වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




මහැඳුරු එදිරිවීර සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර නාට්‍ය උළෙල

මහැඳුරු එදිරිවීර සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර නාට්‍ය උළෙල

සංස්කෘතික හා කලා කටයුතු දෙපාර්තමේන්තුව ‘ඉන්ටර් ඇක්ට් ආර්ට්’ ආයතනය සමඟ එකතු වී තෙවන වතාවට සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල මෙවර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් ‘මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර අනුස්මරණ කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල’ ලෙස නම් කරයි.

එහිදී එමඟින් පිරිනමන උළෙලේ විශේෂ වාර්ෂික සම්මානය මහාචාර්ය සරච්චන්ද්‍රයන් වෙනුවෙන් මාර්ත 27 දින එනම් අද ගල්කිස්ස මහ හෝටලයේදී උත්සවයේ සමාරම්භක මොහොතේදී ලලිතා සරච්චන්ද්‍ර මැතිනියට ප්‍රදානය කෙරෙනු ඇත.

මෙම උළෙල පැවැත්වෙන හෙට දිනයේ සවස 5.30 – රාත්‍රී 8 දක්වා කාලය අතරතුරදී කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේදී සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සැමරුම පැවැත්වීමට නියමිතය.

 ‘නෙල්සන් මැන්ඩෙලා’ වේදිකාවට එයි

සුප්‍රකට ජන නායකයකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය වේදිකාවට ගෙන ඒමට සිසිල් ගුණසේකර මේ දිනවල සූදානම් වෙයි. ඒ ‘මම නිදහසේ උපන්නෙමි 64446 මැන්ඩෙලා’ නම් වූ වේදිකා නාට්‍ය සමඟිනි. එය මැන්ඩෙලාගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථාන අළලා නිර්මාණය වනු ඇත.

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සිසිල් මේ වන විට එම නාට්‍ය හි ශිල්පීන් තෝරමින් සිටියි. ප්‍රවීණ සහ නවක ශිල්පීන් පනහකට අධික ප්‍රමාණයක් එහි රංගනයට යොදා ගන්නා බව සිසිල් පවසා සිටියි. මේ වන විට නාට්‍ය කලාවේ වසර තිස් පහකට අධික කාලයක් රැඳී සිටි සිසිල්, රැලිය, රැල්ල, ඔටුනු ආදී නාට්‍ය මීට ප්‍රථම නිර්මාණය කොට තිබේ.

සැමීගේ කතාව හෙට සිට ඔබ හමුවට...

ප්‍රියංකර විතානාච්චි අධ්‍යක්ෂණය කළ සැමීගේ කතාව සිනමාපටය හෙට සිට රීගල් ප්‍රමුඛ රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වීමට නියමිතය. අමෙරිකාවේ නිව්යෝක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නළුවා ලෙස ජගත් චමිල සම්මානයට පාත්‍ර වූ මෙය කපිතාන් එල්මෝ ජයවර්ධනගේ සෑම්ස් ස්ටෝරි නම් සම්මානනීය නවකතාව ඇසුරෙන් නිර්මාණය වී තිබේ.

සනත් ගුණතිලක, මැණික් කුරුකුලසූරිය, නිල්මිණි බුවනෙක, වික්ටර් රාමනායක, කුසුම් පෙරේරා, වතික රවිනාත්, තෙසාරා ජයවර්ධන, විල්මන් සිරිමාන්න, විනී වෙත්තසිංහ ඇතුළු පිරිස මෙයට රංගනයෙන් දායක වී තිබේ.

සහාය නිෂ්පාදනයෙන් සහ සහාය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රිය ද, සරත් විජේසේකර නිෂ්පාදන කළමනාකරණයෙන් ද, රුවන් කොස්තා කැමරාකරණයෙන් ද, වෙළේගෙදර රණසිංහ කලා අධ්‍යක්ෂණයෙන් ද, හේමන්ත ගමගේ අංග රචනයෙන් ද සැමීගේ කතාව සඳහා එකතු වී තිබේ.

බර්ටි ගුණතිලක ‘ආලකමන්දාව’ට

බර්ටි ගුණතිලක කියන්නේ කවුද කියලා අමුතුවෙන් සඳහන් කරන්න ඕන නැහැනේ. හාස්‍යෝත්පාදක රංගනයෙන් බාල, මහලු කොයි කවුරුත් කුල්මත් කළ ඔහු මේ දිනවල රත්නපුරයට වී විවේකීව සිය සැඳෑ සමය ගත කරනවා. බර්ටිගේ නිවස මේ දිනවල ටිකක් කාර්යබහුලලු. බොහොම කාලයකට පස්සේ බර්ටිගේ රුව කැමරාවට නතු වෙනවා. ඒ ජාතික රූපවාහිනියේ ආලකමන්දාව නිසා. විනීතා කරුණාරත්නගේ අධ්‍යක්ෂණයෙන් යුතු එමඟින් මේ දිනවල රූගත කරන්නේ බර්ටි පිළිබඳ වැඩසටහන. මේ හේතුව හින්දම බර්ටි සිටින්නෙත් හරිම සතුටින්. ළඟදීම එම වැඩසටහන ජාතික නාලිකාවෙන් දිග හැරේවි.

ආලකමන්දාව හි කැමරාව ජනිත් සුසෙව්හේවා විසින් මෙහෙය වනවා. කුමාර සිරිවර්ධන තිර රචනයෙන් ද, කිංස්ලි විජේසුන්දර සම්බන්ධීකරණයෙන් ද, පද්මසිරි ගුණතිලක පටිගත කිරීමෙන් ද, විජිත් කුමාර ආලෝකකරණයෙන් ද, චන්ද්‍රසිරි රාජපක්ෂ අංග රචනයෙන් ද, රංජිත් වලිසුන්දර සංස්කරණයෙන් ද, පාලිත සමරසිංහ නිෂ්පාදන සේවා සහයෙන් ද ආලකමන්දාවට එක්වනවා. චන්දන පීරිස් සහ අනුෂිකා දෙහිපිටිය නිෂ්පාදන සහායෙන් ද, තිලක් කුමාර විවිධ සහයෙන්ද දායක වී තිබෙනවා.

ආලකමන්දාව පසුබිම් කථනය ක්‍රිෂාන්ත දයානන්දගෙනි.