වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




එයත් දන්නව මම කවුද කියලා මමත් දන්නව ඇය කවුද කියලා

එයත් දන්නව මම කවුද කියලා මමත් දන්නව ඇය කවුද කියලා

සාරංගගේ විවාහය ළඟදීම...

සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න අතර ඇති පෙම් පලහිලව්ව ගැන දැන් බොහෝ දෙනා දන්නවා. ළඟදීම ඒ දෙන්නා එක වහළක් යටට යනවලු. ඒ සුභ කටයුත්ත සිද්ධ වෙන්නේ මේ එළඹෙන මැයි මාසයේ කියලයි අපට දැනගන්නට ලැබුණේ.

සාරංග ඇත්තද ඒ කතාව?

මැයි මාසයේ නම් නෙවෙයි. ඒත් ළඟදීම මගේ විවාහය සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්.

ඇයි තවම නිශ්චිත දින වකවානු තීරණය කොට නැද්ද? අපිට නම් ආරංචි වුණේ මැයි මාසයේදී ඔබේ විවාහය සිදු වෙනවා කියලා?

එහෙම නෙවෙයි. හැම දෙයක්ම ප්ලෑන් කරලා ඉවරයි. ඒත් දිනය මාධ්‍යයට තවමත් කියන්නේ නැහැ.

ඒ විතරක් නෙවෙයි ඔබ ඔබේ පෙම්වතිය ගැනවත් වැඩිය කියන්නේ නැහැ?

ඔව්. ඒක අපි දෙන්නා විසින් ගත් තිරණයක්. අපි දෙන්නට දෙන්නා තීරණය කළා අපේ නම් කියා ගන්නේ නැහැ කියලා.

ඒත් ඔබේ පෙම්වතිය උමාලි කියලා හැමෝම දන්නවනේ?

ඔව්. අපි දෙන්නා හැසිරෙන විදිහෙන් කතාබහ කරන විදිහෙන් අපිව දකින අයට හිතන්න ඉඩ තියනවා. එතකොට අපි දිහා බලාගෙන ඉන්න අය තීරණය කළා අප පෙම්වතුන් බවට. ඒකේ අමුතු රහක් තියෙනවා.

උමාලිව කොහොමද ඔබට මුණ ගැසුණේ?

සනත් අබේසේකරගේ සඳවත සේයා ටෙලි නාට්‍යනුයි අපි දෙන්නා මුල්වරට මුණ ගැසුණේ. ඇයයි මමයි පෙම්වතුන් විදිහටයි රඟපාන්න තිබුණේ. ඇයව මීට කලින් හමුවෙලා තිබුණේ නැහැ. නමුත් කාලයක් ඇය එක්ක වැඩ කරද්දී මෙතෙක් පහළ නොවූ අමුතු හැඟීමක් මා සිතෙහි ඇති වුණා. ඇයගේ චර්යා රටා පිළිබඳවත් මං පැහැදුණා.

ඊට පසුව?

කාලයාගේ ඇවෑමෙන් අපි නොදැනුවත්වම පෙම්වතුන් වුණා.

දෙන්නගේ සම්බන්ධයට දැන් කොච්චර කල්ද?

අවුරුදු හතක් විතර.

කොහොමද මෙච්චර කල් මේ සබඳතාව පලුදු නොකර ගෙන තියා ගත්තේ?

අවබෝධය තමයි. එයා දන්නවා මගේ රංගනය කැමරාව ඉදිරියේදී විතරයි කියලා. මාත් ඇය ගැන එහෙම තමයි හිතන්නේ.

බැන්දට පස්සේ දෙන්නගේ රංගනය සීමා වෙයිද?

කොහෙත්ම නැහැ. මේ තියෙන නිදහස තියාගෙන දෙන්නම ඉන්නවා.

මෑතකාලීනව නිළියන්ට අධ්‍යක්ෂවරුන්ගෙන් එල්ල වන බලපෑම් වැඩියි එහෙව් තත්ත්වයක් මත උමාලිව රංගනයට යවන්න බය නැද්ද?

ඇයට කවුරුන් හෝ වැඩකට කතා කරපුවාම එතැන ඉඳලා ඒ පුද්ගලයාත් එක්ක ගනුදෙනු කරන විදිහ මං දැකලා තියෙනවා. ඇය කිසිදු විදිහේ අයුතු යෝජනාවකට ඉඩ නොතියන්න කතා කරන්නේ. අනික ඇය තෝරා බේරාගෙන රඟපාන්නේ. මට ඇයව ගොඩක් විශ්වාසයි. මේ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි අනෙක් ක්ෂේත්‍රවලත් ඔය ප්‍රශ්නය තියෙනවා. ගුරුවරියන්ට ගුරුවරුන්ගෙන්, හෙදියන්ට වෛද්‍යවරුන්ගෙන් බලපෑම් තියෙනවා. ඒත් ඒවා පිටට යන්නේ නැහැ. කලාව ඇතුළේ තියෙන දේවල් ගැන මිනිස්සු ඇහැ ගහගෙන ඉන්නේ හරියට වැරැදි වෙන්නේ මෙතන විතරයි වගේ. එහෙම නෙවෙයි හැම ක්ෂේත්‍රයකම කාන්තාවන්ට බලපෑම් තියෙනවා.

මෙ දිනවල ඔබ මුතුපලස නාට්‍යහි රඟපාන්නේ සාගර ඉද්දමල්ගොඩ කියන සල්ලාල අධ්‍යක්ෂවරයකුගේ චරිතයක්. උමාලි ඒ ගැන මොකද කියන්නේ?

සාගර කියන්නේ එක චරිතයක් පමණයි. ඒ ඉන්නේ මම නෙවෙයිනේ. ඇයට ඒ ගැන වගක් නැහැ.

උමාලි මේ වන විට ජපානයේ ඉගෙනුම ලබනවා. විවාහයෙන් අනතුරුව?

ඒක තමයි. ඇය තව ටික කාලයක් යනකම් ඉගෙන ගනීවි. බැන්දයින් පස්සේ අපි එහෙයි මෙහෙයි ඉන්න හිතාගෙන ඉන්නවා.

විවාහය දවසේ අඳින්නේ මොන විදිහටද?

ඒකත් රහසක්.

උමාලියි ඔබයි කී පාරක් තරහ වෙලා ඉඳලා තියෙනවාද?

එහෙම ප්‍රමාණයක් කියන්න අමාරුයි. අනන්තවත් තරහ වෙලා ඉඳලා තියනවා.

උමාලිගේ ඔබ දකින විශේෂත්වය?

ඇය දක්ෂයි. රංගනය, ගායනය, නර්ථනය වගේ කලාවේ බොහෝ අංග ඇය ප්‍රගුණ කරලා තියෙනවා. එයා මාව ගොඩක් තේරුම් අරන් තියෙනවා. ඒත් මම එයාට තියෙන්නේ ආදරයක් ද කියලා මං තවම දන්නේ නැහැ. අපි දෙන්නා අතර තියෙන්නේ ප්‍රබල බැඳීමක්. ඒ බැඳීම ඇතුළේ ඇය සුන්දර තරුණියක්. ඒ සුන්දරකමම මට විශේෂයි.

ඇයි ඔබ උමාලිට තියෙන්නේ ආදරයක් ද කියලා මං තවම දන්නේ නැහැ කිව්වේ?

ආදරය නිර්වචනය කරන්න අමාරු නිසා.

උමාලිත් එක්ක යුග ගීයක් කරන්න අදහසක් නැද්ද?

අපි සිංදුවක් කළා. ඒකේ නම ‘හුස්ම සිඹින්නම් පෙම් පවනැල්ලේ ආදරයට ළං වෙලා’. එය ලිව්වේ සචිත උදයංග, සංගීතය සංජුල හිමාලගෙන්. ගීතයෙන් කියවෙන්නේ අපේ ආදර කතාව. එක අන්තර් ජාලයට දැම්මා. අහලා බලන්න පුළුවන් මගේ රසිකයින් හැමෝටම.