වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




පරෙවි දානයෙන් වසුරු ලාබයක්

පරෙවි දානයෙන් වසුරු ලාබයක්

2000 වර්ෂය කියන්නේ මගේ ජීවිතයේ තවත් අපූර්ව විදේශ සංචාරයක් සිද්ධ වුණ වර්ෂයක්. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සති දෙකක් ගත කර ප්‍රසංග හතරක් පවත්වා මම මේ රටට ආවේ ජීවිතේට අමතක නොවන පාඩම් කිහිපයකුත් ඉගෙන ගෙනයි.

මේ සංචාරය සංවිධානය කරනු ලැබුවේ එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයකු විසින්. මේ ගමනට අපේ කට්ටියට අමතරව සුනිල් හෙට්ටිආරච්චි, විජේරත්න වරකාගොඩ එහෙමත් එකතු වුණා.

මෙල්බන් නුවර වේදිකා කීපයකම අපේ රංගනයන් ඉදිරිපත් කළා. මේ හැම අවස්ථාවකම අපිට වේදිකාවෙන් බහින්න දෙන්නේ නැති තරමට ජනතාව අපිව ප්‍රිය කරන්න පටන් ගත්තා. තරඟකාරී ඉතා අවිවේක ජීවිතයක් ගත කරන ඒ රටේ මිනිස්සු නිකරුනේ කාලය ගත කරන්නේ නැති තරම්. අපේ රටේ වගේ නිකරුනේ කාලය කා දමන මිනිස්සු හොයා ගන්නත් නෑ. එහෙ අය කෑම කන්නෙත් මොනව හරි වැඩක් කරමින්.

ගහ කොළවලින් පිරිච්ච හරිම ලස්සන රටක් වුණු ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිරි නරඹන්න අපි කට්ටියම ගියේ බොහොම සතුටින්. අපේ ප්‍ර‍්‍රසංග අතරතුර ලැබුණ විවේකී දිනයක අපි ගියේ මෙල්බන් නුවරට නුදුරින් පිහිටි සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට. එහි සිටින පරවියන්ගේ අති විශාල රංචුව නිසාම ප්‍රසිද්ධයි. එය උන්ට කෑම දෙන ඉතා ප්‍රසිද්ධ පල්ලියක්. අපි ගිය පල්ලිය අවට පරෙවියන් දහස් ගණනක් වසා ඉන්නවා.

මේ පරෙවියන්ට ඔවුන් කෑම වර්ග තැටියකට දාලා කන්න දෙනවා. දහස් ගණනක් පරෙවියන් මේ ආහාර බුදින හැටි දැක්කම හරිම ලස්සනයි. තැටියකට දාලා පරෙවියන්ට කන්න දෙනව දැක්කම මටත් පුදුම සත්ව කරුණාවක් පහළ වුණා.

මාත් එක්ක ගිය අනෙක් කට්ටිය විවිධ වර්ණයෙන් යුත් පරෙවියන් දිහා බලාගෙන ඉන්න අතරතුර තැටියක් අරගෙන කන කෑම ඒකට දාලා උන්ට කෑම වේලකින් සංග්‍රහ කරන්න මම හිතුවා. බොහොම ශ්‍රද්ධාවෙන් තැටියට කෑම පුරවලා මගේ පණ්ඩිතකමට අත් දෙකෙන්ම තැටිය අල්ලලා පරෙවියන්ට කන්න දුන්නා.

දෙයි හාමුදුරුවනේ ඒ වෙලාවේ සිද්ධ වෙච්ච දේ මට හිතා ගන්නත් බෑ. ඒ එක්කම අවට වහල හිටිය සිය දහස් ගානක් පරෙවියන් රැලක් ඇවිත් මාව වහ ගත්තා.

මගෙ මූණෙයි, ඇඟෙයි, ඔලුවෙයි හැම තැනම පරෙවියෝ වහලා මගේ අතේ තිබුණ ඇට වර්ග කන්න පටන් ගත්තා. මට කර කියා ගන්න දෙයක් නෑ. මුලු ඇඟ පුරාම පරෙවියෝ වහලා. ඒ අස්සේ පරෙවියන්ගේ නියපොතුවලට මුහුණ සීරිලා.

පරෙවියන්ගෙන් බේරෙන්න මම එහෙට මෙහෙට දඟලන්න වුණා. ඔන්න ඉතිං බැරිම තැන පරෙවියෝ ඉගිලිලා යද්දී ඔලුවේ ඉඳලා ඇඟ හැම තැනටම වසුරු හෙළුවා. සිය දහස් ගණනක් පරෙවියන් ඇඟ හැම තැනම ජරා කරලා හරියට නිකන් පාප්ප බාල්දියක් දිය කර වක් කර ගත්තා වගේ ඔලුවේ ඉඳලා පරෙවි වසුරු පෙරෙනවා.

මට හරියට තරහ ආවා. හිරිකිතකුත් දැනුණා. පල්ලියට ආපු සියලු දෙනාට මම පරෙවි වසුරු නාගෙන ඉන්නව දැක්ම සිනහ උපදවන දර්ශනයක් වුණා.

සිතේ ඇති වුණ සත්ව කරුණාව නිසා අන්තිමේදී මට වුණේ පරෙවි වසුරු නාන්න. අන්තිමේදී පල්ලියෙන් එළියට ඇවිත් නාලා ඇඳුම් මාරු කර ගත්තෙත් අනෙක් අයගේ උදවුවෙන්. අන්තිමට සත්ව කරුණාවක් නිසා මමත් නොසිතූ ලෙස පරෙවි වසුරු නාලා ඕස්ට්‍රේලියාවේදී මිනිස්සු හිනස්සන්නත් මට අහම්බෙන් හැකි වුණා.