වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




ජේම්ස් බොන්ඩ් වෙන්නට පෙරුම් පිරූ ඩ්‍රැකි්‍යුලා

ජේම්ස් බොන්ඩ් වෙන්නට පෙරුම් පිරූ ඩ්‍රැකි්‍යුලා

1885 මැයි මාසයේ එක්තරා අඳුරු සැඳෑවක ට්‍රැන්සිල්වේනියාවේ ක්ලෝසන්බර්ග් දක්වා විහිදුණු අබලන් මාර්ගය ඔස්සේ ඉදිරියට ඇදෙන තද කළු පැහැති අශ්ව කරත්තයකි. මඟ දෙපස ඇති වන ලැහැබ අතරින් වැටී ඇති කටුක බොරලු මාර්ගය අසීරුවෙන් ගෙවා දමමින් පැමිණි අස්රිය ගමන නිමා කරන්නේ කුඩා කඳු ගැටයක් මත නැගී සිටින ‘ඩාක් කාසල්’ හෙවත් අඳුරු බලකොටුව නම් වූ සුවිසල් පැරැණි මන්දිරය අබියසදී යි.

නැවතුණු අස්රියෙන් බැස, කුඩා ගමන් බෑගයක් ද අතැතිව, මන්දිරය දෙසට පියනඟන තැනැත්තාගේ මුහුණේ දිස්වන්නේ විමසිලි සහගත පෙණුමකි. වෘත්තියෙන් මාධ්‍යවේදියකු වූ ඔහු නමින් ‘ජොනතන් හාකර්’ නම් වෙයි. ‘ඩාක් කාසල්’ හි ආධිපත්‍යය පතුරුවා සිටින අද්භූත පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමේ අරමුණෙන් පැමිණි ඔහු එම සුවිසල් මැදුරේ ආලින්දයට ඇතුළු වූ සැනින් විමතියට පත්වන්නේ ශාලාව හරහා ඔහු ඉදිරියට පැමිණෙන සුරූපී තරුණිය දැකීමෙනි.

ළය මඬලේ සිට දෙපතුල දක්වා දික් වූ සුදු පැහැ සේද ගවුමකින් ආවරණය වී තිබුණත්, අගේ සුකොමල සිරුරේ පිරිපුන් අඟ පසඟ මැනෙවින් කැපී පෙනිණි. නෙත් වසඟ කරන ශෝකා කූල බැල්මක් හෙලමින් ඔහු වෙත පිය මැන ආ ඇය හැඬුම් ස්වරයෙන් කියා සිටියේ, මන්දිරයේ හිමිකරු ඈ බලෙන් රඳවාගෙන සිටින බවත්, මේ සිර කඳවුරෙන් වහාම ඈ මුදා ගන්නා ලෙසත්ය.

ඇස් අදහාගත නොහැකිව ඇගේ දෙනෙත් දෙස බලාසිටින හාකර් වෙත ළං වෙන ඇය ඔහුව තරයේ වැලඳ ගන්නා අතර සැනෙකින් ඔහුගේ ගෙල සපා කන්නේ ඔහු කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ අයුරිනි. වේදනාවෙන් හඬ නඟමින් ඇගේ ග්‍රහණයෙන් මිදීමට වෙර දරන ඔවුන් දෙදෙනා අතරට එක්වරම පැමිණෙන්නේ ගෙල සිට පාදාන්තය දක්වා දික් වූ කාල වර්ණ ලෝගුවකින් සැරසුණු පාංශු දේහධාරී පුද්ගලයෙකි. මුවෙහි රුධිරය වැකුණු තරුණිය ඔහුගේ දසුනින් මෙල්ල වූ සෙයකි. හදිසියේ ප්‍රාදූර්භූත වූ මෙම අමුත්තා අන් කිසිවකු නොව ‘ඩාක් කාසල්’ මන්දිරයේ නිත්‍ය හිමිකරු වූ ඩ්‍රැකි්‍යුලා ආදිපාදවරයා යි.

බ්‍රෑම් ස්ටෝකර් නම් වූ අයිරිෂ් ජාතික ගත් කතුවරයා විසින් රචිත ‘ඩ්‍රැකි්‍යුලා’ නම් නව කතාව ඇසුරින් නිපදවන ලද ‘හොරර් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ නම් චිත්‍රපටය ඇරඹෙන්නේ ඒ අයුරිනි. එම නවකතාව 1931 දී ඇමෙරිකානු සමාගමක් විසින් සිනමාවට නඟන ලද අතර ‘බෙලා ලුගොසි’ නම් නළුවකු එහි ඩ්‍රැකි්‍යුලා ගේ චරිතය රඟපෑවේය. චිත්‍රපට දෙක වෙන්ව හඳුනා ගැනීමේ පහසුව තකා මෙම නව නිෂ්පාදනය ‘හොරර් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ ලෙස නම් කරන ලදී.

‘ජේම්ස් බොන්ඩ්’ නිර්මාතෘ ඉයන් ෆ්ලෙමින් ගේ ඥාති සොහොයුරා වන ක්‍රිස්ටෝපර් ලී මෙහි ප්‍රධාන චරිතය වන ඩ්‍රැකි්‍යුලා ලෙස චරිත නිරූපණය කළේය. එදා ඉයන් ෆ්ලෙමින් තම සුපිරි රහස් ඔත්තුකරුවා ගේ චරිතය ක්‍රිස්ටෝපර් ලී වෙත පැවරීමට බලවත් උත්සාහයක යෙදුනත් බොන්ඩ් නිෂ්පාදකවරු එය ප්‍රතික්‍ෂේප කරමින් නවක නළු ෂොන් කොනරි වෙත බොන්ඩ් චරිතය ලබා දීමෙන් ක්‍රිස්ටෝපර් ලී ගේ ඉරණම ලියැවුණේ වෙනස් අයුරකිනි.

බ්‍රෑම් ස්ටෝකර් ගේ ‘ඩ්‍රැකි්‍යුලා’ නවකතාව ඇසුරින් ජිම් සැන්ග්ස්ටර් විසින් තිර රචනය කරන ලද ‘හොරර් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ ටෙරන්ස් ෆිෂර් විසිනි. බ්‍රිතාන්‍යයේ හැමර් චිත්‍රපට සමාගම වෙනුවෙන් ඇන්තනි හින්ඩ්ස් එය නිෂ්පාදනය කළේය. 1957 නොවැම්බර් 17 වැනිදා බ්‍රේ ස්ට්‍රෑන්ග් චිත්‍රාගාරයේදී රූ ගත කිරීම් ඇරඹුණු චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය පවුම් 81,000 කි. සංගීතය ජේම්ස් බර්නාඩ් සැපයූ අතර කැමරාකරණය ජැක් ඇෂර් ගෙනි. එය බිල්ලෙනී ගේ සංස්කරණයකි. චිත්‍රපටය බෙදාහැරීමේ අයිතිය වෝනර් බ්‍රදර්ස් සමාගම සතුවිය.

ක්‍රිස්ටොපර් ලී ඩ්‍රැකි්‍යුලා ලෙස රඟ පෑ අතර ඔහුගේ ප්‍රතිවාදියා වන ආචාර්ය වැන් හෙල්සින්ග් ගේ චරිතය නිරූපණය කළේ පීටර් කෂීන් විසිනි. මයිකල් ගෆ් රඟපෑවේ ජොනතන් හාකර් ගේ චරිතයයි. ඔහුගේ පෙම්වතිය වූ මීනා ගේ චරිතය මෙලිසා ස්ට්‍රිබ්ලින් නිරූපණය කළාය. කැරොල් මාෂ්, ලුසී ලෙසත් ලේ පිපාසිත යකින්නක වූ ගර්ඩා ලෙස, ඔල්ගා ඩිකීත් රඟපෑමට එක් වූවාය. රූ ගත කිරීම් අතර තුර වෙස් ගැන්වීමේ ශිල්පියා විසින් ඉටි භාවිත කරමින් ක්‍රිස්ටෝපර්ගේ මුහුණට බිහිසුණු ස්වරූපයක් ආරූඩ කරන ලද නමුත් එම දර්ශන චිත්‍රපටයෙන් ඉවත් කරන ලදී. එහෙත් ඉතිරිව තිබුණු පැරැණි ජපන් පිටපතකින් උපුටා ගන්නා ලද එම දර්ශන යොදා 2012 දී නව බ්ලූ රේ පිටපතක් වෙළෙඳ පොළට නිකුත් කරන ලදී.

1958 මැයි මාසයේ තිරගත කිරීම් ආරම්භ කෙරුණු චිත්‍රපටයට ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ගලා එන්නට වූයේ භීෂණ සිනමාවේ නව රැල්ලක්ද ආරම්භ කරමිනි. ඩ්‍රැකි්‍යුලා චරිතයට කදිමට ගැළපුනු ක්‍රිස්ටෝපර් ලී ලෝ පුරා රසික ජනාදරයට පත් වූයේ එක රැයකිනි. හොලිවුඩ් නිෂ්පාදකවරු වැල නොකැඩී භීෂණ චිත්‍රපට නිපදවන්නට පටන් ගත්තේ එම ප්‍රේක්‍ෂක ප්‍රතිචාරත් සමඟිනි.

ඇතැම් නිෂ්පාදක අධ්‍යක්‍ෂවරු හොලිවුඩය දෙවනත් කරමින් ඩ්‍රැකි්‍යුලා අනුකරණ භීෂණ චිත්‍රපට, වැල නොකැඩී නිෂ්පාදනය කරද්දී ලන්ඩනයේ හැමර් චිත්‍රපට සමාගම විසින් ක්‍රිස්ටෝපර් ලී ප්‍රධාන චරිතය රඟපාන චිත්‍රපට මාලාවක් නිපදවීමේ කටයුත්තට උර දුන්නේ එය වාණිජ වශයෙන් විශාල වාසිදායක ව්‍යාපෘතියක් බව ප්‍රත්‍යක්‍ෂ වූ බැවිනි.

“මරදානේ සිනමාහලකට ඩ්‍රැකි්‍යුලා මිනී පෙට්ටියක් පැමිණි හැටි” ලබන සතියේ....