා යාමටයි. එම උත්සාහය සාර්ථක වූ පසු සීසර් හා අනෙකුත් වානර පිරිස මුයිර් නම් වනාන්තරයට පලා යති. මෙම සිදුවීම සිදුව දැනට දස වසරක් ගත වී හමාරය. එසේම මේ වන විට මානව වර්ගයාද මාරාන්තික වූ වෛරසයකට ගොදුරු වී අවසන්ය.

සත්වෝද්‍යානයෙන් පලා ගිය වානරයන් සීසර්ගේ නායකත්වය යටතේ මුයිර් වනාන්තරයේ කාලය ගත කරන අතර සීසර්ගේ පුතු වූ බ්ලූ සහ රොකට් නම් වු වානරයාගේ පුතු ඇෂ්හට මිනිසෙකු මුණගැසෙයි. බ්ලූ සහ ඈෂ් මිනිසා දැක කලබලයට පත් වන අතර ඔහු තබන වෙඩිල්ලකින් ඇෂ් තුවාල ලබයි. මේ අතර මිනිසා ද වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණයක් ඇතිව සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ජීවත් වන තම අනෙකුත් සගයන් කැලයට කැඳවයි. මෙහිදි ඉදිරියට එන සීසර් වානරයන්ගේ ජීවිතයට බාධා නොකර වනාන්තරයෙන් පිටවී යන ලෙසින් මිනිසුන්ට අණ කරයි. යහපාලනයක් ගෙන යන සීසර් සහ මිනිසුන් මෙහිදි සමාදානයක් ඇතිවේ. ඒ සමගින් වානරයන් සහ මිනිසුන් එකිනෙකා අතර හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරති.

එහෙත් මෙම තත්ත්වය දරා ගත නොහැකි වූ පිරිස් ද දෙපාර්ශවයම අතර සිටිති. එහිදී කෝබා නම් වූ වානරයාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස කැපී පෙනෙයි. සත්වෝද්‍යානයේදී මිනිසුන් තමන්ට සැලකූ කෲරත්වය සිතෙහි තබා ගෙන ජීවත් වන කෝබා සීසර්ගේ සාමකාමී පාලනය පි‍්‍රය නොකරයි. සීසර් ඉවත් කර වානර කණ්ඩායමේ නායකත්වය ලබා මිනිසුන් විනාශ කර දැමීම කෝබාගේ එකම අරමුණ බවට පත් වෙයි.

වානරයන් සහ මිනිසුන් එක්ව නගරයට විදුලි බලය ලබා ගැනීම නිමිතිකර ගනිමින් පැවැත්වෙන උත්සවයකදී ඇති වන කලබලකාරී වාතාවරය හමුවේ කෝබා විසින් සීසර්හට වෙඩි තබා වානරයන් අතර නායකත්වය ලබා ගනියි. එතැන් පටන් සියල්ල නරක අතට හැරෙන්නේ මිනිසුන් සහ වානරයන් අතර බිහිසුණු යුද්ධයක් ඇති කරමිනි. එහි අවසානය කතා කරන්නේ ‘ඩෝන් ඔෆ් ද ප්ලැනට් ඔෆ් දී ඒප්ස්’ (Dawn of the Planet of the Apes) චිත්‍රපටයෙනි.

2011 වසරේ තිරගත වූ පටයක්වූ ‘රයිස් ඔෆ් ද ප්ලැනට් ඔෆ් දි ඒප්ස්’ (Rise Of The Planet Of The Apes) චිත්‍රපටයේ මීළඟ චිත්‍රපටය ලෙසින් තිරයට පැමිණි ඩෝන් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස් පසුගිය ජූලි 11 වැනිදා සිට සිය අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කරන ලදී. මිනිත්තු 130ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටය ප්‍රථම සති අන්තයේ දී ඩොලර් මිලියන 72.6ක ආදායමක් ඉපයීය.

විද්‍යා ප්‍රබන්ධ කි‍්‍රයාදාම චිත්‍රපටයක් වූ රයිස් ඔෆ් ද ප්ලැනට් ඔෆ් දි ඒප්ස් සඳහා වූ පිරිවැය ඩොලර් මිලියන 170ක් විය.මැට් රීව්ස්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි ජේසන් ක්ලාර්ක්, ගැරී ඔල්ඩ්මන්, කෙරී රසල්, කෝඩි ස්මිත් මැක්ෆී හා ජේම්ස් ෆ්‍රැන්කෝ ඇතුළු නළු නිළියන් පිරිසක් රංගන දායකත්වය ලබා දෙති.