වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




Vocamix + අකපෙලා = ...?

Vocamix + අකපෙලා = ...? මේ ගැන ඔබ දන්නේ මොනවාද?

නොයෙක් වාද්‍ය භාණ්ඩ ඇසුරෙන් මැවෙන විවිධ සත්සර රටාවන් ඒ හා සමාන අයුරින් මිනිස් කටහඬ ඔස්සේ ප්‍රති නිර්මාණය කිරීම කෙතරම් අසීරු කාර්යක්දැයි මොහොතකට සිතන්න. යමෙකුට එසේ කළ හැකි නම් එය තරමක විශ්මයජනක, අපූර්ව කුසලතාවක් වනු නොඅනුමානය.

ඉයන් ජයසිංහ ප්‍රමුඛ Vocamix  එබඳු දුලබ ගණයේ සංගීත කණ්ඩායමකි. ඔවුන්ගේ මෙවලම කටහඬම පමණි. එමඟින් විවිධ වාද්‍ය භාණ්ඩවල හඬ උත්පාදනය කිරීමේ නොඑසේ නම් අනුකරණය කිරීමේ ඔවුන් සතු හැකියාව පුදුම සහගතය.

Vocamix  කියන්නේ ඇත්තටම Vocal mix එකක්. කටහඬ විතරක් පාවිච්චි කරලයි අපි මේ හැමදේම කරන්නේ. ගොඩක් අය අලුත් දෙයක් කියලා හිතුවාට මේක බොහොම අනාදිමත් කාලෙක ඉඳන් පැවත එන සංගීත සම්ප්‍රදායක්. ශෛලියක්. අප්‍රිකාවේ කළු ජාතිකයන්ගෙන් තමයි මේක ආරම්භ වුණේ. අපේ රටේ එතරම් ප්‍රචලිත නොවුණත් මේ ‘අකපෙලා’ සංගීත ශෛලිය අද ලෝකයේ බොහෝ රටවල ඉතාම ජනප්‍රියයි.

Vocamix ’ නියමුවා වන ඉයන් අප හා කථාවට මුල පිරුවේ ඒ විග්‍රහයත් සමගිනි. එම සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වන්නේ කාලින් පෙරේරා, සජිත් බිම්සර, ටිරෝන් ප්‍රැන්සිස්කෝ, හිරුනි වාස්, වාසනා ප්‍රසංගිකා හා කෝෂිලා දිසානායකය.

ඇත්තටම මේ සංගීත කණ්ඩයම අපි පටන් ගත්තේ දැනට වසර හයකට විතර ඉස්සර. ඒත් ගොඩක් අය අපි ගැන දැන ගත්තේ මේ මෑතකදී B. M. I. C. H එකේ තිබුණ කීර්ති පැස්කුවල්ගේ Live in Concert  එකේදී. අපි එදා කීර්ති අයියගේ ජනප්‍රිය ගීත දෙකකට මේ ‘අකපෙලා’ ස්ටයිල් එකෙන් මියුසික් කළා. විශේෂයෙන්ම ‘සඳලතා පායලා’ ගීතයට අපි වාදනය සපයද්දී ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ඕඩියන්ස් එකෙන් අපට ලැබුණේ. ඒ අය අසුන්වලින් නැගිටලා අපට ප්‍රණාමය පුද කළා. විශාරද නන්දා මාලිනී මහත්මිය ඇතුළු සංගීත ලෝකයේ දැවැන්තයෝ අපට සුබ පැතුවා.

ඉයන් එසේ පවසන විට ‘Vocamix ’ සංගීත කණ්ඩායමේ සෙසු පිරිසගේ මුවඟට නැගුණේ තුටු හසරැල්ලකි.

* දැන් අපි දන්නවා ගීතයක් ගයන කොට හෝ වයන කොට ශ්‍රැතියක් තියෙන්න එපායැ. කොහොමද ඒ නිවැරැදි ශ්‍රැතිය ඔබ හඳුනා ගන්නේ?

ගොඩක් වෙලාවට අපි පියානෝ එකකින් හරි කීබෝඩ් එකකින් හරි ෆස්ට් නෝට් එක ගන්නවා. ඒ හරියටම පිච් එක හඳුනාගන්න ඕනෑ නිසා. ඊට පස්සේ ඉතිරි හරිය අපේ හඬෙන් තමයි.

* වාදනය කරන්න පුළුවන් සංගීත භාණ්ඩ මොනවාද?

අපට ගිටාර්ස්වල හඬගන්න පුළුවන්. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් ගිටාර් එකේ විවිධ පැට්න්ස්. ඒ වගේම රිදම් හා බේස් ගිටාරයේ හඬ. ෆ(ර්)කෂන් සයිඩ් එකේ සියලුම දේවල් ඒ කියන්නේ හයිහැට්, ස්නෙයාර්, සිම්බල්ස් එතකොට ෆුට්ස්. ඔය ඔක්කොම හඬවල් ඒ ආකාරයෙන්ම වගේ ගන්න පුළුවන්.

* එතකොට තබ්ලා, ඩොලැක්, බෙර වගේ තාල් භාණ්ඩ?

ඇත්තටම මේ තාල් භාණ්ඩ වාදනයේදී වඩාත්ම සාර්ථක බටහිර සිංගීත භාණ්ඩයි. අර ශබ්දත් ගන්න බැරිකමක් නැහැ. ඒත් සාර්ථක නොවෙන්න පුළුවන්. අනෙක ගොඩක්ම මේ ස්ටයිල් එකට තෝර ගන්නේ ‘පන්ච්’ එකක් තියෙන ගීත. විශේෂයෙන්ම R and B වගේ සංගීත ශෛලීන්.

* ඇයි මෙවැනි සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීමට ඔබ පෙළඹුණේ?

දැන් නැවතත් ලොව පුරා මේ ‘අකපෙලා’ ශෛලිය ජනප්‍රිය වෙන්න පටන් ගෙන තියෙනවා සහ දැඩි ලැදියාවක් තියෙනනවා මිනිසුන්ගේ මේක රස විදින්න. අමෙරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල පවා මේ සංගීත ආර ජනප්‍රියයි. පෙර – අපර දෙදිග කියා වෙනසක් නෑ. ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන්ම ලොව පුරා තරුණ පිරිස් අතර මෙය ජනප්‍රිය වෙලා තියෙනවා.  Beat Box ගැහිල්ල හුඟාක් ජනප්‍රියයි. අද Classe පවා ආරම්භ වෙලා තියෙනවා. එතකොට ඉන්ටර්නෙට් එකේ  Beat Box ගැන ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා.

* දැන් අපි දන්න විදිහට ගීත සඳහා පමණයිනේ ඔබ මේ සංගීත ශෛලිය භාවිත කළේ. එතකොට ඔපෙරා, කැන්ටාටා වගේ සම්භාව්‍ය සංගීත නිර්මාණවලට මේ ක්‍රමය උපයෝගී කරගන්නට බැරිද?

ඒ කියන්නේ මෙහෙමයි. දැන් ශාස්ත්‍රීය ගීතයක වුණත් ෆර්කෂන් පැත්ත තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපට ඒ දේ කරන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා බීට්ස් නැති. ඒවාට වොයිස්වලින් විතරක් හාමනි කරන්න පුළුවන්.

* කීර්ති පැස්කුවෙල් හඳුනා ගන්නේ කෙහොමද?

මගේ අයියා කාංචන. දෙරණ ‘ඩ්‍රීම් ස්ටාර්’ පියානෝ එක play කරන්නේ එයා. කීර්ති අයියගේ show එකෙත් එයා පියානෝ එක play කළා. ඒ හරහා තමයි අපි කීර්ති අයියා දැන හඳුනා ගත්තේ. අපි ඔහුට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ වගේ දැවැන්ත ප්‍රසංගයක අපේ හැකියාවන් පෙන්වන්න අවස්ථාව උදාකර දීම ගැන. එයාට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තියෙනවා අපේ හැකියාව ගැන. ප්‍රසංගයේ සිත් ඇඳ බැඳ ගත් අවස්ථාවක් ලෙසයි බොහෝ දෙනා එය හඳුන්වා දී තිබුණේ.

* ලංකාවේ වෙනත් ‘අකපෙලා’ සංගීත කණ්ඩායම් නැද්ද?

එහෙම ඉන්නවා. ඒත් සමහරු play කරන්නේ රෙකෝඩ් කරලා. ඒත් මයිම් කරලා හරි යන්නේ නැහැ. අකපෙලා Live Play කරන්න ඕනෑ. එතකොට තමයි නියම රසය, වින්දනය රසිකයාට දැනෙන්නේ.

* කොහොම වුණත් ඒ නියම ශබ්ද රසය උත්පාදනය සඳහා තාක්ෂණයත් අත්‍යවශ්‍යයි?

ඔව්. අනිවාර්යයෙන්ම. ඈම්ප්ස් අවශ්‍යයි ඒ ශබ්ද නියමාකාරයෙන් ලබා දෙන්න. සමහර බෑන්ඩ්ස් මම දැකලා තියෙනවා අයිපෑඩ් එකෙන් ඩ්‍රම්ස් ගහනවා. නමුත් ඒක එතකොට ඇත්තටම අකපෙලා එකක් වෙන්නේ නෑ. ඒක Beat Box ස්ටයිල් එකක් නෙවේ.

* Vocamix  ඉදිරි ගමන සැළසුම් කර තිබෙන්නේ කොහොමද?

අකපෙලා සංගීත ශෛලිය මේ රටේ ජනප්‍රිය කරවීම අපේ අරමුණයි. තරුණ පරපුර අතරේ ජනප්‍රිය වුණත් අපේ වැඩිහිටියෝ මේක හඳුනන්නේ නෑ. දැන් උදාහරණයක් විදිහට නන්දා මාලිනී මහත්මිය පවා මේ වගේ අත්දැකීමක් ලැබූ මුල්ම අවස්ථාව එදා. එතකොට කීර්ති අයියත් මේ අකපෙලා ගෲප් එකත් එක්ක සිංග් කරපු මුල්ම වතාව. අපේ අරමුණ වඩාත් ජනපි‍්‍රය අංගයක් බවට මේ සංගීත ශෛලිය පත් කරවීම. ඊට අමතරව විවිධ ගෘහස්ථ ප්‍රසංග, මංගල සාද, පි‍්‍රය සම්භාෂණ සඳහා අපි සහභාගි වෙනවා. මීගමුව කොච්චිකඩේ පැවැත්වෙන කීර්ති අයියගේ ප්‍රසංගයටත් අපි සම්බන්ධ වෙනවා. විදෙස් සංචාර කිහිපයකටත් ඇරියුම් ලැබී තියෙනවා. ඒ වගේම තවත් සුවිශේෂ දෙයක් තියෙනවා මතක් කරන්න. අපි ‘භාග්‍ය රංග කලායතනය’ මඟින් මේ සංගීත ශෛලිය අලුත් පරපුරකට දායාද කිරීමට, ඒ දැනුම බෙදා දීමට කටයුතු කරනවා. මේ ඉයන්ගේ ජංගම දුරකතන අංකයයි. 0773232137.