වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




පිටකොටුවේ බහින්නේ මොකටද?

පිටකොටුවේ බහින්නේ මොකටද?

මම ටිකට් ගත්තේ කොළඹට

මං මගේ පොල්පිති වස්සව වැටේ බැඳලා දානවා. ඒ වැට මාර පොලු අස්සෙන්ම මං බෙල්ල අඩි පාරට දාගෙන උදෙන්ම මං මේ මඟ බලන් ඉන්නෙම අමුත්තො දෙන්නෙකුගෙන් තෑගි ලැබෙන කල්. එයින් කෙනෙක් භික්ෂුවක්. අනෙක් එක්කෙනා ගුරුවරියක්. එයාලත් හැමදාම අපේ වැට ළඟ නැවතිලා, මට ටොෆියකින් හරි තෑග්ගක් දීල යනවා.

දැන හඳුනගන්න ඕනෑ නැහැලු. බාල සන්දියේ ඉඳන්ම මං එහෙමලු. ඕනෑම කෙනෙක් එක්කල කතාබහ කරනවලු. සමහරදාට මං අඟුරු කැට හප හප දත් මැද මැද ඒ විදියට බලා ඉන්නෙත් ඉනට ලොකු වැඩි ජංගි කොටෙත් උස්ස උස්සසම තමයිලු. ඔය අපි උඩවලවේ පදිංචි වෙලා හිටිය කාලේ. ඊට පස්සේ අපි පදිංචියට අගුණුකොළපැලැස්සට යනවා.

ගෙදර මං විතරක් නෙවෙයි. මට තව අයියෙකුයි මල්ලිියෙකුත් ඉන්නවා. ඒ කවුරු හිටියත් මගේ විදිය අපේ අම්මට තවම හොඳට මතකයි. හ්ම් සද්දෙකින්වත් ගෙදරට වදයක් නැති ළමය මං. ඒත් එහෙම හොඳට ඉන්න නම් අම්මලා මාවත් ඒ විදියට තියාගන්නම ඕනෑ. ඒ මෙහෙමයි. කිරි බෝතල එකක් මට මදි. දෙකක්ම මට ඕනෑ. මං ගුඩු ගුඩු ගාලා ඉස් ඉස්සෙල්ලම පොවන කිරි බෝතලේට වග කියනවා. ඒ ඉක්මනටම අනෙක් කිරි බෝතලේ සූප්පුවත් මගේ කටේ නොතිබ්බොතින් නම් විනාශයි. එහෙම නොකළාම මං මුළු ගෙදරම දෙවනත් කරනවා. ඇ¼ඩිල්ල නවත්තන්නේ දෙවැනි කිරි බෝතලේ සූප්පුවත් මගේ කටේ එබුවහම තමයි. ඉතින් එතැනින් පස්සේ මගේ සැර වැර ඔක්කෝම ඉවරයි. මට පොල්පිති කෑල්ලක් දුන්නත් මං ඒකත් එක්ක සෙල්ලම් කරනවා. ඒ මිසෙක කාටවත්ම මගෙන් නම් නෙවෙයි කරදරයක් වෙන්නේ.

මං පොඩියි කියලා ඒ කාලෙදි මට රතිඤ්ඤ පත්තු කරන්න දෙන්නෑ. අයියා එතකොට ටිකක් ලොකුයි. ඉතින් ගෙදරින් රතිඤ්ඤ ගෙනැවිත් දෙන්නෙත් අයියටම විතරයි. මටත් රතිඤඤ පත්තුª කරන්න ආස හිතුනා. අයියට ගෙනාව රතිඤ්ඤ නම් ගෙදර මුල්ලක හංගල තියෙනවා මං දැක්කා. ඒත් කවුද මට ගිනි පෙනෙල්ලක් දෙන්නේ. ලිබ්බොක්කට අත පොවන්න තරම් මං උසත් නැහැ. ඒත් මං නෙවෙයි වැඩේ අතෑරියේ. රතිඤ්ඤ පෙට්ටිය පිටින්ම මං අතට ගත්තා. අම්මත් හිටියේ පිළිකන්න පැත්තේ වැඩක. ගින්දරයි රතිඤ්ඤයි දෙකම කිට්ටු කෙරුවම ඩෝං පටෝං ගාල පත්තු වෙයි කියලයි මං හිතුවේ. අත අහකට ගන්නව විතරයි මතක. ගමම ඇවිදින් අපේ වැට මායිමේ වට වෙලා බලා ඉඳීද්දියි තෝන්තු ගතිය මඟෑරිලා මට කල්පනාවක් ආවේ. බැලින් නම් රතිඤ්ඤා ටික ඔක්කොම පත්තු වෙලා. ඒ වෙලාවේ අම්මා ලිපේ තිබ්බ බත් මුට්ටියත් පෙරළිලා. කොටින්ම කිව්වොත් වැඩේ අලවෙලා. ඒකෙ පාඩුවත් මටමයි. ඇයි අම්ම තව බත් මුට්ටියක් තම්බන කල් බලා ඉන්න වුණානේ. ඒ විතරක් නෙවෙයි, අම්මගෙන් බැණුම්. අයියලාගෙන් ටොකු කාල ඉවර වුණාම අප්පච්චිගෙන් වේවැල් කසායකුත් ලැබුණෙත් මටමයි.

මේ මගේ ගමේ ජීවිතේ. ගම ඇහැව්වාම ඒ කාලේ මට කියන්න ගම් දෙකක් තිබුණා. ඉතින් එයින් මොකක් කිව්වත් අවුලක් වුණේ නැහැ. ඒකට හේතුව ගම් දෙකක් වෙන්කරන මායිමක් අද්දරට වෙන්න අපේ ගෙදර තිබුණු හින්දයි. අඟුණුකොළ පැලැස්සේ එරමිණියායත්, කට්ටකඩුවත් කියන ගම් වෙන් වුණු තැන තමයි අපි හිටියේ.

ඉස්කෝලේ බාලදක්ෂ කණ්ඩායමෙත් මං හිටියා. අපි නාට්‍ය වැඩමුළුවක් කරන්න හිතුවා. ඒකට කොළඹින් මහත්තයකුටත් ආරාධනා කෙරුව. එදා ඒ මහත්තයා එනවයි කියපු දවස. බස්සෙකෙන් එනව කිව්ව ඒ මහත්තයව එක්කරන් එන්න බාර වුණේ මට. මං කියපු වෙලාවට ගමේ බස් හෝල්ට් එකට ගිහින් මඟ බලන් හිටියා. එතකොටත් එච්චර උස මහත නැති මල්ලක් කරේ එල්ල ගත්ත කෙනෙක් මගෙන් ටිකක් එහාට වෙන්න හිටියා. ඒත් එයා කොළඹ රටේ ලොකු මහත්තරුයි කියල මං හිතාගෙන හිටිය ටයි කෝට් මහත්තරු වගේ නෙවෙයි. පැයක් හමාරක් ගත වුණා. කොළඹ මහත්තයා ඒත් ආවෙම නැහැ.

ටික වෙලාවකින් මට ටිකක් එහායින් හිටිය මනුස්සයාම මගේ ළඟට ඇවිදින් කතා කළා. ‘මට නාට්‍ය වැඩමුළුවකට ආරාධනා කරලා තියනවා. ඒත් තවම කවුරුවත් මාව එක්කරගෙන යන්න ඇවිත් නැහැ වගේ දරුවෝ’ කියල කිව්වාමයි මට දෙලෝ රත්වුණේ.

එදා කොළඹින් ඇවිදින් තිබුණේ වෙනින් කවුරුවත් නෙවෙයි ගාමිණී හත්තෙටුවේගම. එතුමාගේ මඟ පෙන්වීමෙන් අපි ගමේ අපේම නාට්‍ය කණ්ඩායමක් හැදුවා. එතැනින් ඇරැඹූ ගමනට අපිට ජාතික තරුණ සේවා සභාවෙන් අත හිත ලැබුණා.

මං මගේම නාට්‍යයක් කරන්න හිතුවා. ඒකට සැත්කම කියලා නම දුන්නා. දුෂ්කරතා ඉහටත් උඩින් තිබුණත් ඒව කිසිවක්ම ගණන් නොගෙන මං ඒ නාට්‍යය කෙරුවා. රිහසල් කරන අතරතුරදීම නාට්‍යය පෙන්වන්න සුළු මුදලකට ටිකට් අච්චු ගස්වලා විකුණුවා. දවසක් හවස අපි රිහසල් කර කර හිටියා. එතැනට මෝටර් බයික් එකකික් ආව ප්‍රාදේශීය සභාවේ කෙනෙක් මේ නාට්‍යය කරන මට කතා කළා. ‘ඔයා කොහොමද මේ විදියට ටිකට් අච්චු ගහන්නේ. කෝ විනෝද බද්ද ගෙව්වද? ඔයා කරන්නේ වැඩේ නීති විරෝධී විදියටයි කිව්වා. හත්වලාමේ දහදුක් විඳගෙන මං කරන නාට්‍යයට විනෝද බදු තියා සිසිල් බීම බෝතලයක් පුහුණු වෙන අයට ගෙනැත් දෙන්න විදියක් නැතිවයි මං හිටියේ.

ං මේ බදු පලහිලව්වට විසඳුමක් හෙව්වා. ඒකට උපදෙසක් ගන්න බලාගෙන කොළඹ ආවෙ මංගල සේනානායක මහත්තයව මුණ ගැහෙන්න. ඒත් කොළඹ රට එතකොට මට හුරුපුරුදු නැහැ. ඊට කලින් කොළඹ ඇවිදින් තිබුණෙත් දෙවතාවක් පුංචිම කාලෙදි විතරයි.

ඇඹිලිපිටි පැත්තෙන් ළඟ වුණත් ඒ බවක් නොදැන ලොකු රවුමකින් කොළඹ එනවා. එහෙම ඇවිදින් පිටකොටුව බැහැගන්න බැහැගන්න කියලා කොන්දොස්තර කෑ මොර දුන්නා. මං බස්සෙක් වගෙ හිටි තැනම ගල් ගැහිලා වගේ හිටියා. මට බහින්න ඕනෑ වුණේ කොළඹ මිසක පිටකොටුවෙන් නෙවෙයිනේ. ඒ පාර කොන්දොස්තර සැර දැම්මා. මං කිව්ව මාව කොළඹින් බස්සන්න කියලා. හැමෝම පිටකොටුවෙන් තමයි කොළඹට බහින්නේ කියලා එයා කිව්වෙ එතකොටයි. මං කොළඹින් මීපෙ ගියෙත් ඒ වගේම වට වන්දනාවකින් පස්සේ තමයි. අන්තිමේදී මංගල මහත්තයා හමු වුණා. ඒ කියපු බද්ද ඉවත් කළ බව මට මංගල මහත්තයගෙන් දැනගන්න ලැබුණා. ඒක දැනගෙන මං ආයෙමත් ගමේ එන්න හැරුණේ හරියට කොළඹ ඇවිත් ලොකු ලොකු දේවල් ඉගෙන ගත්ත ලොක්කෙක් වගේ. ඒත් එක්කම මට ලොකු අධිෂ්ඨානයක් ඇති වුණා. ඇයි මට එක එක්කෙනා ගෙම්බර් දැම්මේ මං දන්නැති හින්දනේ. මං කොළඹට ඇවිදින් ගෙන්දගම් පොළොවෙන්ම ගමන පටන් ගන්නවයි කියලා හිතුවා.

සුසන්ත ලියනගේ මගේ මිත්‍රයත් එක්කල මං කොළඹ එන්නේ ඇඳුම් කැඩුම් ටිකක් විතරක් මල්ලක පුරෝගෙන. කඩවත එයාලගේ ඥාති ගෙදරක නවතින්න හිතුවත් පස්සේ අපි ඒ අදහස අතහැරියා. කොළඹ අතරමං වෙච්ච උදවිය වගේ මුලින් හිටියත් ඊළඟට මහරගම තරුණ සේවා සභාව නිසා ජීවිතේට වැටිච්ච එළියෙන් ඉදිරි මඟ පාදා ගත්තා. ඒත් ඒ කාලෙදිත් හරියට ඉන්න හිටින්න තැනක් තිබුණේ නැහැ. මහරගම යාළුවන්ගේ බෝඩිම්වල එක එක දවස්වලට ඒවයේ කට්ටිය අඩුවෙන් තැනක් බලලා වැටිලා හිටියා. එහෙම නැති වුණෝතින් සමහර දාට හොරෙන්ම නිදාගන්න වුණෙත් තරුණ සේවා සභාවෙමයි.

මට නාට්‍ය කාලව දුරදිග ඉගෙන ගන්නත් තරුණ සේවා සභාවෙන්ම ඉඩ ලැබුණා. කල්යද්දී ම¼ගුල් කෑම වේදිකා නාට්‍ය කළ මංගල සේනානායකගේ ගෙදරක නවාතැන් ලැබුණා ඊට පස්සෙදි මං මැක්බත්, මුහුදු ලිහිණියා වගේ නිර්මාණවලට එකතු වුණා.

මං මගේ කුලුඳුල් නාට්‍යයට ‘බොට හොඳ නම් මට මොකෝ’ කියලා නම තිබ්බා. ඒ නාට්‍යයම මං ජ’පුර සරසවියේ වේදිකාවෙන් මහ පොළොවට නමින් පැවැත්වුණ මුල්ම වේදිකා නාට්‍ය උළෙලට ඉදිරිපත් කෙරුවා. මං ඒ නාට්‍යය කළේත් තවත් වේදිකා නාට්‍යයක වේදිකා පරිපාලන කටයුත්ත බාරව ඉඳිද්දියි. එයින් ලැබුණු මුදලත් වැය කළේ මේ නාට්‍යයට. ඒ නාට්‍යයට තිබුණේ චරිත දෙකයි. ඒ දෙක කළෙත් මගේ යාළුවයි මමයි. පිටපත, නිෂ්පාදනය, තාක්ෂණ ශිල්පීන් ඒ හැමෝම ඉතින් අපි දෙන්නම තමයි.

අපි අපේ නාට්‍යයේ පිටපත ලිව්වෙත් අපි නැවතිලා හිටිය කුලී කාමරේ තිබිච්ච බඩු මුට්ටු ටිකට හරි යන විදියටයි. කාමරේ තිබිච්ච ගෝනි පඩංගුව පවා අපේ නාට්‍යයට වුවමනා දෙයක් වුණා. එදා කැම්පස් එකේ නාට්‍ය උළෙල දවස. අපි දෙන්නා අතේ තිබිච්ච රුපියල් දෙසිය පනහෙන් අපි ත්‍රීවිලර් එකක් කුලියට ගත්තා. ඒකට බොඩිමේ තිබිච්ච ලට්ට ලොට්ට ටිකත් පැටෙව්වා. ඒව තමයි අපේ වේදිකා පසුතලවලට එහෙම ගත්තේ. ඔය විදියට පෙන්නුව අපේ නාට්‍යයට සම්මාන කීපයක්ම ලැබුණාම අපිට ලොකු සතුටක් දැනුණා. ප්‍රේක්ෂක ආකර්ෂණයේ වැඩිපුරම තිබිච්ච ප්‍රේක්ෂක සම්මානය අපිට ලැබිම අපේ මහන්සියට ලොකුම වටිනාකමක් ගෙනාවා.

ටෙලි නාට්‍යවල රංගයටත් ඔහොම කාලයක් ගත වෙද්දී මට අවස්ථාව ලැබුණා. මං රජ කඩුව ප්‍රෝගෑම් එකට ගිය කාලේ දවසක් රෑ වැඩ ඉවර වෙලා ආවේ කුමාර තිරිමාදුරත් එක්කයි. තිරිමාදුර අතරමඟ ටවුමකදී අපි ගිය වාහනේ නැවැත්තුවා. මල්ලි මං බැංකු කාඩ් එකෙන් සුටුස් ගාලා හතළිස් දාහක් ගේන්නම් කියලා තමයි එයා බැස්සේ. ඒත් හුඟ වෙලාවක් යනතුරුම තිරිමාදුර ආවේ නැහැ. පස්සේ වාහනෙන් බැහැලා එයාව හොයන්න ගියේ මං. මං යද්දී තිරිමාදුර ඒටීඑම් මැෂිම ළඟට වෙලා කල්පනා කරනවා. මං මොකද ඇහුවා.

‘නෑ මල්ලී වෙනදට ට්රූ . . . ගාලා එන සල්ලි එන්නේ අද ටැස් ගෑව විතරයි. ආවේ ඉල්ලුව සල්ලිවලින් පොඩ්ඩයිනේ. ඒකයි මේ කල්පනා කරන්නේ කිව්වා. මං නිකමට එයා අතේ තිබිච්ච නෝට්ටු දිහා බැලුවා. මටත් වැඩේ තේරුණේ එතකොටයි. මොකද දන්නවද වෙලා තිබුණේ. ඒ තමයි පන්දාහෙ නෝට්ටු හඳුන්වලා දීපු කාලෙ. ඉතින් පන්දාහේ කොළවලින් තමයි තිරිමාදුරට සල්ලි ලැබිලා තියෙන්නේ. නෝට්ටු ගාණ වෙනදට වඩා අඩු තමයි. ඒත් ඉල්ලුම් කළ ගාණ නම් හරියට හරි.

දේදුනු පාලම ලොකේෂන් එකේ මුහුණ දුන්න අත්දැකීමක් නම් එච්චර සුන්දර නෑ. ෂූටින් තිබුණේ කඩුගන්නාවේ. එහේ මහ ගල ඇතුළට උස ට්‍රේල් බයික් හයකින් ජෝඩු ජෝඩු විදියට හූ කියාගෙන කෑ ගහගෙන යන්නයි අපට තිබුණේ. මට ලැබිච්ච ටිකක් පරණ පහේ බයික් එකේ ගියර් සෙට් වෙන්නේ අඩුවෙන් වගේ කියලා මට තේරුණා. මාත් එක්කල බයික් එකේ හිටිය ගෑනු ළමයට බිමට කකුල් තියාගන්නත් බැරි තරමට බයික් එක උසයි. ඒත් කොහොම හරි මුල් වතාවට ඒ රඟපෑම හොඳට කෙරුණා. පස්සේ තවත් ඒ වගේ එකක් ෂූට් කරගන්නයි එයාලට වුවමනා වුණේ. දෙවැනි වතාවෙදි එතැන මහ පාරෙ වාහන නවතත්වන්න හිටිය මල්ලිත් ෂූටින් බලන්න ඇවිත්. ඉතින් වාහන නවත්වන්න කෙනෙක් ඉඳල නැහැ. මේ පමාවෙන් වෑන් එකක් ඉදිරියට එනවා. ඒ බවක් නොදැන මමත් පුළුවන් තරම් රේස් කරගෙන ෂූට් එකට ඕනෑ විදියට ඉස්සරහට එනවා.

වෑන් එක දැක්කම බය හිතුණත් මං එවෙලේ කරන්න තියෙන හොඳම දේ බැලුවා. එක පැත්තකින් පාතාලය. තවත් පැත්තකින් කැමරා කරනවා. අනිත් පැත්තෙන් වෑන් එක. මං කැමරාව පැත්තට පොඩ්ඩක් වෙන්න බර කරගෙන යන්තම් ඒ මරු කපොල්ලෙන් පැන්නා.

නංගි ඔයාට කරදරයක් එහෙම නෑ නේද? කියලා මං බයික් එකේ හිටිය ගෑනු ළමයගෙන් ඇහැව්වා. නෑ, ඒත් දණහිසේ නම් කැක්කුමක් තියෙනවා කියලා කිව්වා. මට ඒක අදහගන්නම බැරි වුණා. ඒත් නිකමට කැමරාව පැත්ත බලද්දියි මට ඇත්ත තේරුණේ. එතකොට කැමරව උඩ. කැමරාමන් කැමරාව යට වැටිල හිටියා. නංගිගේ කකුල වැදිලා තියෙන්නේ කැමරාවේ. එතකොට බැලන්ස් නැතිව කැමරමන් වැටිලා. ඒත් කැමරමන් කිසිම හානියක් වෙන්න නොදී කැමරාව බේරගෙන.’

මං

මිහිර සිරිතිලක