වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




අපි ක්ෂේත්‍රයට ආවේ සියල්ල දැනගෙන නෙවේ

අපි ක්ෂේත්‍රයට ආවේ සියල්ල දැනගෙන නෙවේ

වේදිකාව, පුංචි තිරය, සිනමාව ඔප කළ නිල් දියමන්තිය දමයන්ති ෆොන්සේකා කියයි

මම නිර්මලාට අනුගත වුණේ දමයන්තිව අමතක කරලා.....

වසර දහයක කාලයක තරම් කුඩා අවදියේ පටන් රංගන කාර්යයෙහි නිරතවන දමයන්ති ෆොන්සේකා නම් ප්‍රවීණ රංගන ශිල්පිනිය වේදිකාව, පුංචි තිරය, සිනමාව යන ක්ෂේත්‍ර තුනෙහිම අත්දැකීම් සම්භාරයක් ඇත්තියකි. මේ වනවිට ඇගේ රංගනය අපට දැකගත හැක්කේ පුංචි තිරයෙනි. මේ තරමටම පුංචි තිරයට රංගන ශිල්පීන් හා ශිල්පිනියන් පිවිසෙන්නේ කුමක් නිසාද යන්නත්, රංගනය පිළිබඳ හැදෑරීමක් නොකිරීමත් නිසා සිදුවන දේ පිළිබද හා වර්තමානයේ නියැළෙන කටයුතු පිළිබඳත් කලකට පසුව ඈ සමඟ කළ සාකච්ඡාවකි.

වර්තමානයේ තරුණ, තරුණියන් බොහෝ දෙනකු රංගනයට පිවිසිලා. දිගු කාලීන අත්දැකීම් ඇති රංගන ශිල්පිනියක් විදියට ඔබ මේ කරුණ සම්බන්ධයෙන් දරන්නේ මොනවගේ අදහසක්ද?

බොහෝ දෙනෙක් රංගනයට පිවිසෙන්නේ ඊට තිබෙන්නා වූ ජනපි‍්‍රයත්වයත් සමඟයි. එතනදි තමයි තරු සංකල්පය බිහි වෙන්නේ. තරු සංකල්පය ඔස්්සේම පමණක් යම් කෙනෙකුට මේ ක්ෂේත්‍රයේ රැඳී සිටින්නට නොහැකියි. තමන්ට ලැබෙන ජනපි‍්‍රයත්වය ඔස්සේ ඔවුන් කළ යුත්තේ තම දක්‍ෂතාවයද හඳුනා ගැනීමයි. ඒ දක්‍ෂතාවයත් සමඟ රංගනය පිළිබඳ ලබන අත්දැකීම් මෙහි රැඳී සිටීමට උදව් වෙනවා. දිගු කලක් රංගන ක්ෂේත්‍රයේ රැඳී සිටිය හැක්කේ එවැනි අයෙකුට පමණයි.

මේ අය රංගනයට පිවිසෙන්නේ රංගනය කියන්නේ ඒ තරම්ම පහසු රැකියාවක් තවත් නැහැයි කියලා හිතාගෙන වගේම රංගනය හදාරන්නේ නැහැයි කියන කාරණයටත් ඔවුන්ට චෝදනා නැඟෙනවා?

රංගනයට පිවිසෙන තරුණ, තරුණියන්ට බොහෝදෙනා ඔබ ඔය කියන චෝදනාව නඟනවා. ඒ වගේම රංගනයට ඔවුන් කැප වෙන්නේ නැහැ, ඔවුන්ට ඉගෙන ගන්න වුවමනාවක් නැහැ කියන කාරණයත් අයිති ඒ චෝදනා ගොන්නටමයි. කොහොම නමුත් ටෙලි නාට්‍යවල රඟපාන ශිල්පිනියක් විදියට මගේ රංගන ඉඩහසර නිතරම නිර්මාණය වී තිබෙන්නේ මේ අලුත් පරම්පරාවත් සමඟ කටයුතු කිරීමටයි. එතැනදි මට හැඟෙන එකම කාරණය වුණේ ඔවුන්ට ඉගෙන ගන්නට හරි තැනක්, ක්‍රමවේදයක් නැති බවයි. පැරැණි ටෙලි නාට්‍ය හොඳයි කියලා හැමෝම කිව්වත් මේ වෙනකොට ඒවා විකාශය වෙන්නේ බොහොම අඩුවෙන්. ඒ නිසා ඔවුන්ට ඒවා නරඹන්න විදියක් නෑ. මේ වගේ ගැටලු රාශියක් අතරයි ඔවුන් තම රංගන කටයුතු කරගෙන යන්නේ.

රංගන ශිල්පියකු රංගනයෙන් පමණක් නොවෙයි දැනුමෙන් ද පරිපූර්ණ විය යුතුයි ?

පුංචි තිරය වගේම රිදී තිරය පිළිබඳත්, නාට්‍ය කලාවේ ඉතිහාසය පිළිබඳත් දැනුමක් ඔවුන් සතුවිය යුතු බව සත්‍යයක්. වර්තමානය වනවිට මේවා දැන ගැනීමේ මාර්ග ඕනෑ තරම් තිබුණත්, කියැවීමේ හුරුවක් ඇති නොකර ගත්ත පිරිසක් ලෙසයි ඔවුන්ව මා දකින්නේ. ඒත් කියැවීමට හුරු වූ අයත් මේ අතර නැතිවාම නොවෙයි. සමස්තයක් විදියට මේ නොකියවන පිරිසට දැනුම ලබාගත නොහැක්කේ ඔවුන්ගේ කාර්යබහුලත්වය සහ වුවමනාවක් නොමැති වීමද විය හැකියි. ඒ සියල්ලන්ටම ඒවා ඉගෙන ගැනීමේ වැදගත් කම වගේම ඒවා දැන හඳුනා ගැනීමේ වැදගත් කම ද කියා දිය යුතු බවයි මා සිතන්නේ. ඊට ඔවුන් පෙලඹවිය යුතුයි. මොකද අපි වුණත් මේ ක්ෂේත්‍රයට මුලින්ම පැමිණෙන විට සියල්ල දැනගෙන නොවෙයි පැමිණියේ. ඒ විස්තර දැනගැනීමට අපට එකල පෙලඹවීමක් ඇති වුණා. ඒ අනුව අප කටයුතු කළා.

නමුත් අද පාසල් විෂය නිර්දේශයටත් නාට්‍ය හා රංග කලාව කියන විෂය ඇතුළත් වෙනවා ?

තරුණ පෙළට හිමිවන තවත් වරප්‍රසාදයක් විදියටයි මා මේ කාරණය දකින්නේ. අප රංගනයට පිවිසෙන අවදියේදී එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. දැන් ළමයින්ට තියරි කොටස යම් මට්ටමකින් ඒ අධ්‍යාපනය ඔස්සේ ලැබීම මඟින් යම් දැනුවත් බවක් ලබන බව සත්‍යයක්. ඒත් ප්‍රායෝගික පුහුණුවක් නොමැතිවීම කනගාටුවට කාරණයක්.

නමුත් අද නාට්‍ය හාරංග කලාව පුහුණු ආයතන වැහි වැහැලා. මේ ආයතනවලට ඇතුළත් වී ඉගෙන ගන්නා අයත් බොහොමයි ?

රංගනය කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ලෝකයේ මේ සඳහාම ඉදිවුණු රංග කලා පාසල් ඕනෑ තරම් තිබෙනවා. නාට්‍ය පුහුණු කරුවන් ද ඕනෑ තරම්. ඒ කාලයේ ඒ නාට්‍යකරුවන්ගෙන් පුහුණුව ලබන්නට අපට වාසනාව හිමි වුණා. නෝබට් ජේ. මයර් කියන්නේ එවැනි නාට්‍ය කරුවෙක්. හෙලේනා ලෙත්තිමතී කියන පෝලන්ත නාට්‍යවේදිනිය යටතේත් මා පුහුණු වුණා. ඔවුන්ගෙන් රංගනය පිළිබඳ ලැබූ ප්‍රායෝගික පුහුණුව මගේ රංගනයට බොහොම වැදගත් මානයක් රැගෙන ආවා. ශාරීරික අභ්‍යාස, රංගනයේදී චරිතයක තිබිය යුතු නම්‍යශීලී බව ඇතිකර ගැනීම වැනි බොහෝ දේවල් ඒ පුහුණුවේ ඇතුළත්. මට නිර්මලා කියන චරිතය ගොඩනඟන්න වුණොත් මම නිර්මලාට අනුගත විය යුත්තේ දමයන්ති කියන චරිතය සම්පූර්ණයෙන්ම අමතක කරලා.

එහිදී ඇය අඳින පලඳින විදිය, ඇගේ චරිත ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. මේ කියන කාරණාවල දී අපි මානුෂීයව ඊට ඇතුළත් වෙන්නේ කොහොමද කියලා රංගන ශිල්පිනියක් විදියට දැනගත යුතුයි. මේ පුහුණුවලින් පස්සේ අපට වේදිකාවෙන් ලැබුණු පුහුණුවත් කොයිතරම් වටිනවාද කියන කාරණයත් සඳහන් කළ යුතුමයි. අද අප මෙතැන සිටීමට මූලික අඩිතාලම නිර්මාණය වුණේ ඒ අතීතයේ දීයි. එකල රංගනය පිළිබඳ අප ලැබූ අත්දැකීම් තවමත් අප ක්ෂෙත්‍රයේ රැඳී සිටීමට උදවු වෙනවා. මට හිතෙන විදියට රංගනය පිළිබඳ අපට එදා ලැබුණු මේ පුහුණුව, අත්දැකීම් අද බොහෝ රංග කලා ආයතනවලින් ලැබෙනවාද කියන එක මට ගැටලුවක්.

ඔබ මේ ලැබූ පුහුණුව හා අත්දැකීම්වලින් නව පරපුර දැනුවත් නොකරන්නේ ඇයි?

බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මා බොහෝකල් පටන් ඒ කටයුත්තේ නියැළී සිටින බව කියන්න ඕනෑ. මා මට හැකි අයුරින් ඒ කටයුත්තේ නියැළෙන නිසා වෙන්න ඇති නව පරපුරේ බොහෝ දෙනෙක් මට ඒ සඳහා රංග කලාව පිළිබඳ ක්‍රමවත්ව හැදෑරිය යුතු තැනක් ආරම්භ කරන්න කියලා ආරාධනා කළේ. ඔවුන්ගේ ආරාධනාව මා සලකා බැලුවේ ගිය වසරේ. ඒ ආරම්භ කළ ඒ රංග කලා පාසලට මේ වසරේ අලුත් අර්ථකථනයක් දිය යුතුයි කියා මා සිතුවා.

කොහොමද ඔබ ඔය කියන නව අර්ථකථනය ලබාදීමට සූදානම් වෙන්නේ ?

රංගනය ක්‍රමවත්ව හැදෑරිය හැකි ස්ථානයක් ආරම්භ කිරීම එහි මූලික අරමුණයි. ඒ අනුව නාට්‍ය කලාවේ ඉතිහාසයේ පටන් අද දක්වා තියරි මාර්ගයෙන් රංගකලාව හැදෑරීමත්, ප්‍රායෝගික පුහුණුවත් ඊටම ඇතුළත්. වර්තමානයේ සිටින සමහර තරුණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ සිත්වල මේ කරුණු සෙවීමට පෙලඹවීමක් අති කිරීම ද මින් සිදු කෙරෙනවා. මේ පාඨමාලාව හා වැඩමු¼ථව මගින් නාට්‍ය කලාවට සීමා නොවී සිනමාව පිළිබඳත් ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන නිසා ඔවුන් එකම තැනකට පමණක් සීමා නොවේවි. රංගන ශිල්පියාගේ උපකරණය වෙන්නේ ශරීරයයි. ශරීරයෙයි කටහඬ, හැඟීම්, සිතුවිලි තිබෙන්නේ. මේ ශරීරය කොහොම ද අපි නම්‍යශීලී ලෙස, බුද්ධිමත් ලෙස පාලනය කරන්නේ, තමන්ගේ මනස කොහොමද රංගනයට උචිත අයුරෙන් හැඩගස්වා ගන්නේ කියන කාරණා රංගන ශිල්පියෙක් දැන ගත යුතුයි. ඒ හුරුව ඔහුට බොහොම වැදගත්.පාඨමාලාව ඔස්සේ එය කරන ක්‍රමවේදය කුමක්ද කියන පුහුණුව ලබාදීම වගේ එක් බලාපොරොත්තුවක්.

වේදිකාවේ රඟපෑමට නවපරපුරෙහි ශිල්පීන්ට හා ශිල්පිනියන්ට නොලැබෙන තරම්. කොපමණ රංගන පුහුණුවක් ලැබුණත් එවැනි අභ්‍යාසයක් නොමැතිවීම අඩුවක්.

අද රංගන වෘත්තියේ දක්ෂතා දක්වන, තවමත් එහි රැඳී සිටින ශිල්පිනියන්ගේ හා ශිල්පීන්ගේ මුල රැඳුනේ වේදාකාවේ.ඒ නිසා රංගනය ගැන කතා කරන විට වේදිකාව පිළිබඳ අපට සු¼ථවෙන් තැකිය නොහැකියි. රංගන පාඨමාලාවේදීත් ඒ පිළිබඳ මා සිතුවා. පාඨමාලාව අවසානයේ වේදිකා නාට්‍යයක් කරන්නට ඔවූන්ට මා භාර දෙනවා. ඒ නාට්‍යය ප්‍රසිද්ධ වේදිකාවේ වේදිකා ගත වෙන නිසා නවක රංගන ශීල්පීන්ට, ශිල්පිනියන්ට එය අපූරු අත්දැකීමක් වේවි. අනෙක නම් අද වන විට තාක්ෂණය දියුණු මට්ටමක තිබෙන නිසා නිර්මාණකරුවන්ට තම නිර්මාණ සඳහා දායක කර ගත හැකි රංගන ශිල්පීන් හා ශිල්පිනියන් මේ මගින් තෝරා ගැනීමට මා ඉඩ සලසා තිබෙනවා. ඒ පුහුණු කාලයේදී ඔවුන් කෙරෙහි තිබෙන්නා වූ දක්ෂතා වීඩියෝ ගත කිරීමෙන්. ඊට අමතරව එෆ්.බී පිටුවක් නිර්මාණය කිරීමත්, මා ඔවුන්ගේ දත්ත ඇතුළත් ඇල්බමයක් තබා ගැනීමත් මගින් අනාගත රංගනයට නව මානයකින් යුතු ශිල්පීන්, ශිල්පිනියන් දායක කිරීම මගේ අරමුණයි. මාර්තු මස පැවැත්වීමට නියමිත මේ පාඨමාලාවට මා සමඟ සම්බන්ධ වීමට කැමැති ඕනෑම කෙනෙක් වේ නම් 0777587729 යන දුරකථන අංකයට කතා කර විස්තර දැන ගත හැකියි.

ඔබගේ රංගනය ටෙලි නාට්‍ය කිහිපයකම දකින්නට ලැබෙනවා. ඉදිරීයේදී විකාශය වීමට නියමිත නිර්මාණ මොනවාද?

ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් සඳහා සහභාගි වෙනවා. සංජය ගුණවර්ධනගේ ‘සැළමුතු වෙරළ’ ටෙලි නාට්‍යයේත්, තුෂාරි අබේසේකරගේ ‘ස්වේත ගංතීර’ කියන ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් කෙරෙන නිසා මේ දවස්වල මම තරමක් කාර්යබහුලයි.