වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ හඬ වගේම රුවත් දැන් රසිකයන්ට හුරුයි

මගේ හඬ වගේම රුවත් දැන් රසිකයන්ට හුරුයි

‘මං හඬපු හැමදාම’ ගීතයෙන් යෞවනය හැඬ වූ මිහිඳු හේරත්

මං හඬපු හැමදාම නුඹ හිටියා සනසන්න
දුක දැනෙන මතුදාක සනසන්න නුඹ කොහිද

මිහිඳු හේරත් නම් නව පරපුරේ ගායන ශිල්පියා ගයන මේ ගීතය අද වන විට ඉතාමත් ජනප්‍රියයි. එය ස්වාධීන රූපවාහිනියේ හීන හතක් වැඩසටහනෙහි සති කිහිපයකම අංක එකට ප්‍රේක්ෂකයන් ඔසවා තැබුවේ එම ගීයේ ඇති සරලකම මෙන්ම එය වෙනුවෙන් නිර්මාණය කළ රූප රචනයේ ඇති සුන්දරත්වය නිසාම විය හැකියි. ‘සරසවිය’ කවදත් අලුත් නිර්මාණකරුවන්ට අත හිත දෙන තෝතැන්නක් හින්දා අපි මිහිඳුට එන්න කිව්වා ඔහු පිළිබඳ විස්තර මුළු රටටම කියන්න.

* ඉතින් මිහිඳු පළමුව ඔබ ගැන හඳුන්වා දීමක් කරමු?

මං කඩුගන්නාවේ. මං ගමේ හැදුණු වැඩුණු කොල්ලෙක්. පාසල් යන කාලේ ඉඳල එකම හීනය ගායකයකු වන්න. ඒක නිසාම රාගධාරී මියුසික් ඉගෙන ගත්තා. බෑන්ඩ් එකකුත් ආරම්භ කළා. අදටත් එය පවත්වාගෙන යනවා.

* එතකොට කොහොමද ‘මං හඬපු හැමදාම’ නිර්මාණය වන්නේ?

ඇත්තටම කිව්වොත් මං සෑහෙන්න කාලයක් බෑන්ඩ් එකේ කිය කියා ඉඳලා තියෙන්නේ මට ගැළපෙන ශෛලියක ගීත නෙවෙයි. රාගධාරී සංගීතයට නිර්මාණය වූ ගීතයි මට සුදුසුයි කියලා හිතාගෙන හිටියේ. ඉතිං මට හිතුණා ඒ ශෛලියටම ගීතයක් නිර්මාණය කරගන්න. මේ දවස්වල හරිම ජනප්‍රිය ගීතයක් තියනවා ‘මට ඔයා මගෙ පණ වගේ’ කියලා.

ඒක කියන්න දිලුම් සහ සමීර මට ඕනෑ වුණා. මං ආස කළ ශෛලියට ඔවුන් ලවා ගීතයක් නිර්මාණය කරගන්න දිලුම්වයි සමීරවයි හමුවුණා. මට සිංදුවක් කියන්න කිව්වා. ඔවුන් එකවරම කියා සිටියා ඔය විදිහේ ගීයක් නෙවෙයි මෙන්න මේ වගේ ගීතයක් හදමු කියලා. ‘මං හඬපු හැමදාම’ ගීයේ මෙලඩිය කිව්වා.

මට ඒ ශෛලිය නුහුරුයි. ඒත් ඒ දෙන්නා කියපු නිසා අත්හදා බලන්නත් එක්ක මං ඒක කිව්වා. මාධ්‍යයන්ටත් බාර දුන්නා. සෑහෙන්න ප්ලේ වුණා. ඒ වගේම රූප රචනාවකුත් කළා. ඒකත් චැනල්වල විකාශය කරන්නට පසුබට වුණේ නැහැ.

* මේ දිනවල ගීතයක් ජනප්‍රිය කරන්න සල්ලි විසි කරන්න ඕනෑ?

ඔව්. සල්ලි තියෙන බහුතරයක් අද ගායකයෝ වෙලා. ඒත් මට නම් ස්ටුඩියෝ ගාස්තු සහ අනෙකුත් මූලික වියදම සඳහා පමණයි වැය වුණේ. කිසිම කෙනෙකුට සල්ලි දුන්නේ නැහැ ගීතය ප්ලේ කරන්න. ඇත්තටම මේක හරි වාසනාවන්ත ගීතයක්. ඉබේම මිනිස්සු අතරට ගියේ ඒකයි.

* කවුද මේ ගීතය රචනා කළේ?

දිලුම්. සංගීතයත් ඔවුන්ගේ.

* මේ දිනවල විරහ ගීත රැල්ලක් ඇවිත් තිබෙනවා. කෙනෙකුට හිතන්න පුළුවන් මේකත් රැල්ලටම නිර්මාණය වූ ගීතයක් කියලා?

මෙතෙන්දි මේකයි වෙලා තියෙන්නේ. විරහ ගීත පමණක් නොවේ අනෙක් මාතෘකා යටතේ ගීත නිර්මාණය වෙනවා. ඒත් වැඩිපුරම ඇසෙන්නේ විරහ ගීත.

ඒ විරහව මිනිස් ජීවිතයට සමීප නිසා ප්‍රවීණ ගායකයනුත් අලුතින් ගීත කියන්න මැලි වෙලා තියෙන්නේ ඒකයි. චැනල්වලින් ඒකාකාරී ගීත ප්‍රචාරය නොකළා නම් එහෙම වෙන්නේ නැහැ.

* ඔබේ ඊළඟ ගීයත් විරහ ගීතයක්ද?

ඔව්. හැබැයි වෙනස් ආරක විරහ ගීයක් වේවි ඒක. රැල්ලට කරපු එකක් නෙවෙයි ඒක.

* ‘මං හඬපු හැමදාම’ හි රූප රචනාව ගැනත් සඳහනක් කරමු?

ඒක ෂූට් කළේ බණ්ඩාරගම. උදිත් අබේරත්න සහ තිසුරි යුවනිකා ප්‍රධාන චරිත මැව්වා. වීඩියෝ එක කරද්දී මට වැඩිපුරම ඉන්න වුණේ පිදුරු ගොඩේ. හැබැයි මට ඒක නුහුරු අත්දැකීමක් වුණේ නැැ. ගමේ ඉන්න කොට ඕනෑ තරම් පිදුරු උඩ මං ඉඳලා තියෙනවා.

එහි එක්තරා තැනක උදිතුයි තිසුරියි ඔරුවක යන දර්ශනයක් තියෙනවා. ඒ ඔරුවට කොල්ලෑවක් තිබුණේ නැහැ. කඳත් ටිකක් දිරලා. අපි වීඩියෝ හැදිල්ල තරමකට පමා කරලා ඔරුව අලුත්වැඩියා කළා.

* දැන් මිහිඳුගේ හඬයි රුවයි දෙකම රසික රසිකාවන් හඳුනනවා?

ගොඩක් සතුටක් දැනෙනවා. මං කැමැතියි මගේ සිංදුව අහලා 0772837592 අංකයෙන් මට අමතලා හොඳ නරක කියනවා නම්.

මිහිඳුගේ ගීතයේ සම්පූර්ණ පදමාලාව:

මං හඬපු හැමදාම නුඹ හිටියා සනසන්න

දුක දැනෙන මතුදාක සනසන්න නුඹ කොහෙද

හිනැහෙන්න හිතුවාම සිහි වන්නෙ ඔය මුහුණ

වාවන්න බැහැ තවම නිදි නැනෙ මුළු රැයම

 

පපු තුරුළෙ නිදියාපු ඔබ ඉන්නෙ දැන් කොහෙද

අපි දෙන්නා ගොඩ නඟපු පෙම් හීන අද නැද්ද

වෙන් වෙන්න හිතුවාට දුර ආවා වැඩි නැද්ද

හීනෙන් ඇවිත් යන්න ඔබ එන්නෙ කවදාද

 

හිත ඇතුළෙ කියාපු දුක කීවෙ නැහැ තවම

බොඳ වෙච්ච පෙම් හීන සිහි වෙන්නෙ ඇයි මෙහෙම

ළං වෙන්න හැදුවාම හැර යන්න දුක නැද්ද

ආලෙන් වෙලී ඉන්න ඔබ එන්නෙ කවදාද