වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




රත්නශීලා පෙරේරා සමඟ 26 දා සිංදු පැදුරට

රත්නශීලා පෙරේරා සමඟ 26 දා සිංදු පැදුරට

රංගන ශිල්පිනී රත්නශීලා පෙරේරා පවත්වන ‘සිංදු පැදුර’ මේ මස 26 වැනිදා කොළඹ මහානාම විද්‍යාලයීය ශාලාවේදී පස්වරු 6.30 ට පැවැත්වේ.

ප්‍රවීණ වාද්‍ය ශිල්පින්ගේ මියුරු තත්සර නාදයට අනුව ප්‍රේක්ෂක විඩාව සංහිඳියාවට පත් කිරීමට හා පැදුර සාජ්ජ කලාව ප්‍රසංග වේදිකාවට රැගෙන පැමිණීමේ අරමුණෙන් පෙරදැරිව කරන මේ නැවුම් කටයුත්ත සඳහා ගීත ගැයීමට ප්‍රවීණ ශිල්පීන් රාශියක් සහභාගි වෙයි. ඉෂාක් බෙග්, සුනෙත් වල්පොල, සූරිය කුමාර මුත්තලගේ සහය ගායනවලින් සහභාගි වන අතර ආරාධිත ගායක ගායිකාවන් ලෙස නෙලූ අධිකාරි, සන්ධ්‍යා බුලත්සිංහල, ස්වර්ණලතා කවීශ්වර, ඉමාෂ යනාදී අය සහභාගි වෙති. මේ සිංදු පැදුරේදී ඔවුහු ඇසූ පිරූ මතකයේ රැඳුණ පැරැණි ගීත මෙන්ම වේදිකා නාට්‍ය ගීත, හින්දි සහ දමිළ ගීත, ග්‍රැමෆෝන් ගීත ගයති. එමෙන්ම වේග රිද්ම ගීත අසන්නට කැමැත්තක් දක්වන ශ්‍රාවකයන්ටත් සවනට ප්‍රිය උපදන අයුරෙන් ගීත ඇසීමටත් මෙහිදී අවස්ථාව හිමි වෙයි. මෙහි ප්‍රධාන සංවිධායකත්වය දරන රත්නශීලා පෙරේරා වේදිකා නාට්‍යය කලාව ජීවිතය කරගත් ශිල්පිනියකි. මේ දිනවල නරඹන්නන් අතර වඩාත් ජනප්‍රිය ‘ස්වප්නා’ ටෙලි නාට්‍යයේ ස්වප්නාගේ නැන්දම්මා වන සන්තෝෂ්ට හඬ ලබා දෙන්නේද ඇයයි.


‘මී අඹ වනයේ’ ගීත රචකයා මිය යයි

සී. ටී. ප්‍රනාන්දු ගැයූ ‘මී අඹ වනයේ ගී හඬ පතුරා’ ගීතය ලියමින් ගීත රසිකයන්ගේ හද දිනූ ගේය පද රචක ආනන්ද සෙනෙවිරත්න අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසාන කටයුතු කුරුණෑගල සුසාන භූමියේදී සිදු කෙරේ. පෙම් කුරුල්ලෝ, බිඳුනු හදවත්, බඹර කලාපේ ඇතුළු චිත්‍රපට රැසක ඔහු ගී රචනා කළේය.


ධාරණ 32 වැනි සමරුව 27

ඇන්ටන් මිහිඳුකුල, කුමුදිනි මිහිඳුකුල ප්‍රමුඛ ‘ධාරණ’ නිර්මාණ එකතුවේ 32 වැනි සංවත්සර සැමරුම මේ මස 27 වැනිදා පස්වරු 6.30 ට රුක්මණී දේවි රඟහලේදී පැවැත්වේ.

මෙදිනට රසඳුන කර්තෘ සුනිල් මිහිඳුකුල හා කලාවේදී ලක්ෂ්මන් ගජසිංහ යන මහත්වරු දේශනා පවත්වති. මේ සැමරුම වෙනුවෙන් ඇන්ටන් මිහිඳුකුල රචනා කර අධ්‍යක්ෂණය කළ ‘මෝචරිය’ වේදිකා නාට්‍යය ද වේදිකා ගත වෙයි. දෙවර්ෂ පූර්ණය සමරන ‘මෝචරිය’ වේදිකා නාට්‍යයේ රාජසිංහ ලෝලුවාගොඩ, කුමුදුනී මිහිඳුකුල, රියන්ත ප්‍රනාන්දු, සිසිර රණසිංහ, පූජා කුමාරි, දොන් කුමුදුසේන, ශ්‍රීමාලි මාකවිට, ලක්ෂ්මන් බණ්ඩාර, නිරෝෂා, ශ්‍රීනාල්, රුයික්, ජයනා, ජයසිරි මාරසිංහ, අනුර විජේසිංහ රංගනයෙන් දායක වෙති. සංගීතය සුසන්ත කාරියකරවනගෙනි.


මාලා නන්දනී පිළිබඳ සැමරුම්

සිත ගිය තැන, රොඩීගම, බඩුත් එක්ක හොරු, හතර මහ නිධානය, සීතල වතුර, මහව කේච්චිය ආදී චිත්‍රපටවල රඟපෑ මාලා එල්ලාවල මිය ගොස් ජූනි මාසයේ 30 වැනිදා වන විට මාස හයක් ගෙවී අවන්ය. පසුගියදා ඇගේ නිවසෙහි වූයේ සංඝගත දක්ෂිණාවකි. එය පැවැත් වූයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන හර්බට් රූපසිංහ වන මාලා නන්දනීගේ ස්වාමි පුරුෂයයා. ඒ ඈ මිය ගොස් මාස හයක් පිරීම නිමිත්තෙනි. මේ සංඝගත දක්ෂිණාව හර්බට් රූපසිංහ සංවිධානය කළේ මාලා නන්දනීට පින් පිණිසය.

කලාවට ආරය කළ රංගන ශිල්පිනියක් ලෙස සිනමා රසිකයන්ගේ හදවත දිනූ ඈ ප්‍රධාන චරිතයක් රඟපෑවේ ‘මහව කෝච්චිය’ චිත්‍රපටයේයි. මාලා නන්දනී විවිධ වූ චරිතවලට පණ පොවමින් සිනමා ක්ෂේත්‍රයෙහි රැඳී සිටියාය. හදිසියේම ඇති වූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇය මෙලොවෙන් සමු ගන්නා අවස්ථාව වන විට ද නිර්මාණ කිහිපයකටම සම්බන්ධවීමට ආරාධනා ලැබ සිටි රංගන ශිල්පිනියකි.


සදහම් ශාන්තිය 27 දොරට වඩියි

පොල්ගහවෙල මිතභාණි හිමියන් ලියු ‘සදහම් ශාන්තිය – නිවනට මඟ -3’ බෞද්ධ ග්‍රන්ථය මේ මස 27 වැනිදා පස්වරු 3.00 ට වේවැල්දෙණිය පහළගම වන සෙනසුනේදී එළි දකී.


අවතක්සේරුව 29 දා දොරට වඩියි

ජෝ ඇන්ටන් ප්‍රනාන්දු ලියූ නවතම නවකතාව ‘අවතක්සේරුව’ මේ 29 වැනිදා පෙරවරු 10.00 ට මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළි දකී.