වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




අඩ සඳක් සැඟවෙන තැනත් ඔබ

අඩ සඳක් සැඟවෙන තැනත් ඔබ

නිලාර් එන්. කාසිම්ගේ ගීතවත් හිතට එබෙමු

‘මතක ගී පොත’ට සහභාගි වන ගී පද රචක නිලාර් එන්. කාසිම් සිය මතකය හා බැඳුණු සිතුවිලි සමඟත්, සිය හදවත රැඳුණු ගී පදවැල් සමඟත් මෙවර ඔබ හමුවට පැමිණෙයි.

හාත්පස නිහඬය. ඒ නිහඬ බව බිඳිමින් හමා යන මද නල වරෙක ගත සිප ගන්නේ සුවදායක සිතුවිල්ලකට ඉඩහසර ළං කරමිනි. ඒ සුවදායී සිතුවිල්ල ක්ෂණයකින් සිඳී බිඳී ගිය තැන උපදින නැවුම් සිතුවිල්ලත් සමඟම මගේ නෙත යොමු වූයේ මා අතැති පුවත්පත වෙතටය. පිටු එකින් එක පෙරළා කියවන සිතත්, නෙතත් සොඳුරු ලිපියක් අසල නතර වෙයි. අනෙක් වර සොඳුරු වැකියක් අතර නතර වෙයි. ඒ සියල්ලන්ගේම අතරෙන් ඈත් වූ සුබ මංගලම් තීරය වෙත මගේ නෙත නතර වූයේ ඉබේමය. මම ඒ එකින් එක කියවන්නට වීමි.

ඔවුන්ගේ සිතුම් – පැතුම් අතර කාලය මුදාහල මම ඒ එකින් එක පිළිබඳ විශ්ලේෂණයක යෙදෙන්නට ද අමතක නොකළෙමි. එතැනදී කුලය යන සාධකය කෙතරම් අපගේ ජීවිතවලට බලපෑම කරන්නේ දැයි මම පුදුමයට පත්වීමි. සිය ජීවිතය තීරණාත්මක කිරීමට තරම් වරෙක එය බලවත් වන අයුරු පුදුම සහගතය. ඒ ඇසිල්ලෙන් මගේ සිතට පිවිසෙන්නේ ඔහුය. විශ්වවිද්‍යාල සමයෙහි මා සමඟ විසූ මිතුරකු වූ ඔහු කියූ කියුමක් මගේ හදවත පතුලෙහි නින්නාද වන්නට වූයේ නිතැතිනි.

‘මගේ කුලය ගැන හෙළි කරන වාසගම මම පාවිච්චි කළා නම් මම මේ ටියුෂන් ෆීල්ඩ් එකෙන් විසි වෙන්නේ එදාමයි.’

ඔහු පැවසූ අයුරු මට අද මෙන් මතකය. ඔහුගේ ඒ කියුම කොතරම් සත්‍යදැයි මට වැටහෙන්නේ දැන්ය. නූතන තාක්ෂණයේ හිණි පෙත්තට ගමන් කරමින් සිටින අපගේ චින්තනය තිබෙන්නේ කොතරම් ප්‍රාථමික ස්ථානයක ද යැයි වරෙක මගේ සිතට පිවිසෙන්නේ සියුම් ලැජ්ජාවකි. ඒ අතරෙන් මා සිතට එබෙන්නේ සුනිල් එදිරිසිංහයන් ගයන සොඳුරු ගීතයක පද කිහිපයකි.

ලෙංචිනා මගෙ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ

සුනිල් එදිරිසිංහ

රත්න ශ්‍රී විජේසිංහ

පෙත්තරේ ළඟ පැන් තොටේ
ගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී කළු වලාකුළු
චන්ද්‍රයා සේ පායනා
ලෙන්චිනා ඇති වැඩ කළා දැන්
ගෙදර යන් කළුවර වුණා

පින්වතුන් කැළ ඇන්ද සළු පිළි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලි කුණු ගිහින්
ඒ කිම් ද නොදැනේ කාරණා
සේදිලා පරිශුද්ධ වීමෙන්
යුග දෑත් නුඹ බබළනා
 

ගේය පද – රත්න ශ්‍රී විජේසිංහ

සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනය - සුනිල් එදිරිසිංහ

 

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුරතෙන් ලියැවුණු මේ ගීතය අමතන්නේ කුල භේදයෙන් බැටකන ඔවුන්ට ය. රත්න ශ්‍රී යනු ගීතයට මෙන්ම කවියට ද හපනෙකි. මේ සියලු මාධ්‍යයන්ගේ වෙනස මනා ලෙස වටහා ගෙන එහි නියැලෙන නිර්මාණකරුවකු ලෙස මම ඔහුව දකිමි. ඔහුගේ නිර්මාණවල මා දකින අනෙක් කාරණය නම් ඔහු සමහර විටෙක චිරන්තන සාහිත්‍යයේත්, සමහර විටෙක ජන සාහිත්‍යයෙත් ආභාසය ලබා ගන්නා අයුරුයි. ‘ලෙන්චිනා මගේ නංගියේ’ ගීතයෙහි දී ඔහු කුල භේදය පිළිබඳ ප්‍රශ්න කිරීමක නිරත වන අයුරු අපූරුවට විද්‍යමාන වෙයි. ලෙංචිනාලාගේ චරිතය සහිත කුලය ඉතිහාසයේ පටන්ම අවතක්සේරුවට පත් වූ අයුරු විමසන රත්න ශ්‍රීී විජේසිංහයන්, ගීතය ආරම්භ කරන්නේ අසන්නන් පුදුමයට පත් කරමිනි. ඒ ලෙංචිනාට සිය සොහොයුරියකගේ ස්ථානය හිමි කරමින් කරන ආමන්ත්‍රණයකිනි.

සමස්ත ගී පද රචනාවෙහිම දිවෙන උත්ප්‍රාසය හා විරෝධය ප්‍රබල කාරණයකි. ඔහු අපේ රටෙහි කුල භේදයේ තිබෙන්නා වූ දුර්දාන්ත ස්වභාවය ප්‍රශ්න කරමින්, සාහිත්‍ය කැරැල්ලක් නිර්මාණය කරන්නේ අපූරු ලෙසිනි. කුල භේදය වපුරන පෙළැන්තියේ තිබෙන්නා වූ කිලිකුණු කෙදිනකවත් සෝදා ඉවත් කර නොහැකි බව ගී පද රචකයා පවසන්නේ යමක් අපට සිතන්නට ඉඟි කරමිනි. මන්ද ඒ ඔවුන් කුල භේදවාදය පවත්වාගෙන යනතාක් මේ කිලිකුණු සමාජයෙන් ඉවත් නොවන බැවිනි. තැලී පොඩිවන මේ අවිහිංසක සමාජ පන්තිය හා ඔවුන්ගේ මනුෂ්‍යත්වය අප තේරුම් ගත යුතු බව ද ඔහු පවසයි. එමෙන්ම මේ ගීතයෙහි මා දකින විශේෂත්වය වන්නේ අතිශය සංයමයෙන් හා තෝරා බේරා ගත් වචන අල්පයකින් ඔහු සිය මතවාදය මතු කිරීමය.

ඔහු සිය කැරැල්ල අරඹන්නේත්, ප්‍රශ්න කිරීම සිදු කරන්නේත් ඒ ඔස්සේ ය. ඔහු එය කියන්නට අවශ්‍ය නියම ආකෘතිය හා භාෂාවක් තෝරාගෙන තිබීම මගේ අගය කිරීමට ලක් කරමි. රත්න ශ්‍රී ගීතයට සාධාරණයක් ඉටු කරන්නේ යම් සේ ද ඒ අයුරෙන්ම රෝහණ වීරසිංහ ද, සුනිල් එදිරිසිංහයන් ද තම යුතුකම ඉටු කර ඇති බව කිව යුතුමය. කුල භේදවාදය ඔස්සේ පෙන්නුම් කරන්නේ අප අතර තිබෙන්නා වූ චින්තනමය දුප්පත්කමය. එය ප්‍රශ්න කිරීම සඳහා රත්න ශ්‍රී විජේසිංහයන් තෝරා ගත්තේ ගීතය නමැති මාධ්‍යය බවත්, එය අගය කරන බවත් මම පවසන්නේ තුටු වූ සිතෙනි.

මේ මා හදවත රැඳුණු එවැනි තවත් ගීතයකි.

විශාරද නන්දා මාලිනි

මහාචාර්ය සුනිල් ආරියරත්න

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබම පමණයි – ඔබ අනන්තයි

වෙන තතත් හැඬවෙන තතත් ඔබ
මධු විතත් උතුරන තැනත් ඔබ
තෙලි තුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ

අඩ සඳක් සැඟවෙන තැනත් ඔබ
රළපෙළක් සෙලවෙන තැනක් ඔබ
සිසිලසක් දනවන තැනත් ඔබ
උණුසුමක් ගෙන එන තැනත් ඔබ
 

ගේය පද – මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනය – විශාරද නන්දා මාලිනි
 

 

කවුළුව අතරෙන් පෙනෙන අඳුර දෙසම මම බලා සිටියෙමි. මොහොතෙන් මොහොත දැඩි වන අඳුර මා දෙස බලා සිටියේ අපූරු කතාබහකට මුල පුරන්නට මෙනි. කවුළුවෙන් පෙනෙන අහසෙහි තද නිල් පැහැයට මම ප්‍රිය කරමි. ඒ අනන්ත වූ අහස දෙසම මම බලා සිටියෙමි. මගේ සිතට පිවිසියේ සුනිල් ආරියරත්නයන්ගේ පන්හිඳෙන් ලියැවුණු මේ ගීතයයි. කවුළුවෙන් මෑත් වුණු මා හාන්සි පුටුවෙහි ඉඳගත්තේ ඒ ගීතයෙහි අනෙක් පද ද සිහියට නඟමිනි. ඒ ගීතය ඇසෙන මොහොතක් මොහොතක් පාසා මගේ සිත අනන්තය වෙතට ඇදී යනු මට දැනේ. මම ඒ අනන්තයේ සිට නැවත පියවි ලොවට පිවිසෙමි. ඒ සැණෙන් නැවතත් මම අතීතය දෙසට පියමං කරමි. උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පිවිසීමට සූදානම්ව සිටි මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අයැදුම් කළෙමි. ඒ මා බෙහෙවින් ආදරය කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගෝලයකු වන්නට තිබුණු ආශාව සපුරා ගන්නටය. එය සපුරා ගන්නට තරම් මම වාසනාවන්තයකු වීමි.

ගුරුතුමන් ලියූ බොහෝ ගීතවලට මම බෙහෙවින් ඇලුම් කළෙමි. මේ ගීතය ඒ ගීත අතරෙන් මූලිකත්වය හිමි වූ ගීතයකි. ශ්‍රී ලංකාවේ ගීතය නම් විෂය ක්ෂේත්‍රය පුළුල් කළ පළමු ගීත රචකයා වන්නේ ඔහු යැයි මම විශ්වාස කරමි. ඔහු චිරන්තන, ජන සාහිත්‍යවලින් හා කට වහරෙන් පෝෂණය ලබමින් ගී පද බැඳී ගීත රචකයෙකි. ඔහුගේ ගී පදවල තිබෙන්නා වූ විශේෂත්වය මා දකින්නේ මෙලෙසිනි. ඒ ඔහු ලියූ බොහෝ ගීතවල යෙදුණු ගී පදවල අතිශය සරල යෙදුම්වල ගැබ් වූ දාර්ශනික අර්ථයයි. මේ ගීතයේ ද ඒ කාරණය අඩු වැඩි වශයෙන් මම දකිමි.

එහි මතුපිටෙන් දකින්නට තිබෙන්නේ අතිශය සරල වාං මාලාවකි. අපට එදිනෙදා දෘශ්‍යමාන වන අහස, පොළව, සයුර ආදී දේ උපමා, සංකේත ලෙස ගෙන මතුකරන ඒ අතිශය ගැඹුරු දාර්ශනික අර්ථය පිළිබඳ ඔබ යමක් සිතුවේද? ආදරයෙහි තිබෙන්නා වූ ගැඹුරු දාර්ශනික අර්ථය මේ ගීතයෙහි පළමු පද කිහිපයෙන් මතුකර දක්වනු ඇත. මුළු ගීතයෙහිම දිවෙන්නේ ඒ ගැඹුර ය. ඒ දාර්ශනික බව ය. ආදරය පිළිබඳ පවසන්නට යමෙක් කියන වචන දහස් ගණන, වචන කිහිපයකින් පැවසීමට තරම් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පෑ සමත්කම මම සැමදා අගය කරමි. එය උත්කෘෂ්ටය. මේ ගීතයෙහි සාර්ථකත්වය පසුපස ආචාර්ය රෝහණ වීරසිංහ හා විශාරද නන්දා මාලිනිය ද වෙයි. ඔවුන්ගේ පැමිණීමත් සමඟ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී පදවල අර්ථය උද්දීපනය වී ඇති වග ද කියමි.

මේ ගීතය මට ඇසෙන විටම දැනෙන යම් දෙයක් වේ ද එය මා කම්පනයට පත් කරයි. මේ නිසා නිර්මාණයකින් රසිකයාව කම්පනයට පත් කළ හැකි ද, ඒ නිර්මාණය සත්‍යය ලෙසම විශිෂ්ටය. ඒ විශිෂ්ටත්වය ‘අහස සේ ඔබ අනන්තයි’ ගීිතයෙහි ගැබ් වී ඇතැයි මම කියමි. ඒ ගීතයට මම ප්‍රිය කරමි. ආදරය කරමි.