වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




මේ පුංචි නළුවා - රොමේෂ්

මේ පුංචි නළුවා - රොමේෂ්

මේ පුංචි පුතාගේ නම කවිඳු රොමේෂ් රත්නායක. කොලොන්නාවේ ශාන්ත ජෝශප් විදුහලේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන ඔහු අම්මාවරුනේ ටෙලි සිතුවමේ සුදර්ශන බණ්ඩාරගේ පුතු හැටියට රංගනයේ යෙදුනා. ඒ විතරක් නෙවෙයි ගායනයෙන් ද හැකියාවක් විදහාලන කවිඳු දෙරණ ලිට්ස් ස්ටාර් තුළින් පසුගියදා ඉවත් වූයේ නව වැනි තරගකරුවා හැටියටයි.

කවිඳු පළමුවෙන්ම දායකත්වය සපයා ඇත්තේ දයාරත්න රටගෙදරගේ සිත නිවන කතා ටෙලි නාට්‍ය මාලාවටයි. අනතුරුව ඔහු අම්මාවරුනේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනවා. මේ සඳහා ඔහුට බොහෝ සෙයින් උදව් කරලා තියෙන්නේ චාමර සමරවික්‍රම.

මං හරි ආසයි රඟපාන්න. කවදා හරි ලොකු වුණාම හොඳ නළුවෙක් වෙනවා. දෙබස් එහෙම මට මතක තියාගන්න පුළුවන්. එතකොට මූණෙන් මාමලා මට කියන විදියට හැඟීම් දෙන්නත් පුළුවන්. ගොඩක් මාමලා නැන්දලා මං රඟපාලා ඉවර වුණාට පස්සේ මාව ඉඹලා හොඳයි කියනවා.

කවිඳුට රංගනය සඳහා පාසලෙන් ලැබෙන්නේ අපමණ සහායක්. ඒ වගේම මව ශිරානි ලිලන්ති පෙරේරා සහ එකම සහෝදරයා නිබඳව කවිඳුගේ පිටුපසින් සිටිනවා.

මට ඉස්කෝලේ යාළුවෝ ගොඩාක් ඉන්නවා. ඒගොල්ලො මගේ රඟපෑම් දැකලා සතුටු වෙනවා. ගෙදර ඉන්න කොට කාටුන් බලන්නයි මං ආස. ඉංග්‍රීසි චිත්‍රපටිත් බලනවා.

කවිඳුට මේ වන විට නාට්‍ය ගණනාවකටම ඇරැයුම ලැබිලා. අම්මා තමයි ඔහුට ලැබෙන චරිතවල හොඳ නරක බලන්නේ. ඒ වගේම ගෙදර ඉන්න කොට රංගනය ගැන පුළුවන් විදිහට උගන්වනවලු. කවිඳු සරසවිය අප ද සුබපැතුම් එක් කරනවා කවදා හෝ මෙරට දක්ෂ නළුවකු වන්න කියලා.

මේ කවිඳුගේ දුරකතන අංකයයි. 0754901467