වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන දිනූ ‘28’ සියයට සියයක් ලංකාවේ

සම්මාන දිනූ ‘28’ සියයට සියයක් ලංකාවේ

දැන් DCP අපේ රටේම පුළුවන් රවීන්ද්‍ර ගුරුගේ, ප්‍රසන්න ජයකොඩි දිනිඳු ජාගොඩ අවධාරණය කරයි

වර්තමාන සමාජයේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වී තිබෙන්නේ ඩිජිටල් තාක්ෂණයයි. අද අපි කුමන දෙයක් භාවිතයට ගත්ත ද ඒ සෑම දෙයකටම වාගේ භාවිතව ඇත්තේ ද ඩිජිටල් තාක්ෂණය බව කවුරුත් දන්නා දෙයක්. ඩිජිටල් තාක්ෂණය යම් තැනකදී ඉතා සරළ සාමාන්‍ය දෙයක් වෙනවා සේම තවත් තැනකදී අතිශය සංකීරණ වු දෙයක් බවට පත් වෙයි. ලොව පෙරළිකාර හොලිවුඩය මෙන්ම අපේ අසල්වැසි බොලිවුඩය ද සිනමා ක්ෂේත්‍රයේ දැන් භාවිතයට ගෙන ඇත්තේ ද මේ ඩිජිටල් සිනමා තාක්ෂණයයි. තවමත් පටලපට භාවිත කරන සිංහල සිනමාව ද දැන් ඩිජිටල් තාක්ෂණය වෙත පිය නඟමින් සිටියි. එහි සාර්ථකම ප්‍රතිඵලය නෙළා ගත්තේ ද ලාංකේය සිනමා අභිමානය ලොවටම ප්‍රදර්ශනය කරමිනි.

ප්‍රසන්න ජයකොඩි

මෙරට ප්‍රථම වරට සම්පූර්ණයෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කළ චිත්‍රපටයක් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිනමා උළෙලේ නෙට්පැක් සම්මානයෙන් පුද ලබමින් ඒ සුවිශේෂ අවස්ථාවට තවත් වටිනාකමක් එකතු කිරීම එහි විශේෂත්වයයි. මේ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට හොඳම අවස්ථාවයි. හෙළ සිනමාවට ඩිජිටල් තාක්ෂණයේ මුලකුරු කී ඒ පෙර ගමන්කරුවන් සමඟ ඔවුන්ගෙ අත්දැකීම් බෙදා ගන්නට පැමිණි මොහොතයි මේ.

මෙරට සිනමා ක්ෂේත්‍රයට සංස්කරණයෙන් සුවිශේෂ මෙහෙවරක යෙදුණු සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ ඒ පුරෝගාමී චරිත අතර එක් අයෙක්. අපේ සිනමාවේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙන මේ කර්තව්‍යයෙහි ආරම්භය සඳහන් කරමින් මේ කතාබහ ආරම්භ කරමු.

ඔව්. ඇත්තටම මේක අපේ සිනමාවේ ලොකු ජයග්‍රහණයක්. ලෝක සිනමාව ඩිජිටල්කරණය වී ඇති අවධියක අපටත් ඒ දක්වා ගමන් කරන්නට ලැබීම ගැන ගොඩක් සතුටුයි. අද වන විට ක්ෂේත්‍රය ගැන උනන්දු සියල්ලන්ම කතාබහ කරන්නෙත් මේ ගැන. දැන් අපි පටලපට සිනමාවට සමු දිය යුතු කාලය ඇවිත්. මුළු ලෝකයම නවීන තාක්ෂණය සමඟ තරඟ කරන මොහොතක අපි ඒ හා ගැටිය යුතුයි. මෙහි දී අපි සාර්ථක වුණා. පටලපට සිනමාවේදීන් අපි අපේ සිනමා නිර්මාණවල අවසන් නිර්මාණ කටයුතු වෙනුවෙන් ඉන්දියාවට යා යුතු වෙනවා. එහි චිත්‍රාගාරවල දී තමයි අපේ නිර්මාණවල ශබ්ද සහ රූපය මිශ්‍ර කිරීමේ කටයුතු සියල්ල සිදු කෙරෙන්නේ. දැන් ඉන්දියාව පවා පටලපට ක්‍රමයට සමු දී ප්‍රසාද්, ජෙමිණි වැනි සුප්‍රසිද්ධ චිත්‍රාගාර පවා වසා දමා තිබෙනවා. ඒ හැරත් මෙරට ඩිජිටල් තාක්ෂණයට අනුව කෙරෙන නිර්මාණ වුණත් අවසාන නිර්මාණ කටයුතු වෙනුවෙන් ඉන්දියාවට රැගෙන යා යුතුව තිබුණා. නමුත් අද අපි ඒ අභියෝගය ජයග්‍රහණය කළා.

අපි ඩිජිටල් තාක්ෂණය යෙදා ගනිමින් සියයට සියයක් සම්පූර්ණයෙන්ම මෙරටදී චිත්‍රපටයක නිර්මාණ කටයුතු සිදු කළා. ඒ තමයි ප්‍රසන්න ජයකොඩිගේ 28 චිත්‍රපටය. ඒ සඳහා යොදා ගැණුනේ ඩී. සී. පී. හෙවත් ඩිජිටල් සිනමා පැකේජ් ක්‍රමයයි. ඒ වෙනුවෙන් මමත් සමඟ කටයුතු කළේ දිනිඳු ජාගොඩ. ඔහු මේ පිළිබඳව එංගලන්තයේදී හදාරා තිබෙන අයෙක්. මේ පිළිබඳ මගේ දැනීමත් දිනුඳුගේ දැනුමත් සමඟ ලෝකයේ නවීනතම උපකරණ ද යොදා ගනිමින් ලංකාව තුළදී අපි සාර්ථක නිර්මාණයක් සිදු කළා.

රවීන්ද්‍ර ගුරුගේ

දිනිඳු ජාගොඩ කියන්නේ අප කවුරුත් හොඳින් හඳුනන චරිතයක්. ඩිජිටල් තාක්ෂණයේ දැනුම සිනමාව තුළ අපූරුවට හසුරුවමින් මේ වන විට සුවිශේෂ කාර්යයක නියැළෙමින් සිටින්නේය.

දිනිඳු මම කැමැතියි ඔබෙන් දැනගන්න ඩිජිටල් සිනමාව කියන්නේ මොකක්ද කියලා?

නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් උසස් ප්‍රමිතියකින් යුතු නිර්මාණ බිහි කිරීම තමයි මෙහි දී සිදු කෙරෙන්නේ. ඇත්තටම මෙය තාක්ෂණික වශයෙක් ගැඹුරු මහා හාස්කමක් නොවෙයි. මෙහිදී ෆිල්ම් රීල් වෙනුවට ඩිජිටල් සිනමා පැකේජයක ෆයිල් කිහිපයක එනකුවක් විදිියට තමයි නිර්මාණය කෙරෙන්නේ. ඇත්තටම එය සරළව ඔබ පරිගණක දත්ත ගබඩා කරන ආකාරය වගේ කිව්වොත් නිවැරැදියි.

මෙහිදී ශබ්ද පරිපාලනය, වර්ණ සංයෝජනය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කරන්න හැකියාව ලැබෙනවා. 28 චිත්‍රපටයෙත් අපි එය අත්වින්දා. පටලපට ක්‍රමය වගේ නොවෙයි ඩිජිටල්කරණය කරන ලද කුමන ශාලාවකදී වුණත් එහි වර්ණයන් හි කිසිදු වෙනසක් දකින්නට ලැබෙන්නේ නැහැ.

අද බොහොමයක් චිත්‍රපට පිටපත්කර ව්‍යාජ අන්දමින් විකිණෙන අවස්ථාවක මෙය එයට උපකාරයක් විය හැකිද?

එවැනි දෙයක් කොහෙත්ම සිදු වන්නේ නැහැ. මෙහි ඒ වෙනුවෙන් උපරිම ආරක්ෂාවක් යෙදිය හැකි බව මම අවධාරණයෙන් කියනවා. ඒ සඳහා වෙනමම ආරක්ෂක ෆයිල් එකක් චිත්‍රපට අධ්‍යක්ෂවරයාට ලැබෙනවා. ඒ පිළිබඳ තීරණ ගැනීම තියෙන්නේ අධ්‍යක්ෂවරයා අතේ. එහිදී ලබා දෙන පාර්ස්වර්ඩ් එක අනුව තමයි චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන්නේ. උදාහරණයක් විදියට අපි හිතමු මේ මාසේ 28 වැනිදා රාත්‍රී 8.30 ට යම් චිත්‍රපටයක අවසන් දර්ශන වාරය යෙදී තියෙනවා නම් ඊට පසුව යළි තවත් දර්ශන වාරයක් වෙනුවෙන් තිරගත කරන්න අදාල සිනමා ශාලාවටවත් හැකියාව ලැබෙන්නේ නැහැ. නැවත ප්‍රදර්ශනයට අධ්‍යක්ෂවරයා මඟින් යළිත් පාර්ස්වර්ඩ් එක ගෙන්වා ගත යුතු වෙනවා. එම අවසරය අන්තර් ජාලය ඔස්සේ ලබාදීමට පුළුවන් වෙනවා. මේ ආරක්ෂාව නිසාම චිත්‍රපටයේ පිටපත් කොපි කර බෙදා හරින්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.

දිනිඳු ජාගොඩ

මේ ක්‍රමය හරහා සංරක්ෂණ කටයුතු සිදු කරන්නත් යම් ක්‍රමවේදයක් තියෙනවාද? මම ඒ පැනය යොමු කළේ රවීන්ද්‍ර ගුරුගේ හට.

ෆිල්ම් රෝල් වගේ නොවෙයි ඩිජිටල් තාක්ෂණයෙන් චිත්‍රපටයක් ලක්ෂ වාරයක් ප්‍රදර්ශනය කළත් පළුදු වෙන්නේ නැහැ. හාඩ් ඩිස්ක් එක වගේම නිර්මාණ සංරක්ෂණය කරන්නත් ඩිජිටල් ටේප් යොදා ගන්න පුළුවන්. මෙම ටේප් එකකට තිස් වසරක වගකීමක් තියෙනවා. එසේම චිත්‍රපට විතරක් නෙවෙයි මේ ක්‍රමයට ටෙලි නාට්‍ය පවා සංරක්ෂණය කරන්න පුළුවන්. එහිදී පැයක කැසට් 50 ක් එක ටේප් එකකට පැය දෙකක් වගේ කාලයක් තුළ ගබඩා කර ගන්න හැකියාව තියෙනවා.

වසර ගණනක් පුරා ක්ෂේත්‍රයේ ලද අත්දැකීම් අතර මේ නව අත්දැකීම ඔබ අත් වින්ෙඳ් කොහොමද?

පටලපට ක්‍රමය අනුව මම මේ වන විට චිත්‍රපට 81 ක් විතර සංස්කරණය කරලා තියෙනවා. ක්ෂේත්‍රයේ මොන තරම් අත්දැකීම් අනුව කටයුතු කළත් පැරැණි ක්‍රමයට අනුව චිත්‍රපටයේ සියළු කටයුතු අවසන් වෙනකල් හිතේ ගැස්මක් තියෙනවා. නමුත් ඩිජිටල් ක්‍රමයේදී එහෙම වෙන්නෙ නැහැ. අවසන් මොහොතේදී පවා වෙනස්කම් කළ හැකියි. ඒ වගේම නිර්මාණයේ සාර්ථක බව අපට ඒ වෙලාවෙදිම අත්විඳීන්න පුළුවන්.

සිනමාවේ නවීන තාක්ෂණය අත්හදා බැලූ ඒ සුවිශේෂ නිර්මාණය ‘28’. එහි අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි මීළඟට අපේ කතාබහට සම්බන්ධ වුණා.

ඩිජිටල් තාක්ෂණය මෙරට සිනමාව තවමත් ආගන්තුක දෙයක්. සිනමා නිර්මාණයක් මඟින් මෙවැනි අවධානමක් ගන්න ඔබ තීරණය කළා?

ඇත්තටම 28 චිත්‍රපටය ෂුට් එකේ පටන්ම තිබුණේ අභියෝග. රවීන්ද්‍ර ගුරුගේ පිළිබඳ තිබූ විශ්වාසය නිසාම මම එය භාර ගන්න මැලි වුණේ නැහැ. සාර්ථක යමක් මේ ඔස්සේ කළ හැකි බවට මම විශ්වාස කළා. නෙදර්ලන්තයේදී එය මනාව ඔප්පු වුණා.

අධ්‍යක්ෂවරයෙක් විදියට ඩිජිටල් තාක්ෂණයේ වෙනස ඔබ දකින්නේ කොහොමද?

මගේ කලින් චිත්‍රපටවලත් අවසාන නිර්මාණ කටයුතු සිදු කෙරුණේ ඉන්දියාවේදීයි. ඇත්තටම එහිදී අප ගත කරන කාලය සහ මුදල් ගැන සිතමින් කටයුතු කිරීමේදී නිර්මාණයට පූර්ණ වශයෙන් සාධාරණයක් ඉටු වුණා ද කියලා හිතෙන්නේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මේ නිර්මාණයේ අවසානය දුටුවාට පසුවයි. එහිදී අපි බලන්නේ ගත කරන කාලයේදී තියෙන මුදලට වැඩේ කර ගන්න. එහිදී සමහර අවස්ථාවලදී ශබ්ද වගේම වර්ණත් අපිට නොගැළපෙන අවස්ථා තියෙන්න පුළුවන්.

මෙහිදී නවීන තාක්ෂණය සහ මෙවැනි පහසුකම් තියෙන එක ඉතා වැදගත්. දිනිඳු සමඟ නිර්මාණ කටයුතු කරලා අවසන් වෙලා ගෙදර ගියාට පසුවත් දුරකථනයෙන් කතා කරලා යළි යළිත් වෙනස්කම් සිදු කළ අවස්ථා පවා තිබුණා. ඒක ලොකු පහසුවක්. මෙය සම්පූර්ණ වශයෙන් අපේ දෙයක්. ඒ ගැන සතුටුයි.

ඒ වගේම වෙනදා මෙන් සිනමාපට තොගයක් අරගෙන සිනමා උළෙලට යනවා වගේ නොවෙයි. දැන් ඩිස්ක් එක කෙළින්ම අදාල සිනමා උළෙලට යවා පාස්වර්ඩ් එක දෙන්න විතරයි ඕනෑ. ඒ විතරක් නෙවෙයි එතැනින් එහාට තවත් සිනමා උළෙලවල් සඳහා චිත්‍රපටය යවන්න අපි මහන්සි වෙන්න ඕනෑ නැහැ. නෙදර්ලන්තයෙන් පසුව 28 චිත්‍රපටය ජර්මනියේ වගේම ප්‍රංශයේත් සිනමා උළෙලවල් නියෝජනය කරන්න නියමිතයි.

ඒත් තවමත් ලංකාවේ ප්‍රදර්ශනය ප්‍රශ්නයක් නේද?

දැන් හැමෝම අහන්නේ එය තමයි. ලංකාවේ සිනමා ශාලා ඩිජිටල්කරණය වූ දවසට තමයි 28 තිරගත කරන්න වෙන්නේ.