වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තාගේ සිංදු පුතා කියනවා නම් ඌ කොකෙක්

තාත්තාගේ සිංදු පුතා කියනවා නම් ඌ කොකෙක්
එදා ෆ්‍රෙඩී සිල්වා කිව්වා

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ අලුත් ආදරයක පැටලෙයි

පුපුරු ගසන ගෙන්දගම් පොළව මුළු ශරීරයම දහඩියෙන් නැහැ වෙයි. මධ්‍යහනය ගෙවී හෝරා කිහිපයකින් මට ලැබෙන ඇමතුම අපේ සහෘද මාධ්‍ය සගයකුගෙනි. දශක දෙකක් පුරා ඇසුණු ඒ හඬ පත්තර මහ ගෙදර කාටත් බෙහෙවින්ම හුරු පුරුය. එහෙත් ඔහු පත්තර මහ ගෙදරින් වෙන් වී වසර කිහිපයක් ගෙවී ගොසිනි. එහෙත් ඒ හඬේ වෙනසක් නම් තවම මට නොදැනෙයි.. ‘මම මිලේනියම් පාක් එකට ආවා. . . ඔයා කොහේද . . .’ ඔහුගේ ගැඹුරු හඬ එදා මෙන්ම අදත් මට ලෙන්ගතුය. ඇස් දෙක නිලන්කාර කරන අව්ව කාර්යාලයෙන් පිටතට යන්නට සිත් නුදුන්නත් ඔහු හමුවීමට වූ කැමැත්ත සියලු උටලීකම් බිඳ දැමුවේ අලුත් යමක් කරන අලුතින් දෙයක් සිතන අයෙකු හමුවීම සතුටක් නිසාමය.

පාක් එක ඇතුළට ආ මට ඔහු සිටින ඉසව්ව සොයා ගැනීමට එතරම් අපහසු නොවීය. ‘කටහඬ’ ඩිජිටල් අකුරින් ගැසූ ඔහුගේ කැබ් රථය මට ඈතින් පෙනෙයි. ඔහු ඒ අසල සිට මට අත වැනුවේ ඈත සිටම මා හඳුනාගත් නිසාය.

‘ඉතිං . . . ඉතිං . . . කොහොමද තොරතුරු . . . මම මෙතන්ට එන්න කිව්වේ ටිකක් නිවී සැනසිල්ලේ කතා කරන්න’. ඔහු මට තරමක් නුහුරු මිලේනියම් පාක් එකේ අවන්හලේ අසුන් ගනිමින්ම පැවසුවේය. තරුණ ජවසම්පන්න බව හා ගැඹුරු පෞරුෂයෙන් පිරි කටහඬ බිඳකුදු වෙනස් වී නැති ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයෙත්, කලාවෙත් දැවැන්තයන් විශාල පිරිසක් සමඟ සාකච්ඡා, වැඩසටහන් මෙහෙයවා හුරු පුරුදු ඔහු අද මුහුණට මුහුණ මා සමඟ සම්මුඛ වන්නේ විශේෂිත වූ නිමිත්තක් ඔහුගේ දිවියේ සටහන් කරන බැවිනි.

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ . . . අද ඔහුව සරසවියට මා කැඳවාගෙන ඒමට හේතුව වන්නේ ඔහුගේ අලුත්ම ආදරය ගැන කතා කරන්න. ඒ තමයි ඉන්ද්‍රජිත්ගේ ‘ආකාස්මික ආදරය’.

‘ඇත්තටම මොකක්ද මේ ඔබේ ඔය කියන අලුත්ම ආදර කතාව. පරණ ආදර කතාවක්ද . . . ඉස්සෙල්ලාම ඒ ගැන දැනගන්න ඕනෑ.

මේ ආදර කතාව එහෙම එකක් නෙවෙයි. ඊට වඩා ගැඹුරු නිර්මාණාත්මක වැඩක්. ඒ කියන්නේ මේක පසුගිය සතියේ පැවැත්වුණු පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් මගෙත් නිරූපිකා රේණුගෙත් එකතුවෙන් ලියවුණු පෙම් කවි ගී 50 ක එකතුවක්. එය එළිදැක්වීම පසුගියදා හිල්ටන් හෝටලයේදී සිදු වුණා. ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලිට තමයි එහි මුල්ම පිටපත හා සංයුක්ත තැටිය පිළිගැන්වීම සිදු කළේ. මේ නිිර්මාණ එකතුවට සේයා රූප පනහක් ඇතුළත්ව ආදරයේ ගැඹුරු තැන් ස්පර්ශ කරමින් තමයි අපි මේ නිර්මාණය එළි දැක්විම සිදු කළේ.

ඔබ කොහොමත් අලුත් දෙයක් කරන කලාකරුවක්නේ. හැකියාවන් ගොන්නක් තියෙන තරමක් වෙනස් රැඩිකල් චරිතයක් විදිමට ඔබ කටයුතුªª කරන්නේ. එක පාරටම මේ වගේ බොලඳ දෙයක් කරන්න හිතුණේ මොකද?

ඇත්තටම ඔබ ඇහැව්වේ හොඳ ප්‍රශ්නයක්. මෙහෙම දෙයක් තියෙනවානේ. තරුණ වියේදී විප්ලවවාදියකු නොවුණොත්, මහලු වියේදී විප්ලවවාදියකු වන්නාත් මීඩයෙක් කියලා කියමනක් තියෙනවානේ. රුවින්, ගුණයෙන්, සුවඳින් පිරුණු මලක් මෙන් හාත්පස සුවඳවත් කරමින් සෙතක් ශාන්තියක් අත්කළ හැකි සුන්දර යෞවනයෙන් අපි උපරිම පල නෙලා ගන්න ඕනෑ කියලයි මම හිතන්නේ.

එහෙම නැතුව කුහකකම්, කුඩුකේඩුකම්, බ්ලේඩ් තල, බෙලි කැපිලි ඇති මේ සමාජයේ තියෙන නරා වලේ වැටිලා අපි ඇයි දඟලන්නේ. අනුන්ට අණවින කොඩිවින නොකරන ඉහළ නඟින මිනිස්සුන්ගේ ඉනිමඟට පයින් නොගසන මිනිස්කම් රුපියල් සතවලට විකිණෙන්නේ නැති කෙනෙක් විදිහට කාගෙවත් දෙයක් කොපි නොකර මගේම දෙයක් කිරීම බොළඳයි කියලා මම හිතන්නේ නැහැ. මම ලියන කියන හැම වදනකටම මට ආත්මීය පන්නරය ලැබුණේ මගේ පියාගෙන්.

ඒ කියන්නේ ගුණදාස ලියනගේ කියන මාධ්‍යවේදියාගෙන්. ඒ වගේම මට තනියෙන් නැගිටින්න කියලා දුන්නේ ආදරණීය මෑණියන් චන්ද්‍රලතා ලියනගේ. ඔවුන්ගෙන් ලැබුණු ශක්තිය නිසා මම හැම වෙලාවේම හිතුවේ අලුත් දෙයක්. කළේ අලුත් නිර්මාණයක්. ඒ් නිසා තමයි මට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සෑම පැතිකඩක්ම ස්පර්ශ කරන්න සිත යොමු වුණේ. ලේඛනය, රංගනය, නිවේදනය, ගායනය, චිත්‍ර කලාව, හඬ කැවීම, ක්‍රීඩාව යන හැම දේකම මේ ආභාෂය ලැබුණා. මේ ‘ආකාෂ්මීය ආදරය’ කියන නිර්මාණ එකතුව හොඳින් ග්‍රහණය කර ගත්තු කෙනකුට දැනෙයි එහි ගැඹුරු අර්ථය. ඇත්තටම ආදරයක තියෙන්නේ බොළඳ බවට වඩා ආත්මීය සුන්දරත්වයෙන් පිරි ගැඹුරක් කියලයි මම හිතන්නේ.

ඔබ දක්ෂ නිවේදකයකු ලෙස සෘජුව වැඩසටහන් මෙහෙයවනවා මම දැකලා තියෙනවා. එවැනි සෘජු සංවාද අතුරින් වඩාත්ම මතකයේ රැඳෙන්නේ මොකක්ද?

එහෙම මතක් කළොත් නම් ඉතිං මගේ සෑම වැඩසටහනක්ම සමාජයේ වඩාත් කතාබහට ලක්වුණු දේවල්. ඒ විතරක් නොවෙයි. මම ගුවන් විදුලියේ පැටිකිරිය වැඩසටහන හරහා ලංකාවේ සෑම ක්ෂේත්‍රයක ප්‍රවීණයන්, ජ්‍යෙෂ්ඨයන් සමඟ සංවාත්මක වැඩසටහන් මෙහෙයවන්න අවස්ථාව ලැබුණා. උඩුවේ ධම්මාලෝක හිමි, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, සුසන්තිකා ජයසිංහ, සේපාල ඒකනායක, වාසුදේව නානායක්කාර, සුනිල් මාධව ප්‍රේමතිලක වගේ බොහෝ පිරිසක් සමඟ මම වැඩසටහන් කළා.

ඔබ මාධ්‍යවේදියකු ලෙස වැඩිම කාලයක් සේවය කළේ ලේක්හවුස් ආයතනයේ. එහිදී ලැබුණු අත්දැකීම් සිදුවීම් මොන වගේද?

මම ලේක්හවුස් ආයතනයේ දිනමිණ, රසඳුන, තරුණී පත්තරවල මාධ්‍යවේදියකු විදිහට විවිධ විශේෂාංග කළා. යුද්ධය පැවැති කාලයේ කොබ්බෑකඩුව ඝාතනය ගැන ලියන්න යුද්ධය පැවැති යුද බිමට පවා යාමට සිදු වුණා. කුවේට් යුද සමයේ රෑ දවාලක් නැතුව අපි ගුවන් තොටුපළේ සිට ඒ සිදුවීම් වාර්තා කළා. සමහර අවස්ථාවලදී සමහර අය අපේ වාහනයෙන් ගෙවල්වලට ගෙනිච්ච අවස්්ථා තිබුණා. මට මතකයි මම දිනමිණ පුවත්පතේ කඳුළු කතා ලියද්දී කේරි විද්‍යාලය අසල අසරණ දරු පවුලක් ගැන ලියපු කතාවක් ජනාධිපති ප්‍රේමදාස මහත්තයා දැකලා ඒ අයට ගෙයක් ලබා දුන්නා.

ඔබ මුහුණට මුහුණ වැඩසටහන කරන අවස්ථාවේදී මුහුණ දුන් සිදුවීම් එහෙම?

ෆෙ‍්‍රඩී සිල්වාගෙන් මම ඇහැව්වා තාත්තාගේ ගීත පුතා කීම ගැන. ෆ්‍රෙඩී කිව්වා එහෙම කියනවා නම් ඒ කොකෙක් කියලා. ෆෙ‍්‍රඩී සජීවීවම කිව්වා. ඒ වගේම සනත් ගුණතිලකට ලකී ඩයස් චෝදනා කළා කියලා කියපුවහම ඔවුන් දෙදෙනාම විවාදයකට ආරාධනා කළා. සනත් ආවා. නමුත් ලකී ආවේ නැහැ.

අපේ කතාව තරමක් දිගු දුරක් පැමිණ තිබුණි. ඔහුගේ කතාවට සමුදෙන්නට කාලය හරස් වී තිබුණි. ඒ නිසාම ඔහුගේ පෞද්ගලික තොරතුරු හා ඉදිරියේ ඔහුගේ නිර්මාණ ගැන විමසුවේ සහෘද මාධ්‍ය මිතුරකුගේ සොඳුරු හමුවීම මතකයේ රඳවමිනි.

ඇත්තටම මම ඉදිරියේදී මගේ පුතා වෙනුවෙන් පොතක් ලියනවා. එයාගේ නම සංජීව දේශාන් ලියනගේ. ඔහු දැන් පෞද්ගලික ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නවා. ඒ වගේම දෝන කමලාවතී කතාව සිනමාපටයකට නැඟීමට අපේක්ෂාවෙන් සිටින්නේ. ඇත්තටම මට බටහිර නර්තන කලාව ඉගෙන ගැනිමේ ආසාව තිබුනා. කෙවින් නුගාරා යටතේ මම නැැටුම් ඉගෙන ගත්තා. ඒ වගේම මගේ ‘කටහඬ’ නිවේදන ඇකඩමිය අවුරුදු 15 ක පටන් ඉතාම සාර්ථක ලෙසින් සිදු කරනවා. ඒ වගේම මගේම ගීත නිර්මාණ එකතුවක් කිරීමටත් අපේක්ෂාවෙන් සිටිනවා.

සැබැවින්ම ඉන්ද්‍රජිත්ගේ පැටිකිරියේ බොහෝ දෑ අපේ සංවාදයට හමු නොවූවත් ඒ ගැන අසන්නට දැනගන්නට ඔහුගේ දුරකතන අංකය 077-3749767 ගැන මතක් කරන්නේ ඉන්ද්‍රජිත්ගේ ආකාස්මික ආදරය ලෙන්ගතුව සිත්හි පුරවා තබමිනි.