වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




බයිස්කෝප් තිරිහන් වීම

බයිස්කෝප් තිරිහන් වීම

සිනමා ඉතිහාසයේ තුන් වැනි යුගයට පසුගිය සතියේ දේශීය සිනමාව නිළ වශයෙන් පියවර තැබුවේය. එනම් අපේ සිනමාව ඩිජිටල්කරණයට යොමු වීමය. එය පසුගිය අඟහරුවාදා රාත්‍රී අතිගරු ජනාධිපතිතුමන් මෙන්ම රවීන්ද්‍ර රන්දෙණිය,මාලිනී ෆොන්සේකා ප්‍රමුඛ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැත්වූ චාම් එහෙත් අභිමානවත් උත්සවයක දී විෂය බාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. දෛවෝපගත සිදුවීම නම් සිනමාවේ තුන් වැනි යුගයට පිවිසෙන එම ප්‍රකාශය පත් කළ විෂය භාර ඇමැතිවරයා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වීමය.

සිනමාව ඩිජිටල්කරණය වීම එහි අනාගත පැවැත්ම සඳහා අත්‍යවශය කරුණක් විය.සිනමාවේ දළ සේයා පටල පාවිච්චි කරනු ලබන අවසන් පරම්පරාව වර්තමාන සිනමා පරම්පරාවයැයි අපේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පැවසුවේ දස වසරකට එපිටය. සරසවිය පුවත්පත මේ පිළිබඳ හෙළි කරන ලද්දේ ද ඒ සමයේමය. ඒ මෙරට බොහෝ සිනමාකරුවන් මෙන්ම සිනමා බලධාරීන් සිනමාව ඩිජිටල්කරණය ගැන කතා කරන්නට කලිනි. ඩිජිටල්කරණය යනු එක්තරා ආකාරයකට ගමේ භාෂවෙන් කියනවා නම් සිය වස් හැවිරිදි සිනමාව තිරිහන් වීමකි. එසේ යාවත් නොවන කර්මාන්තයකට පැවැත්මක් නැත. එබැවින් පසුගිය 18 වැනි දා අපේ සිනමාවේ ඵෙතිහාසික දිනයක් ලෙස ඉතිහාසයේ සටහන් විය යුතුය.

ලොව මුල්ම චිත්‍රපට දැක්ම 1895

මෙරට සිනමාවේ නව විප්ලවය සරසවිය කෙතරම් වැදගත් ආකාරයෙන් හඳුනා ගත්තේ ද යත් එම පුවත එම සතියේම පළ කිරීම සඳහා පුවත්පතහි මුද්‍රණ කටයුතු නියමිත වේලාවට වඩා පසුපසට ගත්තේය. එහෙත් සරසවිය ප්‍රකාශයට පත් කරන ලේක් හවුස් ආයතනය ප්‍රමාදයකින් තොරව පුවත්පත නිසි මොහොතට පාඨකයන් අතට පත් කිරීමට කටයුතු කළ හෙයින් මුද්‍රණයේ සිදු කළ ප්‍රමාදය අපේ පාඨකයන්ට දැනුනේ නැත. සරසවිය සාමාන්‍ය සැලසුම පරිදි එම සතියේ මුද්‍රණය කළා නම් සිනමාවේ ඩිජිටල් යුගය නිල වශයෙන් ඇරඹිම පාඨකයන් කියවන්නේ අදය. එහෙත් එම ඵෙතිහාසික මොහොතේ අප ද ඇසින් දුටු සාක්ෂිකරුවන් වන බැවින් එය ප්‍රමාදයකින් තොරව පාඨක රසිකයන් අතට පත් කිරීමට වග බලා ගතිමු.

ලෝක සිනමා ඉතිහාසය පිළිබඳ වර්තමානයේ දී සමාලෝචනයක් කරන්නෙකුට එය යුග තුනකට බෙදිය හැක. එහි මුල් කොටස සිනමාවේ ආරම්භයයි.ආරම්හයේ චලන චිත්‍රය ප්‍රක්ෂේපණ ගත කරනුයේ නිහඬ රූපාවලියක් හැටියටය. එය එක් රැයක පර්යේෂණයක ප්‍රතිඵලයක් නොවේ.චලන චිත්‍රය පිළිබඳ මිනිසා ගේ පර්යේෂණය සියවස් ගණනාවක් පැරණිය. ප්‍රංශයේ ලුමයෙර් සහෝදරවරුන් විසින් පැරීසියේ ග්‍රෑන්ඩ් කැෆේ හෝටලයේ ඉන්ඩියානා ශාලාවේ දී 1895 වසරේ දෙසැම්බර් 26 වැනි දින සිය මංගල චිත්‍රපට ප්‍රදර්ශණය කර වීමත් සමග එළි දකින මුල්ම චලන චිත්‍ර දැක්ම යනු සියවස් ගණනාවක මිනිසුන්ගේ සිහිනයක් සැබෑවීමක් පමනී.

චීනයේ සෙවනැළි චිත්‍ර කලාවේ සිට යුරෝපයේ කාර්මික විප්ලවයෙන් වැඩි දියුණු වන ජීවමාන රූප කලාවේ වැඩි ගෞරවයට ප්‍රංශය හිමි කම් කියනු නොඉවසන අමෙරිකානුවෝ එහි ගෞරවය තෝමස් අල්වා එඩිසන්ට ලබා දෙන්නට කැමති වෙති. එහෙත් වර්තමාන බයිස්කෝප් යුගයේ නැතහොත් රූප සහිත විනිවිද පෙනෙන පිටපත තිරයකට ප්‍රක්ෂේපණ කිරීමේ ගෞරවය නිළ වශයෙන් හිමිව ඇත්තේ ලුමියෙර් සහෝදරවරුන්ටය.

සිනමාවේ දෙවැනි විප්ලවය උපදින්නේ 1927 වසරේ ඔක්තෝබර් 26 වැනි දිනය. ඒ වෝනර් බ්‍රදර්ස් සමාගම ද ජෑස් සිංගර් චිත්‍රපටය තිර ගත කරවීමත් සමගය.ජෑස් සිංගර් යනු ලොව මුල්ම කතානාද චිත්‍රපටය වෙයි.සිනමාවේ නිහඩ යුගය බිඳ හෙලීම තරම් එහි ඵෙතිහාසික විපර්යාසයක් සිනමා ඉතිහාසයේ එම සියවසේදී සිදු නොවුන තරම්ය. සිනමාවේ තෙවැනි විප්ලවය සිදුවනුයේ එය ඩිජිටල්කරණයට අත තැබීමෙනි.මේ අවස්ථාවන් සියල්ල චිත්‍රපට ප්‍රදර්ශණය සමග බැදෙන කාරණයක් වෙයි.සිනමාවේ ඩිජිටල්කරණය පිලිබඳ අද ලෝකය පුරා උනන්දුව අධික ව ඇති අතර 2015 වසර වන විට එයට අනුගත නොවන්නේ නම් ලොව බොහෝ සිනමා ශාලා වැසී යනු ඇත. එබැවින්ම එය 1927 වසරේ සිනමාව ශබ්දය උපයෝගී කර ගත්තා හා සමාන සිදුවීමක් ලෙස සටහන් කිරීම වටින්නකි.

ද ජෑස් සිංගර් 1927

ලෝක සිනමාව ඩිජිටල්කරණය වන්නට පටන් ගෙන දැන් වසර පහලොවකටත් වඩා පැරණිය.මුල්ම ඩිජිටල් සිනමාකරණය එළි දකිනුයේ 1998 ඔක්තෝබර් 23 වැනි දින ද ලාස්ට් බ්‍රෝඩ්කාස්ට් චිත්‍රපටය තිර ගතවීමත් සමගය. එය තිර ගත කරවන ලද්දේ අමෙරිකාවේ සිනමාහල් පහකය. රූප ගත කිරීමේ සිට බෙදා හැරීම දක්වා ඩිජිටල් තාක්ෂනය උපයෝගි කර ගත් මුල්ම අවස්ථාව ලෙස එය සළකනු ලබයි.එහෙත් ඩිජිටල් තාක්ෂණය පිළිබඳ ලොව පුරා සිනමාකරුවන්ගේ වඩාත්ම අවධානයට පත් වනුයේ ජෝර්ජ් ලූකස් විසින් ස්ටාර් වොර්ස් චිත්‍රපට මාලාවේ පැන්ටම් ඔෆ් මෙනාස් චිත්‍රපටය නිපදවා තිර ගත කරවීමත් සමගය.

ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම, ලූකස් ගේ අයි.එල්.එම් සමාගම සහ පික්සාර් සමාගම සමග කළ ඒකාබද්ධ ව්‍යාපෘතියක ප්‍රතිඵල ලෙස ස්ටාර් වෝර්ස් චිත්‍රපටය ලොස් ඇන්ජලිස් සහ නිව්යෝක් හිදී තිර ගත කරවීම ඇරඹිණ. වසර දෙදහස වන විට ඩිජිටල් සිනමාව යුරෝපයට ගෙන ආවේ ලොව මුල්ම සිනමා සමාගම්වලින් එකක් වන ප්‍රංශයේ ගෝමන්ට් සිනමා සමාගම මගින් ටෝයි ස්ටෝරි 2 චිත්‍රපටය තිරගත කරවීම හරහාය.

2002 වසර වන විට ලොව ප්‍රධානතම සිනමා සම්ගම් වන ඩිස්නි, ෆොක්ස්, පැරමවුන්ට්, සෝනි, යුනිවර්සල් සහ වෝනර් බ්‍රදර්ස් ආයතන එක්ව නව ඩිජිටල් තාක්ෂණය පිළිබඳ සංවර්ධන කටයුතු සදහා එක්ව ඩිජිටල් සිනමා ඉනීෂියේටිව් ආයතනය පිහිටුවා ගැනිණ. අනාගතයේ බිහි වන දළ සේයා පට රහිත චිත්‍රපට ප්‍රදර්ශණයේ දී උපයෝගි කර ගත යුතු තත්වයන් තීරණය කිරීම සඳහා ප්‍රමිතින් බිහි කිරීම එහි අරමුණ බැවිනි. එසේ නොවන්නට මේ වන විටත් ලොව ඇතැම් තුන්වැනි ලෝකයේ රටවල සිනමා නිෂ්පාදකවරුන් අප වැනි පේ‍්‍රක්ෂකයන්ට ඩීවීඩී පිටපත් සිනමා ශාලා මඟින් ප්‍රදර්ශනය කිරීම වලක්වා ගත නොහැකි වනු ඇත. සිනමා ඩිජිටල් තාක්ෂණටය චීනය හැඩ ගැසුණේ 2005 වසෙර්ය. රට පුරා පළාත් තිහක සිනමාහල් පහලොස් දහසක් ඒ සදහා වෙන් කළහ. ඉන්දියාව ඩිජිටල් සිනමා ව සමග අත්වැල් බැඳ ගත්තේ 2006 වසරේ දීය.ඒ මලයාලම් චිත්‍රපටයක් වන මූනමතෝරල් සමගය.

චිත්‍රපට ප්‍රදර්ශණය පැරණි චිත්‍රපට රීල වෙනුවට හාඩ් ඩිස්ක් එක්ක මගින් හෝ අන්තර්ජාලය හරහා බා ගනිමින් ප්‍රේක්ෂකයන්ට වඩා අපූරු සිනමා අත්දැකීමක් ගෙන ඒම එහි අරමුණ විය.

කෙසේ වෙතත් සිනමා ඩිජිටල්කරණය ලොව බලාපොරොත්තු වූ තරම් වේගයෙන් සිදු වූවක් නොවීය.යුරෝපයේ හෝ අමෙරිකාවේ හෝ ආසියාවේ ඩිජිටල් සිනමා තාක්ෂණය පැතිර ගිය ද ලතින් අමෙරිකාව සහ අප්‍රිකා රටවල් ඩිජිටල් සිනමාව වැළඳ ගන්නේ හෙමිහිටය.එහෙත් මේ කවරෙකුට වුව ද 2015 වන විට ඒ සඳහා අනුවර්තනය නොවුනහොත් එම රටවල සිනමා අනාගතය පිළිබඳ බරපතල සැක සංකා ඇතිවීම යුකිත් සහගත් වෙයි.

සිනමා ප්‍රදර්ශණයේ දි චිත්‍රපට රීල භාවිතයෙන් තොර වීම ලොව පුරා සිනමා නිෂ්පාදකවරුන්ට ඩොලර් බිලියන ගණනක මුදලක් ඉතුරු කර දීමකි.එහෙත් එයට සරිලන ලෙස සිනමාහල් නවීකරණය කිරීම තරමක් විශාල වියදමකි. වර්තමාන ඩිජිටල් තාක්ෂණය එක තැන පල්වන්නක් නොවේ. එය දිනපතා අලුත් වන්නකි.සිනමාහලේ තාක්ෂණය යාවත්කාලීන කළ යුත්තේ ටෙලිවිෂනයේ තාක්ෂණය සිනමාවට සාපේක්ෂව යාවත්කාලීන වන වේගය වැඩි බැවිනි. කොටින්ම මෙරට සිනමාව ඩිජිටල්කරණ ප්‍රකාශය පත් වන දවසේම වර්තමාන ඩිජිටල් සිනමා රූප ධාරිතාවය හා සමාන ටෙලිවිෂනයක් මෙරට වෙළඳ පොළට හඳුනවා දෙනු ලැබිණ.

ද ලාස්ට් බ්‍රෝඩ්කාස්ට් 1990

ඩිජිටල් සිනමාව ආරම්භයත් සමග සිනමාවේ අනණ්‍යාතාව පිළිබඳ ගැටුමක් ඇති වග ඇතැම් සිනමාවේදීන්ගේ මතයයි.අමෙරිකානු සිනමාකරු ක්වෙන්ටින් ටැරන්ටිනෝ පවසන්නේ මිලි මීටර් තිස් පහේ චිත්‍රපට නැති දිනට තමා සිනමාවෙන් ඉවත් වන බවය.

සිනමාවේ මෙකී ශුද්ධ අනන්‍යතාව අද ඊයේ ගැටලුවක් නොවේ. ඒ පිළිබඳ ගැටළුව චිත්‍රපට හඬ ගැන්වීමත් සමග මතු වූ කරුණක් විය.චාලි චැප්ලින් එදා සිනමාවේ අනන්‍යතාව කතානාද සිනමාව සමග අහිමිව යතැයි කම්පා වූයේය. කතානාද සිනමාව සමග එවකට සම්ප්‍රදායික සිනමාවේ නම් දැරූ බොහෝ දෙනාට ජීවිකා වෘත්තිය අහිමි විය.නිහඩ යුගයේ නම් දැරූ ඇතැම් නළු නිළියන්ට නිසි ලෙස දෙබස් කිව නොහැකිව අසරණ විය. මේ තත්වය වඩාත් බලපෑවේ ඉන්දියාවටය. එකල ඉන්දියාවේ සිටි ජනප්‍රිය සිනමා තාරකාවන් රැසක්ම ඇංග්ලෝ ඉන්දියානුවන් විය. ඔවුන් ඉන්දියානු මව් භාෂාවන් උච්චාරණයෙහිලා අසමතුන් වූහ. මේ ඉරණම ට හොලිවුඩ් හි ඇතැම් නළු නිළියන් ද මුහුණ දුන්හ.එමෙන්ම නිහඩ යුගයේ ඇතැම් චිත්‍රාගාර සකසා තිබුණේ ස්වභාවික ආලෝකය ලැබෙන පරිදිය. එමෙන්ම ඒ සියල්ල ට බාහිර ශබ්ද ගලා අවේය. මේ සියල්ල වෙනස් කරන්නනට අතිශය දැවැන්ත මුදලක් ආයෝජනය කළ යුතු විය.

ඉන්දියානු සිනමාව ගොඩ නැංවූ මදාන් චිත්‍රපට සමාගම නිහඩ සිනමාවෙන් කතානාද සිනමාවට පරිවර්තනය වීමේදී අතිශය ඛේදජනක ඉරණඹකට මුහුණ පෑවේය. ඔවුන්ගේ සිනමාශාලා එක සිය හැත්තෑ පහක් එකවර ශබ්ද උපකරණ සැකසීම කෙළවර වූයේ සමාගම බංකොලොත් විමෙනි. සිනමාවේ ඩිජිටල්කරණය ද එබඳු අභියෝග ඉස්මතු කරන්නකි. සිනමාවේ ඩිජිටල්කරණය කෙතරම් ද යත් ලොව මුල් පෙලේ සමාගමක් වන කොඩැක් සමාගම පසුගිය වසරේ වස්තු භංගත්වයට මුහුණ පෑවේය. ලොව බොහො පැරණි සිනමාහල් ද නව ඩිජිටල් තාක්ෂණය හමුවේ අසරණ වූහ. ඒ වෙනුවට සිනමා සංකීර්ණ ඉදි වන්නට පටන් ගත්තේ විදෙස් ආයෝජන ද සහිතවය.

එහෙත් සිනමාවේ මෙබඳු විපර්යාසයන් සිනමා ලෝලින් වන අපේ ආනන්දයට හේතු වෙයි. ඒ වඩාත් ගුණාත්මක සිනමා සිහින අපේ ඇස් ඉදිරිපිට නිර්මාණය කරන්නට දක්ෂ තරුණයන්ට එමගින් ඉඩ ලැබෙන හෙයිනි. සිනමා තාක්ෂණය වර්තමානයේ තරුණ තරුණියන් අතට පත්ව ඇත්තේ පෑන් පැන්සල් සහ කඩදාසි ගානටය. ඒ සඳහා සිනමාහල් තිරිහන් විය යතුව ඇත. නැතහොත් ලොව පුරා සිදු වන ආකාරයට හෝම් තියටර් ක්‍රම වේදයන් බහුලව පැතිර යයි. එය ඉතා පහසු පාරිභොගික භාණ්ඩයක් බවට පත් වෙයි. චිත්‍රපට නිෂ්පාදකවරුන් ගේ මෙන්ම ප්‍රදර්ශකයන් හමුවේත් ඇති අභියෝගය වන්නේ එයයි.

සිනමාව වඩා ජනතාව අතරට ගෙනයෑම සඳහා නව ඩිජිටල් තාක්ෂණය පිළිබඳ නිළ ආවරණය අපේ සිනමාවට ලැබී ඇත. එහෙත් එය ඉන් එහා ප්‍රෙක්ෂක ආකර්ෂණය කර ගැනීමේ වගකීම පැවරෙන්නේ සිනමාවේ වෘත්තිකයන්ටය. අපි එදෙස බලා සිටිමු. ලොව පුරා බිහි වන සිනමා නිර්මාණයන්ගේ ආශ්වාදය බාධාවන්ගෙන් තොරව විඳීන්නට සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට අවකාශ ඇති වග සිනමා කරුවන්ට අපි සිහිපත් කරන්නට කැමැත්තෙමු.