වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




වෘත්තීය නිළියක් වෙන්න මං කැමැති නැහැ

වෘත්තීය නිළියක් වෙන්න මං කැමැති නැහැ

රූපාන්තරණ හරහා රිදී තිරයට ආ අලුත්ම කතා නායිකාව ෂෙලා හමුවෙමු

නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ රූපාන්තරණ චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාව හොබවන ඇය ෂෙලා නතානියෙල්. තම පළමු රංගනයේදීම පෑ දස්කම් නිසාත්, ඇගේ ආගන්තුක රුව නිසාත් මේ දිනවල ෂෙලා ජනප්‍රිය තාරකාවක් බවට පත් කරන්නට සමත් වෙලා. මේ ෂෙලා සරසවිය සමඟ එකතු වූ අපූරු මොහොත.

‘ෂෙලා’ ලංකාවේ ප්‍රේක්ෂකයන්ට වෙනස් නමක්?

ඔව්. පළමු චිත්‍රපටයෙන්ම හොඳ ප්‍රතිචාර ලැබීම ගැන මගේ හිතේ තිබෙන්නේ උතුරා පිටාර ගලන නිහතමානී සතුටක්. මම ඉපදුණේ මැද පෙරදිග. මගේ අම්මා ලංකාවේ. තාත්තා පන්ජාබ්. මම ඉගෙන ගත්තේ පිටරටවල. මගේ තාත්තා ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙක්. ඒ නිසා විවිධ රටවල අධ්‍යාපනය ලබන්නට හැකි වුණා. ‘ෂෙලා’ කියන නම ලංකාවෙ හැමෝටම ආගන්තුකයි. ඒත් මං ලංකාවට ආගන්තුක නැහැ.

ඔබ ලංකාව සමඟ සබඳතාවයක් තිබුණාද කලක සිට?

ඔව්. මගේ අම්මා නුවර කාන්තාවක්. ඒ නිසාම ලෝකේ කොහේ හිටියත් අපි චූටි කාලේ ඉඳලා නුවර පෙරහැර බලන්න එනවා. ඒක හරි ආනන්දනීය අත්දැකීමක්. පෙරහැර බලන්න ආවම අපි නෑදෑයෝ හැමෝගෙම ගෙවල්වල යනවා. මට ඒ කාලේ ඉඳලම සිංහල කතා කරන්න පුළුවන්. ඒත් ලියන්න කියවන්න බැහැ.

පිටරට දී කලාවත් එක්ක සම්බන්ධ වෙලා හිටියද?

ඇත්තටම ඉස්කෝලේ කාලෙදි ගායනයට සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම විවාද තරග, නාට්‍යවලටත් සම්බන්ධ වුණා. ඒත් පූර්ණකාලීන කලාවේ හිත යොමුවෙලා තිබුණේ නැහැ.

ඔබ කරළියට පැමිණෙන්නේ නිවේදිකාවක් විදියට?

ඔව්. සී. ටී. වී නාලිකාවේ මම චාර්ට් ෂෝ එකක් කළා. හොඳ ෆීඩ් බැක් එකක් හම්බ වුණා. මං ඒකෙන් උපරිම සතුටට පත් වුණා.

මේ වැඩසටහන හරහා ඔබේ ජීවිතය වෙනස් වෙනවා නේද ෂෙලා?

ඔව්. මේ වැඩසටහනේ සියළුම නිර්මාණ කටයුතු සිදු කළේ ඒෂාන් මොටාගෙදර. ඔහු මමත් එක්ක දැඩි ලෙස හිතවත් වුණා. ඒ හිතවත්කම අපි එක වහලක් යටට ගෙනෙන තරමට ප්‍රබල වුණා.

රූපාන්තරණ ඔබට හමු වන්නේ කොහොමද?

නාලක විතානගේ අයියා ඒෂාන් ගේ හිතවතෙක්. ඔවුන් දෙන්නම ඉගෙන ගෙන තිබුණේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. ඒ කාලේ ඉඳලම නාලක අයියා අපේ ගෙදර නිතර පැමිණියා. අනිත්‍යා චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සිදු කළේ ඒෂාන්. ඒ දිනවල අපි මුණ ගැසුණා. නමුත් නාලක අයියා එක්ක කතා කරන්න මං බයෙන් හිටියේ.

දවසක් නාලක අයියා මං ගැන ඒෂාන්ගෙන් අහලා තිබුණා චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න කැමැති ද කියලා. ඒෂාන් මගෙන් ඇහුවම පුදුමත් හිතුණා. බයත් හිතුණා. කොහොම හරි අවසානයේ චිත්‍රපටයට සම්බන්ධ වුණා.

ඔබ ක්ෂේත්‍රයට ආධුනිකයි. මේ චිත්‍රපටයේ ඔබට බොහෝ ප්‍රවීණයන් හමුවෙනවා?

ඔව්. නාලක අයියා අපට මේ චිත්‍රපටයට පෙර හොඳ පෙර පුහුණුවක් ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි තාක්ෂණික දැනුම පවා ඔහු අපට දුන්නා. ඒ හරහා මං රඟපාන ඇන්ඩ්‍රියා කියන චරිතය මගේ හොඳ මිතුරියක් වුණා. නාලක අයියා අපට හොද යාළුවෙක් වුණා. ඇත්තටම අපි චිත්‍රපටය රූගත කළේ හරිම සැහැල්ලුවෙන්.

ඒ වගේම ප්‍රවීණයන්ගෙන් ඉතාමත් හොඳ සහයෝගයක් අපට ලැබුණා. ඔවුන් අපට ජීවිතේට ලොකු පාඩම් කියා දුන්නා.

අමිල, මිලින්ද මේ දෙදෙනා සමඟ ඔබට බොහෝ ලෙස ගනුදෙනු කරන්න සිදු වෙනවා?

ඔව්’ අමිල වගේම මිලින්ද හොඳ හැකියාවන් වලින් පිරුණු තරුණයන් දෙදෙනෙක්. ඒ වගේම ඔවුන් දෙදෙනා ඒෂාන්ගේ මිතුරන්. ඒෂාන්, නාලක, මිලින්ද වගේම අමිලත් නාලන්ද විද්‍යාලයේ. මේ නිසා අපට ආගන්තුක බවක් දැනුණේ නැහැ. ඔවුන් දෙදෙනා මට දෙබස් පාඩම් කර ගන්නට ලොකු සහයෝගයක් දුන්නා. මං පිටපත සිංග්ලිෂ් ක්‍රමයට හරවා ගත්තා. ඔවුන් තමයි මේ චරිත ගොඩ නඟන්න මට උදව් කළේ.

කොහොමද ඉදිරිය?

හොඳ නිර්මාණවලට දායකවෙන්න මං කැමැතියි. ඒත් වෘත්තීමය නිළියක් වෙන්න මං කැමැති නැහැ.

ගැමි චරිතයක් ලැබුණොත් බාර ගන්නවාද?

ඔව්. මං විවිධ චරිත ලැබෙනවට ආසයි. ඕනෑම අභියෝගයක් භාර ගන්න මා සූදානම්.

පවුලේ තොරතුරු කියමු?

මමයි. ඒෂානුයි, පුංචි පුතා ජේඩ්න්. අපි හරිම සතුටින් ඉන්නවා. පුතාගේ නම ජේඩ්න් ආර්යන්. ජේඩ්න් කියලා නම තිබ්බේ මම. ආර්යන් කියලා තිබ්බේ ඒෂාන්. බලද්දී ජේඩ්න් කියන්නේ විල් ස්මිත්ගේ පුතා. ආර්යන් කියන්නේ ෂාරුක්ගේ පුතා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඉතා හොඳයි. නමුත් ඒ ප්‍රතිචාරවලින් මං ගොඩාක් දේවල් හදාගන්න උත්සාහ කරනවා.

ඊමෙල් ලිපිනය කියමුද?

[email protected]