වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

එලිෆන්ට් වෝක් චිත්‍රපටය ගැන විස්තරයක් කරන්න.

විමලසේන හපුතන්ත්‍රි

අත්තනගල්ල

1954 වසරේදී විලියම් ගිල්ට්‍රේ විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට පාදක වනුයේ 2 වන ලෝක සංග්‍රාම සමයේ තේ වැවීමට මෙරටට පැමිණි වතු හිමියෙක් සහ ඔහුගේ බිරිඳ පිළිබඳ කතාවයි. එහි එලිසබෙත් ටේලර්, ඇන්ඩ්‍රෘස් පීටර් හියුච් චරිත නිරූපණය කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදී රූ ගැන් වූ මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ විවියන් ලේ විසින්. එහෙත් මේ සම්මානනීය නිළිය හදිසියේ සුව කළ නොහැකි රෝගයකින් පීඩා විඳී නිසා ඒ වෙනුවට එලිසබෙත් ටේලර් යොදා ගත්තා.

නමුත් මේ සඳහා ටේලර් ලංකාවට පැමිණියේ නැහැ. ඒ වෙනුවෙන් විවියන් යොදා ගත් දර්ශන දුර රූප ලෙස යොදා ගත් අතර පසුතල මෙරට තිබියදී සමීප රූප සහිත දර්ශන සඳහා එලිසබෙත් ටේලර් යොදා රූගත කෙරුණා. රොබට් ස්චැන්ඩිෂ් රචනා කළ මෙම නවකතාව අලිපාර ලෙසින් සිංහලෙන් කියවන්නත් පුළුවන්.

ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වී තිබේද?

එච්. ඉන්ද්‍රපාල

මුංහේන

ඔව්. ඔහු ටයිටස් තොටවත්තයන්ගේ ‘රන් කහවණු’ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වුණා.

අපේ රටේ මෙන් වෙනත් රටවලත් නළු නිළියන් වෙළෙඳ ප්‍රචාරක දැන්වීම්වල පෙනී සිටිනවාද?

සුනිල් චන්ද්‍රසේකර

කොටුගොඩ

අපේ රටටත් වඩා වෙනත් රටවල නළු නිළියන් වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටිනවා වගේම අපේ රටේ නළු නිළියන් ලබනවාටත් වඩා වැඩි ආදායමකුත් ඔවුන් උපයනවා.

විජය කුමාරණතුංග සහ චිලි දේශයේදී ඝාතනයට ලක් වූ වික්ටර් හාරා ගේ රූපය එක වගේ යැයි සමහරු කියනවා. අර්ජුන් ඒක ඇත්තක්ද?

දයාරත්න

අගුණුකොලපැලැස්ස

මම වික්ටර් හාරා හැබැහින් දැක නැහැ. හැබැයි ඡායාරූපවල නම් මේ දෙදෙනා රූපයෙන් එක සමාන වගේ පේනවා. මේ ඡායාරූප දකින ඔබටත් එහෙම හිතේවි.

‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ අනෝමා ජනාදරීගේ රඟපෑම් ගැන ඔබ කුමන අදහසක් දරන්නේ ද යන්න ගැන අපට කියා දෙන්න කෝ?

මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වල

කෑගල්ල

ඇය ඒ චිත්‍රපටයේ රඟපෑවා මතකයි. ඒ වුණත් දැන් මට ඒ රඟපෑම ගැන මතකයක් නැහැ.

දැනට ආදායම් වාර්තා බිඳ හෙළූ සිංහල චිත්‍රපටය ‘සිරි පැරකුම්’ ද ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයද?

සරත් සේනාධීර

ජාඇල

සිරි පැරකුම් චිත්‍රපටය.

අරිසෙන් අහුබුදු සූරීන් ‘සංදේශය’ චිත්‍රපටයට පමණ ද ගීත රචනා කළේ. එම ගීත තවමත් ජනප්‍රියයි. සන්දේශය චිත්‍රපටයේ සංගීතය කාගේ ද?

සරත් වික්‍රමසිංහ

අතුරුගිරිය

සංදේශය චිත්‍රපටයේ සංගීතය ආර්. මුත්තුසාමි විසිනි. එහි ගී තනු සුනිල් ශාන්ත විසිනි. අරිසෙන් අහුබුදු සූරින් සංදේශය වගේම වීර පුරන් අප්පු, හඳයා, ආදර හසුන, සංඛපාලි ඇතුළු චිත්‍රපට රැසකම ගී රචනා කළා.

ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය සහ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ ලිපිනයන් සඳහන් කරන්න.

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

රවීන්ද්‍ර රන්දෙණිය, අංක 283. පරණ නුවර පාර, දළුගම,කැලණිය.

මාලිනී ෆොන්සේකා අංක 520/9,තෙවන පටුමග,සුසිලාරාම පාර.මාලඹේ.

ගාමිණී ෆොන්සේකාගේ විශිෂ්ඨ රංගනය ඇතුළත් වන්නේ චණ්ඩියා, පරසතු මල්, නිධානය යන චිත්‍රපටවල යැයි මගේ හැඟීම වුණත් ඔහු රඟපෑ වානිජ චිත්‍රපට වුව ද අගය කළ යුතුයි නේද?

අමිල දුෂ්‍යන්ත නාරංගොඩ

පානදුර

ගාමිණී රඟපෑ හැම චිත්‍රපටයකම තමන්ගේ චරිත ඉතා විශිෂ්ඨ අයුරින් නිරූපණය කර තිබුණා. ඒ නිසා හොඳ චිත්‍රපටවල වගේම අන්තිම කබල් චිත්‍රපටවලත් ඔහුගේ රංගනය අගය කළ හැකියි.