වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




“මේ චිත්‍රපටය මගේ නෙමෙයි උඹෙයි ” අධ්‍යක්ෂ පි‍්‍රයංකර කිව්වා
ජගත් චමිලගේ ජගත් පූජිත රංගනය හෙට සිට අපේ ප්‍රේක්ෂකයන් හමුවට

“මේ චිත්‍රපටය මගේ නෙමෙයි උඹෙයි ” අධ්‍යක්ෂ පි‍්‍රයංකර කිව්වා

ජගත් චමිල

පසුගිය කාලයේ වඩාත්ම කතාබහට ලක් වූ අපේ රංගන ශිල්පියා කවුරුන්දැයි මා ඇසුවොත් ඔබේ පිළිතුර ජගත් චමිල බව නොඅනුමානය. අපේ රටේ පමණක් නොව ලොවෙහිම අවධානයට ඔහු එසේ පාත්‍ර වූයේ අමෙරිකාවේ ‘නිව්යෝ(ර්)ක් සිටි’ සම්මාන උළෙලේ හොඳම නළුවා වෙමිනි. අපේ නළුවකු ජාත්‍යන්තර සිනමාවේ ලද ඉහළම සම්මානය ද එයම වේ

එසේ ජාත්‍යන්තරය ජය ගත් අපේ ජගත් ගේ විශිෂ්ට රංගනය ඇතුළත් ‘සැමීගේ කතාව’ හෙට (28) සිට මෙරට සිනමාහල්වල ප්‍රදර්ශනයනට නියමිතය. ජගත් මෙවර ‘සරසවිය’ හා එක් වන්නේ ඒ සැමී මුල් කොට ගත් සංවේදී කතාබහකටය.

ඔබේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටි ‘සැමීගේ කතාව’ හෙට සිට ප්‍රදර්ශනයට එක්වෙනවා. එතැනින් අපේ මේ කතාබහ ආරම්භ කරමු?

ඇත්තෙන්ම මේක මට ලොකු නිදහසක්. මේ ලැබුණ සමමානයත් එක්ක ලංකාව පුරාම ඉන්න මගේ රසිකයෝ නිරන්තරයෙන්ම මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි කවදාද මේ චිත්‍රපටය අපට බලන්න පුළුවන් වෙන්නේ කියලා. ඔන්න දැන් මට කිසිම පැකිලීමකින් තොරව එක හෙළාම කියන්න පුළුවන් හෙට ඉඳන් ‘සැමීගේ කතාව’ තිරගත වෙනවා කියලා. අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් ගෙනා මේ චිත්‍රපටය කොයි වගේ ද කියලා දැකගන්න අපේ රටේ සිනමා ප්‍රේක්ෂකයන්ට ලැබෙන හොඳ අවස්ථාවක් මේක.

විශේෂයෙන්ම ඔබේ අද්විතීය රංගනය?

මෙතනදි මම කියන්නේ විනිශ්චයන් සාපේක්ෂයි. අපේ රටේ සම්මාන උළෙලවල දී වුණත් ඒ අත්දැකීම අපට තියෙනවා. එක් සම්මාන උළෙලක හොඳම නළුවා වෙන කෙනා තව සම්මාන උළෙලක ආරාධිතයකුවත් නොවෙන්න පුළුවන්. නමුත් නළුවකුගේ ප්‍රතිභාව හරහා මොන තරම් දුරකට ඒ චරිතය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවාද කියන සාමාන්‍ය නිගමනය සහ මේ තරම් ලොකු ජයග්‍රහණයක් ලබන්න මේ චරිතය කොයි තරම් දුරකට චිත්‍රපටය සමඟ බද්ධ වෙලා තියෙනවද කියන තීරණය ප්‍රේක්ෂකයාට ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේක.

මේ චිත්‍රපටය ප්‍රදර්ශනයට එක් වන්නේ රූගත කර බොහෝ කලකට පසුවයි?

චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළේ 2006 වසරේ දී. අද වෙනකොට අවුරුදු අටක කාලයක් ගත වෙලා.

එතකොට වසර අටකට පෙර ඔබ රඟපෑ ‘සැමී’ යාවත්කාලීන වූ ඔබේ රංගන දිවියට සාපේක්ෂව අදට වලංගු ද?

මම මෙහෙම කියන්නම්. දැන් රංගන ශිල්පියකුට තිබෙන වගකීම තමයි ඒ ලැබෙන චරිතය නිරූපණය කරන එක. චරිතයක් කියන්නේ මනුෂ්‍ය ශරීරයක්නේ. මේක පුද්ගලයාගෙන්, පුද්ගලයාට වෙනස් වෙන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන මේ පංච මහා ධාතූන් ගේ එකතුවෙන්. එතකොට මේ සංකලනවල සිදු වෙන්නා වූ යම්, යම් වෙනස්කම් අනුව චරිත වෙනස් වෙනවා.

එකම නහය, කට, ඇස් දෙක තිබුණත් මිනිසුන්ගේ මුහුණේ හැඩතල කොච්චර වෙනස්ද?

එක සමාන පදාර්ථයන්ගෙන් හැදුණොත් මිනිස් රූප දෙකක් සමාන වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට නිවුන් සහෝදරයෝ දෙදෙනෙක් ගනිමු. ඒත් එයාලගේ වුණත් සිතිවිලි වෙනස් වෙනවා. ලැබෙන චරිතයේ මූල ධාතුව (element) අල්ලා ගත්තම ඒ අවශ්‍ය චරිතය නිරූපණය කිරීමට නළුවාට හොඳ අවකාශයක් සැලසෙනවා.

අපි සැමීවම උදාහරණයකට ගෙන ඔබේ විශ්ලේෂණය කළොත්?

පිටපතේ සඳහන් සැමී අඩු මානසික වර්ධනයකින් යුත් පුද්ගලයෙක්. එවැනි පුද්ගලයෙක් සමාජයට දක්වන ප්‍රතිචාර සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයකුට වඩා වෙනස්. ඒ කියන්නේ එයාගේ පංච මහා ධාතූන්වල තියෙන සංඝටයන්වල අඩු ප්‍රමාණය නිසා. අන්න ඒ ප්‍රමාණයන් සොයා ගත්තම මට තිබුණේ ඒකට හරියන ට්‍රීට්මන්ට් එක දෙන්න. ඒ ට්‍රීට්මන්ට් එක ඇතුළේ අර චරිතය නිරූපණය වෙලා තියෙනවා නම් ඒක සදාකාලිකයි. දැන් උදාහරණයක් හැටියට මම කියන්නේ ජෝ අබේවික්‍රම ගේ ‘දෑස නිසා’ චිත්‍රපටයේ අපි දැකපු චරිතය අදටත් අප තුළ ජීවමානයි. ජෝ මහත්තයාට ඒ චරිතයේ තවත් දේවල් කරන්න තිබුණ ද කියන පැනය අදටත් මා තුළ නැඟෙන්නේ නෑ.

ඒ චරිතය එතරම්ම විශිෂ්ටයි?

ඇත්තෙන්ම. පසුකාලෙක ඔහු රංගනය පිළිබඳ කෙතරම් යාවත්කාලීන වුවත්, පරිචයක් ලැබුවත් අර චරිතයට ඉන් එහා ගිය සාධාරණයක් ඉෂ්ට කරන්න තිබුණා කියලා මම හිතන්නේ නෑ. ඔහු රඟපෑ ඒ ‘නිරුදක’ ගේ භූමිකාව අදටත් මගේ මනසේ රැඳී තිබෙනවා.

මම හිතන්නේ ‘වැලිකතරේ’ ජෝ රඟපෑ ගෝරිං මුදලාලිගේ චරිතය, ගාමිණී ‘නිධානයේ’ රඟපෑ විලී අබේනායක සහ ‘පරසතුමල්’ බොනී මහත්තයා වැනි චරිතත් අපේ මතකයේ සදාතනික සැමරුම්?

ඔව්. ඒ චරිත හරියට පාඩම් පොත් වගේ. ඒ එක් චරිතයක් වුණත් හරියට රංග පාසලක් වගේ. මම කියන්නේ විෂයානුබද්ධව, හැදෑරීමකින් යුක්තව කළ එබඳු චරිත ප්‍රේක්ෂක මනසේ සදාකල් රැඳී තිබෙන්නේ ඔබ ඔය කියන ආකාරයටමයි. හැබැයි මම රඟපෑ සමහර චරිත තිබිලා තියෙනවා ‘නෑ මට මේ චරිතයට මීට වඩා යමක් කරන්න තිබුණා’ කියා සිතෙන. නමුත් සැමී කියන්නේ මට එහෙම අඩුපාඩු මත ඉතිරි කර ගත්තු චරිත නිර්මාණයක් නෙවෙයි.

මා දන්නා ජගත් චමිල තිර පිටපතටම සීමා වූ හෝ අධ්‍යක්ෂවරයා ගේ විධානයන් මතම යැපෙන රංගන ශිල්පියකු නෙවේ. ඒවාට අමතරව ‘සැමී’ ව ගොඩ නඟන්න කොහොමද ඔබේ දායකත්වය නැතිනම් අනුප්‍රාණය ලබා දෙන්නේ?

සැබෑ රංගනයක් කියන්නේ සාමාන්‍ය දෙයකට වඩා එහාට ගිය වෘත්තීමය වගකීමක්. ගුරු වෘත්තිය, වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය වගේම වෘත්තියක් තමයි මේ රංගනය කියන්නෙත්. එහෙම හැදෑරීමක් ඇතුළේ තමයි මගේ ගනුදෙනුව තිබුණේ. මේ චරිතය ගොඩනැගීම සම්බන්ධව මාත්, අධ්‍යක්ෂවරයාත් අතරේ ඇති වූ සංවාද, තර්ක විතර්ක ඇතුළේ ඔහු මට පහසු කළා මට මේ චරිතය හඳුනාගන්න. මේ සැමීගේ කතාවට පාදක වෙච්ච සැබෑ චරිතය මට මුණ ගැස්සෙව්වා. ඉචථ’ඵ ඵබධපර නවකතාව මට කියවන්න දුන්නා. ඒ මෙහෙයවීම අධ්‍යක්ෂවරයා විසින් ඉතාමත් ක්‍රමානුකූලව හා සූක්ෂම ලෙස සිදු කළා.

ඒ කියන්නේ ජීවමාන සැමී ඔබට මුණ ගැසුණා?

ඔව්. ඊට පස්සේ තමයි මම බොහෝ දේවල් ලිහිල් කර ගත්තේ. අපට මුණ ගැසුණ ඒ ජීවමාන සැමී තුළ බාහිර සමාජය ගැන කිසිම ප්‍රතිචාරයක් නෑ. ඒ කියන්නේ මේ සමාජය පිළිබඳ ඔහුට තිබෙන්නේ නිද්‍රාශීලී බවක්. කිසිදු සංවේදිතාවක් නෑ. මේ නවකතාව ලියූ කැප්ටන් එල්මෝ ජයවර්ධන සැමීට කියා තිබුණා ‘සැමී මම උඹ ගැන නවකතාවක් ලිව්වා’ කියලා. සැමීගේ බුද්ධිය මෝරලා තිබුණේ නෑ, නවකතාවක් කියන්නේ මොකක්ද කියා වටහා ගන්න. එතකොට ඊළඟට ‘සැමී ඔයා ගැන මම ලියපු පොත චිත්‍රපටයකට නඟන්න යනවා කියලා කිව්වාමත්...

නෝ රිඇක්ෂන්?

නෝ රිඇක්ෂන්. ඒ කියන්නේ ඒ මොහොතෙත් අර මුලින් වගේම තමයි. කිසිම ප්‍රතිචාරයකින් තොරව සැමී ඔහේ බලාගෙන ඉඳලා තියෙනවා. නමුත් ඒ සැමීගේ ජීවිතයේ පෙනෙන ඛේදවාචකය නවකතාකරු චරිතයක් හැටියට ගොඩ නඟලා තියෙනවා. ඒ කියන්නේ සැමීගේ ඛේදවාචකය නිරූපණය කරන්න වෙනවා නළුවකුට. එහෙමනම් ඒ නළුවාට සිදු වෙනවා සැමීව ප්‍රතිනිර්මාණය කරලා සංවේදනය කරන්න. කාටද? ප්‍රේක්ෂකයාට. එතකොට එතනදි සැමී හරහා කිසියම් ප්‍රතිචාරයක් ප්‍රේක්ෂකයා වෙත ප්‍රක්ෂේපණය කරන්න, ඉදිරිපත් කරන්න මම යම් යම් ක්‍රමවේද භාවිතා කළා.

ඒ කියන්නේ ඇත්ත සැමීට වඩා සිනමාවේ ඔබ නිරූපණය කළ සැමී තරමක් වෙනස්...?

අර ඇත්ත සැමීගේ ඛේදවාචකය නැතිනම් ඔහුගේ සංවේදනාවන් ඉදිරිපත් කරන්න මට සිදු වෙනවානේ. ඒ කියන්නේ කිසියම් ප්‍රතිචාරයක් දනවන්න. ඒ ප්‍රතිචාරය ඇත්ත සැමීට බාධාවක්, ගැටලුවක් නොවන ආකාරයට සංයමයෙන් ඉදිරිපත් කිරීම තමයි මෙතනදි කළ යුතුව තිබුණේ.

ඔබ එය කළා?

ඒක මම කළා කියලා දැනගන්න ලැබුණු එකම මොහොත තමයි මගේ අධ්‍යක්ෂවරයා රූගත කිරීම අවසානයේ ‘මේක මගේ චිත්‍රපටය නෙවෙයි චමිල, මේක උඹේ චිත්‍රපටය වුණා’ කියා කළ ප්‍රකාශය.

‘හතර දෙනාම සූරයෝ’ - ජගරියා, ස්වයංජාත – විභූතිරත්න, සැමීගේ කතාව - සැමී මේ චරිත තුනේම ඔබේ බාහිර ස්වරූපය එකයි. නමුත් මේ චරිත තුන තුන් විදිහක්, මම දකින විදිහට බාහිර ස්වරූපයට වඩා මේ ඔබේ රංග පෞරුෂය ඉස්මතු වූ අවස්ථාවන්?

එකම ස්වරූපය වුණාට මේ තුන්දෙනෙක්නේ. ඒ අය එකිනෙකට වෙනස්. ඇයි ඒ පුද්ගලයෝ තුන්දෙනා හැදෙන්නේ අර මම මුලින් කියපු මූලික කාරණා ඔස්සේ. ඒ කියන්නේ පංච මහා ධාතූන් ගේ සංකලනයේ අඩු වැඩිවීම් මත නිර්මාණය වූ පුද්ගලයන් තුන්දෙනෙක්. මම කියන්නේ නළුවා ගේ කාර්යභාරය තමයි ඒ මූල ධාතූන් හඳුනාගැනීම. විභූතිගේ එලිමන්ට් එක මොකක්ද? ඔහු මේ බාහිර සමාජයත් එක්ක කරන ගනුදෙනුව ඇතුළේ ඔහුගේ ප්‍රතිචාර හඳුනා ගන්න ඕනෑ. එතකොට විභූති ගේ එලිමන්ට් එකයි, ජගිරියා ගේ එලිිමන්ට් එකයි පැහැදිලිවම දෙකක්. අන්න ඒ ප්‍රතිචාරයන් හඳුනා ගන්න නළුවා සූක්ෂම විය යුතුයි.

සැමීගේ එලිමන්ට් එක ඊටත් වෙනස්?

වෙනස්. දැන් සැමී කියන්නේ,, මේ විවෘත සමාජය ඇතළේ අඩපන වෙච්ච, කිසිදු සංවේදනාවක් නොමැති චරිතයක්. හැබැයි විභූතිට ඉදිරි දැක්මක් තියනෙවා. ඔහු අවිඥානකව වුණත් ඉදිරිය ගැන තීරණ ගන්න කෙනෙක්. ඇත්තෙන්ම විභූති කියන්නේ අධි මානසික වර්ධනයක් සහිත කෙනෙක්. නමුත් සැමී කියන්නේ අඩු මානසික වර්ධනයක්. එතකොට ජගිරියා මේ ප්‍රකෘති සමාජය තුළ ගනුදෙනු කරන සාමාන්‍ය චරිතයක්. ඔය හඳුනා ගැනීම ඉතා පහසුයි නළුවකුට මේකේ ඇතුළේ තියෙන විෂයය කාරණා ටික හැදෑරුවාට පස්සේ. ඉතින් ඒ හඳුනා ගැනීමට මට, මගේ ජීවිතයේ දී ප්‍රධාන තෝතැන්නක් වුණේ වේදිකාව. ඒ පන්නරය ඒ අත්දැකීම් තමයි මේ ජීවිත හොයන්න මට බෙහෙවින්ම ඉවහල් වුණේ.

වේශ නිරූපණ ශිල්පියාටත් පෙරාතුව ඔබ ඒ චරිතවල හැඩතල, බාහිර ස්වරූපය ස්වේච්ඡාවෙන් සොයා ගන්නට උනන්දු වූ නළුවෙක්?

උදාහරණයක් හැටියට අපි මෙහෙම ගම්මු. දැන් ජගිරියා කියන්නේ චරිතය 1970 දසකයේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වූ ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයේ ඇන්තනි සී. පෙරේරා මහත්තමයා රඟපෑ චරිතය. වර්තමානයේ එය නව නිෂ්පාදනයක් හැටියට පේ‍්‍රක්ෂකයා අතරට එනකොට ඒ චරිතය රඟපාන්න මාව තෝරා ගන්නවා. එතනදි මට අභියෝග කිහිපයකට මුහුණපාන්න සිදු වෙනවා.

ඒ මොනවාද?

එකක් තමයි ඇන්තනි සී. පෙරේරා මහත්තයා රඟපෑ ඒ චරිතයට අසාධාරණයක් නොවිය යුතුයි මා තුළින්. නැවත නිෂ්පාදනයේ දී අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන තැනට මම මේ චරිතය ගෙනියන්න ඕනෑ. එතකොට එදා මේ චිත්‍රපටයේ රඟපෑවේ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුªංග සහ සේනාධීර රූපසිංහ මේ තුන්දනා ගේ ශරීර ස්වභාවය නැතිනම් පිසික් එක වෙනස්. ගාමිණීට තියෙන පෞරුෂය නෙවේ විජයට තිබුණේ. විජයගේ පෞරුෂය නෙවේ සේනාධීර රූපසිංහට තිබුණේ. ඇන්තනි සී, ඊටත් වෙනස්. මෙතනදි මම උපක්‍රමශීලී වුණා මුලින්ම මගේ බාහිර ස්වරූපය වෙනස් කර ගන්න. මොකද ඇහිපිල්ලමක් සෙලවුණත් ප්‍රේක්ෂකයා හිනාගස්වන්න පුළුවන් තැනක තමයි ඇන්තනි සී. පෙරේරා ඔහු ගේ ප්‍රතිභාව පත්කරගෙන තිබුණේ. මම උත්සාහ කළේ ඒ් ස්වරූපය වෙනස් විදිහකින් මේ චරිතයට ආරෝපණය කරගන්න.

ඒ උත්සාහය සාර්ථක වූ බව ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් පැහැදිලි වුණා?

ඔව්. ඒ ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයේ මම නිරූපණය කළ චරිතයට සමාජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. ඒක සාපේක්ෂ වුණා. ඒ කියන්නේ මම ඒ චරිතය හොඳට කළා කියපු අයත් හිටියා. එහෙම නැහැයි කියපු අයත් හිටියා. ජලය ගලාගෙන යන විදිහට ගලාගෙන යනවා අපේ රිද්මයන්. ගිනිදලු නැඟෙනවා වගේ නැඟෙනවා අපේ රිද්මයන්. දැන් මහ පොළොවට දීලා තියෙන බර වගේ රිද්මයන් අපේ ජීවිත ඇතුළේ තියෙනවා. ඊළඟට හිස් අවකාශයේ රැඳුණු රිද්මයන් පවා අපේ ජීවිත ඇතුළේ තියනෙවා. මෙන්න මේවා තමයි අපි ආපෝ, තේජෝ, වායෝ හැටියට දකින්නේ. වාතය, තෙතමනය, ජලය, ගින්දර ඕවා. නළුවෙක් සැබෑ වෘත්තිතයෙක් බවට පත් වෙන්නේ ඒ විෂයානුබද්ධ කාරණා හැදෑරීමෙන් පසුවයි. එහි මූලික අදියර තමයි මේ චරිත ලක්ෂණ හඳුනා ගැනීම.

ඔය සිද්ධාන්තය හරහාම තමයි සැමීගේ බාහිර ස්වරූපය පවා ඔබ විසින්ම නිර්මාණය කර ගන්නේ...?

යම්, යම් දේහ ලක්ෂණ හා බාහිර පෙනුමේ තිබෙන වෙනස්කම් මඟින් තමයි අපි ප්‍රධාන වශයෙන්ම අඩු මානසික වර්ධනයක් සහිත පුද්ගලයෝ හඳුනා ගන්නේ. ඊළඟට ඔවුන් බාහිර සමාජයත් එක්ක ගනුදෙනු කරන ආකාරය. දැන් අධ්‍යක්ෂපි‍්‍රයංකර විතානාච්චි මහතා දුරකථනයෙන් කතා කරලා මට මේ චරිතය ගැන විග්‍රහ කළාට පස්සේ අපි හමුවෙන්න දිනයක් යොදා ගත්තා. ඒ යනකොට මගේ මුහුණ මා විසින්ම හදාගෙන ගියා ‘මෙන්න මේ විදිහේ පෙනුමක් තියෙන පුද්ගලයෙක් තමයි ඔබ තුමා ගේ විග්‍රහයෙන් මම අවශෝෂණය කර ගත්තේ’ කියලා එතුමාට කිව්වා. ඔහු මා දිහා මොහොතක් බලා ඉඳලා ‘මේ ඉන්නේ මගේ සැමී’ කියලා කිව්වා. ඒක තමයි මම මුලින්ම ඔහුගෙන් අහපු වදන් පෙළ.

සැමීට පාවිච්චි කරපු දත් කුට්ටම ම තමයි ඔබ ‘ජගරියා’ ට සහ ‘විභූතිරත්න’ ට පාවිච්චි කළේත්?

එකම දත්කුට්ටම. මම මුලින්ම රඟපෑවේ ‘සැමීගේ කතාව’ චිත්‍රපටයේ. ඊට පස්සේ තමයි අර චරිත දෙකට දත් කුට්ටම පැලඳුවේ’

ජගත් චමිල, බාහිර ස්වරූපය වෙනස් කරගෙන චරිත ගොඩ දාගන්න උත්සාහ කරන නළුවෙක් කියලා කවුරු හරි කිව්වොත්?

නෑ. දැන් උදාහරණයක් හැටියට වසන්ත ඔබේසේකර මහත්මයා නිර්මාණය කරපු ‘අසනි වර්ෂා’ චිත්‍රපටයේ මට එවැනි අවශ්‍යතාවක් ඇති වුණේ නෑ. එහි මම නිරූපණය කළ ප්‍රදීප් ගොඩකුඹුර ගේ චරිත ලක්ෂණ ඇතුළේ එවැනි හඳුනා ගැනීමක් නෙවෙයි තිබුණේ. බාහිරින් අංග ඇතුළත් කරනවාට වඩා තියෙන අංග භාවිත කරමින් තමයි ඒ චරිතය නිරූපණය කරන්න තිබුණේ. මා තුළම තිබෙන අංගයන් භාවිත කරමින්. බාහිරව එහෙම රූපය විශාල වශයෙන් සකසා ගැනීමට අවශ්‍යතාවයක් තිබුණේ නෑ මේ චරිතයේ. අන්න ඒකයි, අපි ඒ රූපය සකසා ගත යුත්තේ අර එලිමන්ට් එකට අනුකූලවයි. එහෙම නැති වුණොත් ඒක විහිළුවක් වෙනවා.

ජාත්‍යන්තර සම්මාන දිනා ගත්තත්, කොයි තරම් ජනප්‍රිියත්වයට, ප්‍රසිද්ධියට පත් වුණත් අදත් අපි දකින්නේ එදා හිටපු ජගත් චමිලවමයි. ඇත්තටම මේක ව්‍යාජයක් හෝ ඔබේ තවත් එක් රඟපෑමක් හෝ නෙවේ?

මා භාග්‍යසම්පන්න අයකු ලෙස කවුරුන් හෝ හඳුන්වනවා නම් ඇත්තටම ඒ භාග්‍යසම්පන්න බව මට ලැබුණේ රංගන ශිල්පියකු වීම හරහා. ඇයි මම එහෙම කියන්නේ. මට ජීවිත හමු වෙන්න, මට ජීවිත හරහා යන්න අනෙක් වෘත්තිකයන්ට වඩා මේ වෘත්තිය ඇතුළේ අවකාශය සැලසුණා. ඒ කියන්නේ දුක, සතුට, වේදනාව, උස්, පහත් මේ සියලු තරාතිරම් ඇතුළේ අවසානය මොකක්ද කියන පරිණත අවබෝධය ඇති කරගන්න පුළුවන් හොඳම තෝතැන්න විදිහට තමයි මේ රංගන ක්ෂේත්‍රය මට හඳුන්වන්න පුළුවන්.

ජාත්‍යන්තරය ජය ගත් ජගත් චමිල කසිකබල්, ඒකාකාරී, කිසිම කමකට නැති ටෙලි නාට්‍යවල අපි තවමත් දකිනවා?

මට මේ සම්මානය අමෙරිකාවේ දී හම්බ වුණාට මට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මේ සමාජ ක්‍රමය ඇතුළේ. අමෙරිකාවෙ නෙවෙයි. ඒක නිසා මම ජීවත්වෙන්නේ මේ ආර්ථික ක්‍රමවේදය ඇතුළේ. මට දරුවො දෙන්නෙක් ඉන්නවා. මට බිරියක් ඉන්නවා. මගේ දරුවන් ගේ අධ්‍යාපනයට මට හොඳයි කියලා හිතෙන ස්කෝලෙකට ඒගොල්ල දාගන්න මට විශාල මුදලක් වැය කරන්න සිද්ධ වුණා. එතකොට ඒ දේවල් කරන්න මට කිසිම විදෙස් රටකින් ආධාරයක් ලැබුණේ නෑ. ඒ සියලු දේ මට කරන්න සිද්ධ වුණා මේ මගෙ වෘත්තීය ඇතුළේම ඉඳගෙන. ඒක නිසා මම ‘හොඳ’, ‘නරක’ තෝරා බේරාගෙන මේ සිස්ටම් එක ඇතුළේ කවදාවත් රඟපාන්න උත්සාහ ගන්න කෙනෙක් නෙවේ. හැබැයි මම රඟපෑ හැම චරිතයකට උපරිම සාධාරණය ඉටු කරන්න මම වගකීමකින් බැඳිලා සිටියා. ඉදිරියටත් එහෙමයි.