වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




අම්මා තනිවම ගෙදර දාලා යන්න එපා මල්ලියේ

අම්මා තනිවම ගෙදර දාලා යන්න එපා මල්ලියේ

ජගත් චමිල නිව්යෝක් සිටි අන්තර්ජාතික සිනමා උළෙලේ දී ජගත් කිර්තියට පත් සැමීගේ කතාව සරසවියේ කොටස් වශයෙන් පළවෙයි.මේ කතා මාලාවට පාදක වනුයේ කපිතාන් එල්මෝ ජයවර්ධන විසින් ඉංගී‍්‍රසි බසින් සෑම් ස්ටෝරි නමින් රචනා කරන ලදුව ප්‍රියංකර විතානාච්චි විසින් සැමීගේ කතාව නමින් සිනමාවට නගන ලද චිත්‍රපටයේ තිරකතාව යි.

කාලයේ ගංගාව නොනැවතී ඉදිරියටම ගියේය. සිරිරත්න අම්මා අත් හැර යන්නට කැමැති වූයේ නැත.මල්ලී ගේ පාසල් වියදම පිරිමසා ගැන්ම අම්මාට පහසු කරුණක් වූයේ ද නැත. සිරිරත්න දවස පුරා කරන්නේ උඩ බලා සිටින එකය.

'මයෙ පුතේ අපි රබර් කෑල්ලේ රස්සාවට යමු. උඹට පුළුවන් නේ කිරි කපලා කීයක් හරි හොයලා ගන්න"

අම්මා පැවසුවාය. ඇයගේ හිතේ හැමවිටම ඇවිලෙන ගින්නක් විය. ඇය නැති කලක මේ අහිංසකයාට යන කල දවස ගැනය. ඒ ගැන අම්මා නිතර විස්සෝප වූවාය. ගමේ රබර් වතුයාය ඇයට ද ජීවනෝපාය සැළසුවේය. හැන්දැවේ ඇය සිරිරත්න සමඟ රබර් වත්තට ගියාය. රබර් වතුයායේ කවර අයිතිකරුවන් සිටිය ද එහි වැඩ කෙරුනේ කොන්දොස්තර ගේ වුවමනාව මතය. මේ නිසා කිරි කපන උදවිය ඔහු ගේ වචනය අහක දැමුවේ නැත.

අම්මා සමග ගිය සිරිරත්න දෙස කොන්දොස්තර ඉහල සිට පහලටම බැලුවේය. සිරිරත්න අසීරුවෙන් දෙතොල් එක්කොට සිනාසෙන්නට තැත් කළේය. කොන්දොස්තර සිරිරත්න දෙස බලා ඉවත බැලුවේ අපුලෙන් මෙනි. අම්මා කොන්දොස්තරට අසරණ විලාසයක් පෑවාය.

'හෙට ඉඳං වරෙං. මම රබර් කුට්ටියක් දෙන්න''

සිරිරත්න හිස සැලුවේය. කරණමක් ගසා සතුට පළ කරන්නට උපන් ආසාව ඔහු මැඩ ගත්තේය. රබර් කිරි කපා සල්ලි උපයා ගත හැක්කේය. ඒ සල්ලි දිනපතා අම්මාට ගෙන දිය හැක. ඇය ළඟ සල්ලි එකතු වූ පසු ලොරියක් මිලයට ගත හැක්කේය.

'අපි උදව් කළාම අපි ගැනත් බලපං. හැන්දෑවේ විතර වරෙං ඉස්ටෝරුවේ එහා පැත්තට"

කොන්දොස්තර ඇඟට පතට නොදැනී අම්මාට කියනු සිරිරත්නට ඇසිණ. පැවසූ දෙය සිරිරත්නට නොදැනීම වාසනාවකි. ගැහැනිය ලජ්ජාවෙන් බිම බලා ගත්තාය.

පසුදිනයේ සිරිරත්න රබර් කට්ටියට ගියේය. කුඩා කාලයේ අම්මා සමඟ පැමිණි මේ කට්ටියේ රබර් ගස් ඔහු හොඳීන් දැන සිටියේය. රබර් කපන්නට හැමදාම ලැබෙන්නේ නැත. එහෙව් දවසක අම්මා කුඹුරු වැඩකට උර දෙන්නීය. නැත්නම් කාගේ හෝ ගෙයක් අස්පස් කර හෝ කීයක් හෝ උපයා ගනියි. එහෙත් ඒ මුදලින් දරු දෙන්නෙකුගේ කුස ගිනි නිවීම පහසු නැත. එහෙත් අම්මා මැසිවිලි නොකිව්වාය.

පසුගිය දවස් කිහිපය ඇතුළත ඇයට හොඳ සනීපයක් තිබුනේ නැත. රාත්‍රියේ හිටි ගමන් ඇති වන කැස්ස ඇයට මහා පීඩාවක් ගෙන දෙන්නට පටන් ගෙන ඇත්තේය. ඇය තවමත් නිදන්නේ දරුවන් දෙදෙනා වට කොට ගෙනය. ගත වූ රාත්‍රියේ අම්මා වරින්වර නින්දෙන් කැස්සෙන් පීඩාවට පත් වනු සිරිරත්නට ඇසිණ.

' ඇයි අම්මේ'

ඔහු ඇසුවේය.

‘නෑ පුතේ‘

ඇය සිය බැරි අමාරුකම් සිරිරත්නට කියන්නට ගියේ නැත.

'හෙට උදේම අපි ඉස්පිරිතාලේට යමු.'

සිරිරත්න පැවසුවේ බැරිම තැනය.

"ඕන නෑ පුතේ. මේක ඇරිලා යාවි"

ඉස්පිරිතාලයට යන්නට තඹ දොයිතුවක්වත් නිවසේ තිබුනේ නැත. පසුවදා ඇය සිරිරත්න සමග රබර් කට්ටියට ගියාය. සිරිරත්නට යමක් කියා දුන් පසු එය ඉතා හොඳීන් කරන බැව් ඇය සිතුවාය. ඈ තමන්ට හුරු පිහිය පුතු අතට දුන්නාය.

අනතුරුව රබර් ගස කපා දැමිය යුතු ආකාරය කියා දුන්නාය. රබර් ගස් කට්ටිය දිගින් දිගටම දිනපතා පිහි තලයෙන් ඉරී ගොස් ඇත්තේය. පසුගිය දවස් ටිකේ පැවැති නියඟය නිමා කොට ඇරඹුණ වැස්ස සිරිරත්නගේ අලුත් රස්සාවට ආශිර්වාදයක් වැන්න.තමා අතින් කිරි පිහිය සිරිරත්නගේ අතට දී සීරු මාරුවට ගසට නොරිද්දා කිරි ගන්නා විදිය අම්මා පුතාට කියා දුන්නාය. සිරිරත්න හිස වනා ක්‍රමය ඉගෙන ගත් බවක් පෙන්වූයේය.ළමා වියේ සිට කිරි කට්ටිය අසල සිටි සිරිරත්නට අමුතුවෙන් රාජකාරිය කියා දිය යුතු නැත. එබැවින් අම්මා වෙනතකට ගියාය.

සිරිරත්න කිරි කැපීම ඇරඹුවේය. පිහි තලය ගෑවුණ ගස දිගේ කිරි ගලා එන්නට විය. පිහිතලයේ තියුණු තලය මුවහත්ය. සිරිරත්න ගස වටා පිහිය යැව්වේය. බිංදුවෙන් ඇරඹි කිරි හෙමිහිට ගලා යන්නට විය. සිරිරත්නට සතුටක් උපන්නේය. ඔහු දෙවැනි ගසට ගියේය. කොන්දොස්තර මහත්තයා රබර් කට්ටියේ මේ ඉසව්ව අම්මාට බලා ගන්නට දුන්නාය. දැන් එබැවින් එහි තමන්ට වුවමනා හැටියට කළ හැක. දෙවැනි රබර් ගසේ ද පැරනි කැපුම දිගේ ඔහු පිහි තලය යැව්වේය. එයින් ද කිරි ගලා එන්නට පටන් ගත්තේය. ඔහු මුල් ගස ළඟට යළි ගියේය. එම ගසේ සිට අනිත් ගස දෙස බලන විට කැපුම් දාරය දිගේ කිරි ගලා එනු බලන්නට අපූරුය.

ඔහු තුන් වැනි ගස ළගට ද ගියේය. එහි ද ඔහු කිරි පිහියෙන් ගසෙහි කැපුමක් යෙදුවේය. නැවත මුල් ගසට ගියේය. ගස් තුනින්ම කිරි ගලා එයි. සිරිරත්නට සතුටක් දැනිණ. ඉස්සර කාලේ අම්මා කිරි කපන විට මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නැත. ඇය කිරි එකතු කරන්නට පොල් කට්ටක් භාවිත කරයි. එහෙත් සිරිරත්නට පොල්කට්ට වැඩක් නැත. එයට වඩා කිරි බිම සිප ගෙන තන කොල මත ගලා යෑම කෙතරම් ලස්සන ද? මේ ලස්සනට සිරිරත්න වසඟව ගියේය. කොන්දොස්තර මහත්තයා ද එයට වසඟවනු ඇත. ඔහු තවත් ගසක් සිදුරු කළේය.එය ද ඔහුට පෙර සතුට ගෙනාවේය. කිසිවකු ඔහුට බාධා කළේ නැත. එහෙත් සතුට පැවැතියේ ටික වේලාවකි. එකවරම කොන්දොස්තර එහි කඩා වැදුණි.

'මොනව ද බූරුවෝ මේ කරපු ගොන් වැඩේ."

කොන්දොස්තර කිරි කපන පිහිය උදුරා ගත්තේය.

‘දුවපිය යන්න ‘

කොන්දොස්තර මහා කුණුහරුපයක් ද කීවේය. සිරිරත්න පසු නොබලා දුව ගියේය. කොන්දොස්තර මහත්තයාට මේ ලස්සන නොතේරුණ හැටි. ඔහු සිතුවේ එහෙමය. අම්මා ඔහුට දොසක් පැවසුවේ නැත. එහෙත් ඇය විස්සෝපයෙන් සිටින වග ඔහුට වැටහිණ. තවත් ටික දිනක් ගෙවී ගියේය. කොල්ලාට රස්සාවක් සොයා දෙන්නැයි අම්මා කිහිප දෙනෙකුටම කියා තිබිණ.

එක් දිනක් විල්බට් එහි පැමිණියේය. විල්බට් මාමා පියා ගේ මාමාය. ඔහු සුදු මහත්තයෙකුගේ ගෙදර මුර රස්සාවක් කළේය. විල්බට් සිරිරත්නට රස්සාවක් සොයා දී තිබිණ. පසුවදා විල්බට් නිවසට එද්දී සිරිරත්න රස්සාවට යන්න ලෑස්ති වී තිබිණ. ඔහු සන්තකව තිබුණු සරම් දෙකත් කමිසයත් කඩදාසි බෑගයක් දාගත් සිරිරත්න නිවසින් පිටව යන්නට පෙර අම්මාට දණ ගසා වැන්දේය. මල්ලී ද පැමිණ සිරිරත්නට වැන්දේය.

"අම්මා තනිවම ගෙදර දාලා යන්න එපා මල්ලියේ.'

ඔහු යන්නට පෙර මල්ලීට පැවසුවේය. එය ඇසූ අම්මාට හැඬුම් ආයේය. මේ කොල්ලා කර දඬු උස් මහත් වනතුරු නිවසින් බැහැර ජීවත්ව නැත. අදින් පසු සිරිරත්න ගේ ජීවිතය කවර ආකාරයක් වනු ඇතැයි ද ඇයට සිතා ගත නොහැක.ගමේ සියල්ලට සිරිරත්න ඔහු මෝඩයෙක් වුව ද ඔහු අම්මාට අසීමිතව ආදරය කරන වග ඇය දැන උන්නාය.

විල්බට් සිරිරත්න සමග බස්රියෙන් ගියේය. සිරිරත්න උපන් අඩවියට මෙවැනි දුරක් ගෙවා නැත. සුදු මහත්තයාත් නොනාත් කතා කළේ ඉංගී‍්‍රසියෙනි. විල්බට් මාමා සිරිරත්න හඳුන්වා දුන්නේය.ගෙදර උයන පිහින කටයුතු කරන නන්දාවතීගේ අත් උදව්වට කිසිවකු සොයා දෙන්නැයි මහත්තයා විල්බට් ට කියා තිබිණ.

‘මේ නන්දාවතීට හෙල්පිං බෝයි.‘

සිරිරත්න විල්බට් මාමාගේ අමුතු භාෂාව හොඳීන් අසා සිටියේය. සුදු නෝනා මොකක්දෝ විමසනු සිරිරත්නට දැනිණ. ඔහු විල්බට් මාමා දෙස බැලුවේ එහෙයිනි.

‘නම කියහං. නම කියහං‘

විල්බට් මාමා පැවසුවේය. සුදු මහත්තයා අසා තිබුණේ සිරිරත්නගේ නමය. තේරෙන සිංහලෙන් කිව්වා නම් මොකදැයි සිරිරත්නට සිතිණ.

'සිරිරත්න'

සුදු නෝනා ට එය තේරුණේ නැත. සිරිරත්න පැවසූ දෙය විල්බට් නැවත කියා සිටියේය.

"උඹේ නම දිග වැඩියි. මම උඹට සෑම් කියන්නං

විල්බට් සිරිරත්න දෙස බැලුවේය. සිරිරත්නට වඩා සෑම් කදිමයැයි ඔහුට ද සිතිණ.

ඔහු හිස වනා අලුත් නම පිළි ගත්තේය.

තව කොටසක් ලබන සතියේ