වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




ගීතයක් නිසා සිත් තැවුලෙන්

ගීතයක් නිසා සිත් තැවුලෙන්

ප්‍රවීණ ගේය පද රචක සුනිල් සරත් පෙරේරා

මේ දවස්වල මම ඉන්නේ බොහොම සිත් තැවුලෙන්. පසුගිය දිනයක (19 වැනිදා) කුරුඳුවත්ත හෝටන් ප්ලේස්වල තිබෙන කදිරගාමර් ශාලාවේ ‘සොඳුරු මිනිසා’ කියන සංයුක්ත තැටිය එළි දැක්වුණා. අමරදේවයන් ගේ ගීත ඇතුළත් මේ සංයුක්ත තැටිය එළි දැක්වුණු මේ උළෙල නම්කර තිබුණේ ‘සොඳුරු මිනිසා’ නමින්. කොහොම නමුත් එහි දී එතුමා මා ලියූ ‘මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල්’ කියන ගීතයත් ගැයුවා. ඒ ගීතය ගයන්නට පෙර එහි සිටි නිවේදකයා කිව්ව කතාව නිසයි මගේ මේ සිත් තැවුල ඇති වුණේ. මේ ගීතය පිළිබඳ හඳුන්වා දෙමින් ඔහු පැවසුවේ මේ ගීතය රචනා කර තිබෙන්නේ මහින්ද අල්ගමයන් බවයි.

ඒ විතරක් නොවේ පසුගිය දිනෙක ඔහු මිය ගිය නිසා ඔහු වෙනුවෙන් විනාඩියක් පමණ නිශ්ශබ්දතාවකුත් පැවතුණා. මේ බව දන්න බොහෝ දෙනෙක් මුහුණෙන් මුහුණ බලා ගත්තා. මා ඇසූ විදියට මේ ගීත අඩංගු කරමින් එදින එළි දැක්වුණු සංයුක්ත තැටියෙත් තිබෙන්නේ ගී පද රචකයා ලෙස මහින්ද අල්ගමයන්ගේ නමයි. මා ලියූ ගීතයක් මා ඉදිරියේදීම අනෙකකු ගේ නමින් කියැවීම නිසා ඇති වුණු තැවුල කොතරම් ද කියා දන්නේ මා පමණයි.

‘මනකල් හදවිල් තලයේ’ ගීතය මා ලිව්වේ ළමා මණ්ඩපයේ කියැවුණු ගීත සඳහායි. පසුව එය ළමා මණ්ඩපයේ තේමා ගීතය බවටත් පත් වුණා. ගුවන් විදුලියෙන් නිකුත් වුණු ‘පෙර දිනයක’ නම් ගී තැටියටත් ඔය ගීතය ඇතුළත්. එහි නම් ගී පද රචකයා විදියට තිබෙන්නේ මගේ නමයි. මේ විදියට වැරැදි ලෙස මේ කාරණාව දිගින් දිගටම ගියොත් වැරැදි කාරණයක් ඉතිහාසගත වේවි.