වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




ගෙදර ගෝරියට වේදිකාවේදී සම්පත් - රත්නාගේ බෙල්ල මිරිකළා

ගෙදර ගෝරියට වේදිකාවේදී සම්පත් - රත්නාගේ බෙල්ල මිරිකළා

සම්පත් – රත්නා නම් අපූරු සුසංයෝගය වේදිකාවේ පෑ පෙළහැර අපට අමතක නොවන බව කීවොත් ඔබ, මමත් සමඟ එකග වනු නියතය.

ඒ මේ මස 17 වැනිදාය. ‘අභිනයන සම්පත් – රත්නා රංග භූමිකා’ උළෙල ඔස්සේ දශක තුනක්, නාට්‍ය පනහක්, මතකයේ රැෙඳන භූමිකා හතක් සමඟ ඔවුහු කරළියට පැමිණෙති. කොළඹ නව නගර ශාලා වේදිකාව කඩිනමින් ඒ සඳහා සැදී පැහැදී සිටී. ඒ අතර දෙසැම්බර් 17 වැනිදා ඩග්ලස් සිරිවර්ධනගේ සුභ සැන්දෑවක්, 18 වැනිදා - කේ. බී. හේරත්ගේ මායාදේවි, 19 වැනිදා ජයලත් මනෝරත්නගේ පුත්‍ර සමාගම, 20 වැනිදා ජයලත් මනෝරත්නගේ ගුරු තරුව, 21 වැනිදා කේ. බී. හේරත්ගේ ජගන්මා, 22 වැනිදා – බන්දුල විතානගේ රෝමය ගිනි ගනී 2 අන්තර්ජාලේ, 23 වැනිදා ජයලත් මනෝරත්නගේ තලමල පිපිලා ඊට අයත්ය. වසර තිහකට පෙර වේදිකාවේ හකකළං කළ ඔවුන්ගේ රංගන ඔස්සේ කාලයකට පසු වේදිකාව හැඩවෙයි.

සම්පත් තෙන්නකෝන් හා රත්නා ලාලනී ජයකොඩි ඇතුළු ඔවුහු උපහාරයට ලක්වන මේ සොඳුරු මොහොතෙහි සිය සඟයන්ගේ තොරතුරු රැගත් සමරු කලාපයක් ද එළි දැක්වෙයි. එපමණින් සෑහීමකට පත් නොවන ඔවුහු සිය පෙළහරට සහාය වන සියල්ලන්ටම ද උපහාර පුදති. ජීවිතයෙහි අමතක නොවන සමරුවක් මඟින් සිය කෘතවේදි බව ප්‍රකාශ කරන්නට සම්පත් – රත්නා දෙපළ සැදී පැහැදී සිටිති. මේ සා පැමිණි දිගු ගමනේදී ඒ සොඳුරු අතීතය පිළිබඳ සිය අතීත මතකය අවදි කරන්නට ඈ අප හා රැඳුණාය. රත්නා ලාලනී නම් දක්ෂ, සොඳුරු රංගන ශිල්පිනිය, ගුරුවරිය අපව ඒ අතීතයට රැගෙන ගියාය. මේ ඉඩහසර ඒ සොඳුරු අතීතය වෙනුවෙනි.

තුං මංසල, සම්පත් – රත්නා ජීවිත ගමනේ මංසලක්ම විය. නාඹර යොවුන් වියේ සුවඳ අරගෙන ඔවුන් හමු වන්නේ ‘තුං මංසල’ වේදිකා නාට්‍යයෙනි. ඒ හමුවීම රංගනයට පමණක් සීමා කළ ඔවුහු ‘සුභ සැන්දෑවක්’ හිදී නැවත හමුවෙයි. ඒ ඩග්ලස් සිරිවර්ධන සිය වේදිකා නිර්මාණය නැවත වේදිකාගත කරන්නට සැරැසෙන සමයයි. ඊට නිළියක සොයමින් ඔහු සැරිසැරුවේය. අපූරු කෙළි පොඩිත්තක් වේදිකාවේ රඟපෑ අයුරු ඔහුගේ සිතෙහි සනිටුහන් වූයේ කාටත් නෙදැනීමය.

ඒ සනිටුහන් වීම සැබෑ කරමින් මේ කෙළි පොඩිත්ත ‘සුභ සැන්දෑවක්’ හි ලීසා වූවාය. සුන්දර සමනලියක් වූ රත්නාට, සම්පත්ව ‘සුභ සැන්දෑවක්’ වේදිකා නාට්‍යයේදී පළමුවරට මුණ ගැසෙන්නේ මුහුරත් උළෙලේදී. නවක නිළියක ලෙස ඈ ඩග්ලස් සිරිවර්ධනයන්ගේ උපදෙස් ලබමින් ලීසා සිය රංගන ජීවිතයට ඈඳා ගන්නේ අපූරු අයුරිනි. ඒ සම්පත් තෙන්නකෝන් නම් රත්නාට වඩා ප්‍රවීණ රංගන ශිල්පියාගේ හදවත ලැගුම් ගනිමිනි. ඒ 1984 වර්ෂයයි. කාර්යබහුල මාවතට අවතීර්ණ වූ සමයක සිටි රත්නා හොරණ සිට පැමිණියේ දාඩිය මුගුරු දමාගෙනය. වෙන වෙනම සිය චරිත පුහුණු වූ ඔවුහු ආගන්තුකයන් ලෙස මුහුරත් උළෙලේ පළමු දර්ශනය සඳහා සූදානම් වූයේ ඉක්මනිනි.

‘කෙල්ල වැඩේ අල කර ගනියිද’

සම්පත් ඇතුළු අනෙකුත් තරුණ නළුවන් බලා සිටියේ මේ නවක නිළිය දෙසමය. ඒ කියමන බොරු කරමින් ලීසා ලෙස කළ රංගනයට ඇයට පැසසුම් ලැබිණි. ‘සුභ සැන්දෑවක්’ හි ප්‍රේමවන්තයෝ වූ මාර්ක් හා ලීසා මුණ ගැසෙන එක් දර්ශනයකදී රත්නා මුහුණපෑවේ නොසිතූ විරූ අකරතැබ්බයකටය.

වරෙක මාර්ක් ලීසාව උස්සා කරකවා බිමින් කියන දර්ශනය පැමිණියේය. මාර්ක් ලීසාව වට කිහිපයක්ම කරකවා බිමින් තිබ්බේ එක්වරමය. කැරකීම වැඩි වූ බැවින්දෝ ලීසාට කරකැවිල්ල ඇති වූයේ ඉබේටමය. ඇයට ඊළඟට කිවයුතු දෙබස් අමතකව ගියේ නිතැතිනි. එසැනින්ම ප්‍රකෘති සිහිය ලැබූ ඕ දෙබස් කිව්වේ සියල්ලන් පුදුමයට පත්කරමිනි.

තවත් වරෙකදී රත්නාට මුහුණදීමට සිදු වූයේ අපූරු ඇබැද්දියකටය. ලුම්බිණි රඟහල පිරී ඉතිරී ගොසිණි. ‘සුභ සැන්දෑවක්’ වේදිකා ගතවෙයි. මේ අතර ලීසා ළඟට පැමිණි එක් අයකු ඇගේ කනට කර අනතුරු ඇඟෙව්වේය.

‘වේදිකාවට පිස්සෙක් ඇවිත් බලාගෙන’

ඔවුහු ලීසාව බිය කළහ. වේදිකා නාට්‍යයෙහි මැරයන් පැමිණ ලීසාව සොයන ඒ දර්ශනය සඳහා වෙනදා නොඑන මැරයකු ද පැමිණ සිටින වග රත්නාට අවබෝධ විය. ඔහු පැමිණියේ ද ප්‍රේක්ෂාගාරයෙනි. ජනක් ප්‍රේමලාල්, ගාමිණී හෙට්ටිආරච්චි, වසන්ත විට්ටච්චි ට අමතරව පැමිණි මේ මැරයාගේ අතෙහි ඇඟිලි හයක් ද වූ වග රත්නා දුටුවේ මෙවරය.

‘අර පිස්සා ඇවිල්ලා’

කවුදෝ කෙනකු කීවේය. රත්නා වේදිකාවට යෑම ප්‍රතික්ෂේප කළාය. තිරය පිටුපස සිටි සියල්ලෝම සිනහ වූයේ අතින් කට වසාගෙනය. අවසානයෙහි ඈ වේදිකාවට ගියේ විනාඩි කිහිපයක් ගතව ගිය පසුවය. එදා එලෙස පැමිණි මැරයා අන් කවුරුත් නොවේ, ඒ සරත් කුලාංගයි. එහිම එක් තැනක මාර්ක් ලීසාගේ ගෙල මිරිකයි. ලීසා වේදිකාවේ සිට කෑ ගැසුවේ ප්‍රේක්ෂාගාරය දෙවනත් වන්නටය. ඒ මාර්ක් රත්නා සමඟ වූ ආරෝවක් පිරිමසා ගන්නට, සත්‍ය ලෙසම ඈට දඬුවමක් දී තිබිණි. දර්ශනය අවසානයෙහි ඩගී අයියාට ගෝරි ගොඩකි. කාලයකට පසුව නැවත වේදිකා ගත වන සුභ සන්ධ්‍යාවක් හිදී ඒ දේම කරන්නට සම්පත්ට නැවතත් අවස්ථාවක් උදාවනු ඬයතය. එහෙම සිතුණේ අපටය.

දිනක් ‘සුභ සන්ධ්‍යාවක්’ වේදිකා ගත කිරීමට සියල්ල සූදානම්ය. ප්‍රධාන නළුවා මාර්ක් තවමත් පැමිණ නැත. ඩගී අයියා නේපත්‍යාගාරයේ එහාටත් මෙහාටත් ගමන් කළේ උණු අළු වැටුණු කඩියකු සේය. ඔහු තිරය මෑත් කර ප්‍රේක්ෂාගාරය දෙස බැලුවේය. මුළු ප්‍රේක්ෂාගාරයම පිරී ඉතිරී ගොසිනි. වැඩි වෙලාවක් මෙසේ ප්‍රේක්ෂකයන් රඳවා තබා ගත නෙැහැකිය. ඩග්ලස් සිරිවර්ධන ගිටාරය අතට ගත්තේය. තිරය විවෘත විය. වෙනදා සිටින මාර්ක් වෙනුවෙන් අද සිටින්නේ වෙනත් අයෙකි. වේදිකාව මීයට පිම්බාක් මෙන් නිහඬය. මාර්ක් වේදිකාව ඇතුළට ගියේය. නැවතත් ඔහු මතු වන්නේ ඉදිරිපස දොරෙනි. රත්නා සුපුරුසු ලෙස සිය රංගනයෙහි යෙදුණාය. දොරට දමන්නේ තට්ටුවකි. දොර අරින ලීසා අභියස මාර්ක්ය. සුපුරුදු මාර්ක්ය. ලීසා පුදුම වී බලා සිටියාය.

මේ සියලු බාධක හමුවේ ඔවුන් ප්‍රේමයෙන් වෙළිණි. ඒ ප්‍රේමයෙහි ආරම්භය සනිටුහන් වූයේ ‘සුභ සන්ධ්‍යාවක්’ වෙතිනි. සම්පත් සිය ප්‍රේමය රත්නාට හෙළි කළේ අපූරු තැනකදීය. ඒ පුත්‍ර සමාගම වේදිකා නාට්‍යයෙහි ලයිට් රියසල් එක පැවැති දිනයයි. රත්නා අතේ තිබුණු මුද්ද සම්පත්ගේ නෙත ගැටිණි.

‘කවුද ඔය මුද්ද දුන්නේ ඔයාගේ බෝයි ෆෙ‍්‍රන්ඩ් ද?’

සම්පත් විමසුවේ කාලයක් සිය හදවතෙහි සිර කරගෙන සිටි සිතුවිලි කියන්නට මොහොතක් සොයමින්ය.

නෑ එහෙම නෑ.

රත්නා පිළිතුරු දුන්නේ තිරයට මුවා වෙමිනි.

‘මට කැමැති නැද්ද’

සම්පත් ඇසුවේ තවත් කල් දමන්නට නුසුදුසු යැයි සිතුණු නිසාවෙනි.

‘ගෙදරින් අහන්න’

ඈ කිව්වේ බිම බලා ගිනිමිනි.

මේ සොඳුරු ප්‍රේමය 1990 වසරෙහි එක් තැන්වූයේ සැවොමගේ ආශිර්වාද මැදිනි. කසාදයට අත්සන් තැබූයේ ක්ෂේත්‍රයේම ප්‍රවීණයන් දෙදෙනෙකි. ඒ ජයලත් මනෝරත්න හා ඩග්ලස් සිරිවර්ධනයි.

‘ඔන්න දැන් එක් තැන් කළා. කාලයකදී ඊට එහා දෙයක් කරගන්න ඕන නම් මං ළඟටම එන්න පුළුවන්’

ඩග්ලස් සිරිවර්ධන පැවැසුවේ පැමිණ සිටි සියල්ලන් සිනහ ගන්වමිනි. එතැන් පටන් අද දක්වා පැමිණි විසිතුන් වසරක ජීවන ගමනේ ආලෝකය නොසිඳී පැවැතියේ අපූරු සංසාර ගමනක පැතුමක් ලෙසිනි. ඒ් සොඳුරු ආදරය ද සිහිපත් කෙරෙන සම්පත් - රත්නා අභිනයනය රත්නාට සම්පත්ගෙන් ලැබෙන අපූරු තෑග්ගකි.

‘එන්න ඔබත් මේ මස 17 වැනිදා සවස 6.45 ට කොළඹ නව නගර ශාලාවට’ සම්පත් – රත්නා ඔබට ආරාධනා කරන්නේ සෙනෙහසිනි.