වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




මං විවාහ නොවුණේ අම්මයි තාත්තයි බලාගන්න

මං විවාහ නොවුණේ අම්මයි තාත්තයි බලාගන්න

උදුලා දාබරේ තනිමංසලට එක්වෙයි

සිය තුරුණු විය තම මවුපියන් වෙනුවෙන්ම කැප කිරීමට සිතන දරුවන් වෙත්නම් එය බොහෝ දුර්ලභ සිදුවීමකි. ඒ තරමටම තම මවුපියන්ට ආදරය කළ ඈ අද ඔවුන් ජීවතුන් අතර නැති වුවද සිය ජීවිතය ගෙවා දමන්නේ තනිකඩවම ය. මෙවර තනිමංසලට පිවිසෙන මේ දුර්ලභ තැනැත්තිය ඇයයි. උදුලා දාබරේ.

මේ වනවිට ඔබ රඟ නොපෑවත් බොහොම කාර්යබහුලයි නේද?

ඇත්තටම ඔව්, මම කවදත් සමාජ සේවයට කැමැති කෙනෙක්. ඒ නිසා සමාජ සේවා කටයුතුවල නියැළෙද්දී මට දවස ගත වෙනවා නොදැනෙන තරම්. ඒ අතර නිවෙසේ කටයුතුත් කෙරෙන්නේ මගේ අතින්මයි. මේ කටයුතුත් කරගෙන බොහොම සතුටින් මම කාලය ගෙවනවා.

ඔබත් සමඟ තව කවුරුද ඉන්නේ?

මගේ සහෝදරයගෙ සහ සහෝදරියගේ ළමයි නිතරම වගේ මෙහේ යන එන නිසා මම ඉන්නේ තනිවම නොවෙයි. ඔවුන්ගේ සෙනෙහස, ආදරය අතර මගේ දවස ගත වෙනවා.

සමහර අවස්ථාවල දී තනිකමක්, පාළුවක් දැනෙනවද?

වැඩකටයුතුත් එක්ක දවස ගතවෙන නිසා තනිකමකට, පාළුවකට මගේ ළඟට එන්න ඉඩක් නැහැ.

ඔබ විවාහ නොවුණේ ඇයි?

හැමෝටම තියෙන එකම ප්‍රශ්නය තමයි ඔය.

ඒ ගැන කියන්න අකැමැතිද?

මගේ අයියයි, නංගියි දෙදෙනාම ඒ වෙන විට හිටියේ විවාහ වෙලා. ඒ නිසා අම්මා, තාත්තා බලා ගන්න පැවරිලා තිබුණේ මටයි. මගේ රත්තරන් අම්මවයි, තාත්තවයි බලාගන්න තිබෙන නිසා මා විවාහය පිළිබඳ සිතුවේ නැහැ.

ඔවුන් ඒ තරමටම වයසයිද?

මම ඉපදුනේ පවුලේ හයවැනියා විදියටයි. ඒ වෙනකොට ඔවුන් හිටියේ වයස්ගතවයි. ඒ වයස්ගත දෙදෙනාව අවසානය වනතුරු රැකබලා ගැනීම මගේ යුතුකමක් විදියටයි මා එකල සැලකුවේ.

ඔබගේ පවුලේ සමාජිකයන් සංඛ්‍යාව ගොඩක් බව පෙනෙනවා.

ලොකුම අක්කා. ඊට පස්සේ අයියා. ඊළඟ ළමයි තුන්දෙනෙක්ම ඉපදිලා මැරුණා. ඊළඟටයි මා උපන්නේ. මම උපදින්නට පෙර අම්මා ශ්‍රී පාදයට ගිහින් භාරයක් වුණා. ඒ දුවෙක් වුණොත් රූපයට රූපයක්. ඒ නිසා අම්මා නිතරම මට කියන්නේ මාව දුන්නේ සමන් දෙවියෝ කියලා. දෙයියෝ දුන්න මගේ රෝස මල කියලත් ඈ මට කිව්වා. ඔයා මාව අන්තිම වෙනතුරු බලාගන්න ඕනෑ. ඇගේ ප්‍රාර්ථනය වුණේ එයයි. අවසානයේ ඇගේ හුස්ම ටික ගියෙත් මගේ උකුළ උඩයි. අවසාන කාලයේ අසනීප වෙලා සුවවුණු එක අවස්ථාවක පුතේ ඔයා බඳින්නේ නැද්ද කියලත් ඈ ඇහැව්ව අවස්ථා තිබුණා. මා විවාහ නොවුණේ එයාලා නිසා කියලා ඈ දැනගෙන හිටියා. තාත්තා අපෙන් වෙන්වෙලා අවුරුදු දහයක් යනතුරුත් ඈ සිටියේ මා ළඟයි. මම ඈට උපරිමයෙන් සැලකුවා. සියලු යුතුකම් ඉටු කළා.

නමුත් ඔබට සිටිය බාලම නංගිත් විවාහ වුණා නේද?

ඔව්, ඒ අය සියල්ලන්ටම පවුල් බර වැඩි නිසා අම්මවත්, තාත්තවත් බාරගන්න අකැමැති වුණා. ඒ අය හින්දත් මගේ විවාහයට යම් බලපෑමක් ඇති වුණා. අනිත් කාරණය වුණේ මවුපියෝ එයාලා ළඟට යන්න අකැමැති වීමයි. මේ අතර විවාහ යෝජනා පවා මට ඉදිරිපත් වුණ බවත් කියන්න ඕනෑ.

මොකද ඒකට වුණේ?

මාව විවාහ කරගන්න ඔහු බොහොම කැමැත්තෙන් හිටියේ. ඒත් හදිසියෙම ඔහුට ඉගෙන ගන්න රට යන්න අවස්ථාවක් ලැබුණා. ඔහු හිතාගෙන සිටියේ මාව විවාහ කරගෙන රට යන්නයි. ඒත් අම්මා ඒකට අකැමැති වුණා. එතැනදි මට අම්මා ගැන සිතන්න සිදු වුණා. නැත්නම් මම රට ගියොත් ඈ මැරෙන බවත් පැවසුවා. ඈ ඉදිරියෙම පාස්පෝට් එක ඉරන්න කියලා මට කිව්වා. මට එහෙම කරන්න සිදුවුණා. මොකද මාව නිළියක් කළේ අම්මා. ලංකාවේ යම් තැනකට මාව අරගෙන ආවේ අම්මා. ඒ නිසා මට ඈ ගැන සිතන්නට සිදුවුණා.

ඔබට අද හිතෙනවද අනේ මම එදා විවාහ වුණා නම් කියලා?

විවාහ වුණා නම් මට මීට වඩා පිළිවෙළකට ජීවත් වෙන්න තිබුණා. නමුත් දස මාසයක් කුසේ දරාගෙන දුක් විඳලා අපිව හැදුව අම්මා, තාත්තා ගැන මම හිතුවා. ඒ කොහොම වුණත් අද මම ඉන්නේ බොහොම සතුටෙන්.

ඔබට විවාහ යෝජනාව ගෙනා ඒ කෙනාව ආයෙත් මුණ ගැසුණු අවස්ථා තිබුණාද?

නැහැ. එහෙම අවශ්‍යතාවක් පැන නැඟුණේ නැහැ. කාලයක් ගිහිල්ලා වුණත් ඔහුට මාව අමතක වෙලා තිබුණේ නැහැ. කොහොම නමුත් ඔහු රට ගිහින් කාලයක් යනතුරු අපි ලියුම් ගනුදෙනු කළා. ඒකත් ඊට පස්සේ නැති වුණා.

අම්මා මිය ගියාට පසු ඔහු ඔබට ආරාධනා කළේ නැද්ද පිට රටට එන්න කියලා?

මුල් කාලෙ ඔහු එහෙම කිවුවා. නමුත් මම ඒ ගැන ඒ තරමටම තැකීමක් කළේ නැහැ. එය මගේ පළමු හා අන්තිම ආදරයයි. ඔහුත් කලාවට සම්බන්ධ කෙනෙක් බවත් කියන්න ඕනෑ.

ඔබ සුන්දර යුවතියක් නිසා ඊට අමතර ආදර ආරාධනා ලැබුණාද?

ඔව්, මට විවාහ ආරාධනා ඕනෑ තරම් ලැබුණා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පවා ඒ අතර සිටියා.

ඔවුන්ගෙන් කිසිම කෙනෙක් ඔබගේ නිවසේ නතර වෙන්න කැමැත්ත පළ කළේ නැද්ද?

එහෙම වුණේ නැහැ. නමුත් මාව විවාහ කරගෙන අරගෙන යන්නයි ඔවුන්ට ඕනෑ වුණේ.

සහෝදර, සහෝදරියන්ගේ ළමයි දකින විට දුකක් දැනෙනවාද?

අනේ එහෙම නෑ. ඔවුන්ට මම ආදරේ මගේ දරුවන්ට වගේමයි. මට ළමයි නැති වුණා කියලා මම කිසිම කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඔවුන් සියලු දෙනාටම වුණත් මා උදව් කරන්නට අමතක කරන්නේ නැහැ.

මුල් කාලයේ දි විවාහ වෙනවා කියන මතයේද ඔබ සිටියේ?

ඔව්, මම මගේ තරුණ කාලයේදි විවාහ වෙනවා කියන මතයෙ යි සිටියේ. ඒ කාලයේ නිළියක් වෙනවාට වඩා ගුරුවරියක් වීමටයි මට වුවමනා වුණේ.

ගුරුවරියක් වුණා නම් ඔබ විවාහ වෙනවා?

ඔව්, එහෙම වුණා නම් මම විවාහ වෙන්න ඉඩ තිබුණා.

ඉදිරි ජීවිතය ගැන මොකද සිතෙන්නේ?

ඉදිරි ජීවිතය ගැන මට තියෙන්නේ සතුටක්. මම මැරෙන්න බය නෑ.