වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




අද ජුනි 14 වැනි දා මතකද දවස?

අද ජුනි 14 වැනි දා මතකද දවස?

06 කොටස

ඉදිරියේදී තිරගතවීමට නියමිත සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ඔහුගේ 53 වැනි චිත්‍රපටය වන ‘දෝණි’ චිත්‍රපටයෙහි තිර පිටපත ඇසුරින් සරසවිය පාඨකයන් වෙනුවෙන් විශේෂයෙන් ලියැවෙන්නකි.

රුවන් පුතු සහ සිඟිති දියණිය නිවෙසට ඇතුළු වූයේ කිසිවක් සිදු නොවූ ගානටය. මම ඔවුන් දෙස විමසිල්ලෙන් බැලීමි. කිසිවක් කතා කිරීමට ඉඩ නොතබාම සේනක පැමිණියේය. දරුවන් අතර වුණු රණ්ඩුව කිවයුතු ද නොකිවයුතු ද යන දෙගිඩියාවෙන් මම සේනක ගේ මුහුණ දෙස බැලිමි. වැඩකටයුතු අධික වීම නිසා ඇතිවන කෙඩෙත්තුවෙහි ලකුණු සේනකගේ මුහුණේ විය. ඔහුගේ සිතෙහි නැති කරදර ඇති කරන්නට නොසිතූ මම කෑම මේසය සූදානම් කළෙමි. සේනකත්, රුවන් හා සිඟිතිත් කෑම මේසයට වාඩිවූයේ එකවිට ය.

‘බඩගිනියි අම්මේ....’

රුවන් පුතු කෑ ගසයි.

‘හොඳ වුණත්, නැතත් අඩුපාඩු කියන්නේ නැතිව කන එකයි ඇත්තේ’

තවම මුළුතැන්ගෙය නිසි පිළිවෙළකට සූදානම් කරගත නොහැකි වූ බැවින් මම පැවසීමි. රුවන් පුතු කෑම කන බව හඟවන්නට මෙන් කට සෙලෙව්වේ මාව රවටන්නටය. මම පුතුට පහරක් ගැසීමි. දෙදෙනාම හඬ නඟා සිනාසුණේ එක්වරමය. කිසිම කතාබහකට සහයෝගය නොදැක්වූ සිඟිති සිටින්නේ දිගු කල්පනාවකට මැදිවය.

‘ඔන්න ඔක්කොම හරි’

මම ඈ දෙස විමසිලිමත් බැල්මක් හෙළීමි. කල්පනාවට බාධා කළ මා සිඟිතිගේ පිඟානට බත් හැන්දක් බෙදීමි. සිඟිති මදෙස බලා සිනාසුණේ ඇගේ ආදරය පවසන්නට මෙන්ය. රුවන් පුතුටත්, සේනකටත් බත් බෙදූ මම මුළුතැන්ගෙයට පිවිසියේ අමතක වූ යමක් රැගෙන එන්නටය. මා ගිය විගස රුවන් පුතු සේනකට රහසින් යමක් කියනු මම දිටිමි.

‘මොකද තාත්තයි පුතයි කුටු කුටු ගාන්නේ’

තාත්තාගෙත්, පුතාගේත් සතරකන් මන්ත්‍රණයට බාධා කරමින් මම පැවසීමි.

‘අම්මේ.... තාත්තා අහනවා......’

රුවන් පුතු අතරමඟ කතාව නතරකර සේනක දෙස බැලීය. සේනක රුවන් පුතුට රැව්වේය.

‘අම්මේ තාත්තා අහනවා කුස්සිය අලුත් වුණාම ලුණු දාන්නත් අමතක වෙනවද කියලා’

රුවන් පුතු පැවසුවේ සේනක ගේ රැවීම ගණනකට නොගෙනය.

‘ලුණු දාලා නැද්ද ? කෝ බලන්න...’

මා හැන්ද අතට ගත්තේ ලුණු බලන්නටය.

‘මාලතී... ඔය කතාව කිව්වේ....’

සේනක පැවසුවේ මා තරහා ගනී යැයි කියන සිතුවිල්ලෙනි. එහෙත් ඔහුට වචන පෙළ අවසාන කළ නොහැකි වූයේ කටට ගත් කෑම පිට උගුරෙහි හිර වූ බැවිනි.මා සේනක අසලට පැමිණියේ, පිටට තට්ටු කිරීමටය.

‘හා හා ඔහොම ඉන්නකෝ තාත්තයි, පුතයි. හෙට මම දෙන්නන්කෝ එකට දෙකක්ම ලුණු දාලා’

සේනකටත්, රුවන් පුතුටත් තරවටු කරන ස්වරයෙන් පැවසූ මාගේ නෙත නතර වූයේ කිසි කතාබහක් නැතිව සිටින සිඟිති දියණිය අසලය. සිඟිති ගේ කල්පනාව නොනවතින හැඩකි.

‘ඇයි ඔයා විතරක් කට වහගෙන ඉන්නේ’

මම සිඟිති ගේ කල්පනාවට බාධා කළෙමි. තමා බලා සිටින දෙසම බලාගෙන සිටි සිඟිති එක්වරම සිය අත දිගු කළේ අප කියූ කිසිවක් නෑසුණු අයුරිනි. සිඟිති අත දිතු කළ දෙසට නෙත් යොමු කළ අපට දැක ගත හැකි වූයේ කැලැන්ඩරයකි.

‘ඇයි දුව?’

සිඟිති ගේ හැසිරීම දෙස කුතුහලයෙන් බැලූ අපට මේ හතරපද ප්‍රහේළිකාව විසඳා ගත නොහැකි ගැටලුවක් විය. අපි තිදෙනා මුහුණෙන් මුහුණ බැලීමු. සිඟිති අත දිතු කර ගත්වනම සිටියාය.

‘අද ජුනි 14 වැනි දා’

සිඟිති එක්වරම පැවසුවාය.

‘ඉතිං’

මම තවදුරටත් පැවසුවේ සිඟිතිව කතා කරවන අදහසිනි.

‘නිලේෂා නංගි නැති වුණේ අද නේ’

සිඟිති පැවසුවේ අප කිසිවකු අපේක්‍ෂා කළ දෙයක් නොවේ. මම කැලැන්ඩරය දෙසම බලා සිටියෙමි. ඒ මගේ ජීවිතයේ අමතක නොවන අතීතයේ දවසකි. නෙතඟ නැඟුණු කඳුළු කැට කිහිපයක් රූ රා වැටුණේ ඉබේටමය. මම කාමරය සොයා දිව්වෙමි. ඒ සිත ඉහිලුම් නොදෙන ඒ ශෝකී පුවත මට වද දෙන්නට වූ නිසාය. ඇඳ විට්ටමට හිස ගසා ගත් මම ඉකිබිඳ හැඬීමි.

‘මාලතී’

සේනක මා අමතයි. ඔහුගේ ස්වරය මාගේ ශෝකය දෙගුණ, තෙගුණ කළාය. මම මහ හඬින් ඉකිබිඳ හැඬීමි.

‘අංකල් අද සමිතියට එන්නේ නැද්ද?’

නිවෙසට එබුණු සුරංග පුතුගේ හඬ අප මතකයට නැගුවේ ඊළඟ කටයුත්තයි.

‘අපට දැන් යන්න වෙනවා මාලතී’

සේනක කිව්වේ තට්ටු නිවාස සංකීර්ණයෙහි පවත්වන රැස්වීමට සහභාගි විය යුතුම වූ නිසාවෙනි. මම මද වේලාවක් එහිම රැඳී සිටියෙමි.

නිවාස සංකීර්ණයේ රැස්වීම්ශාලාවට රැස්වූ පිරිසගේ ස්වරය එන්න එන්නම උස් හඬක් බවට පත්වෙයි. සභාපති මේ පිරිස නිශ්ශබ්ද කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. උස් හඬින් හඬ නඟා කතා කළ ඔහු නිවාස සංකීර්ණයට අමුත්තන් වූ අප පළමුව පිළි ගත්තේය.

‘සේනක ගුණවර්ධන මහත්මයාවත්, එයාගේ නෝනා මාලතීවත් හඳුනා ගන්න එක අප කාටත් හොඳයි’. ඔහු කිව්වේය. සියල්ලන්ම අප දෙදෙනා දෙස බලා සිනාසුණේ සිය හිතවත් කම පෑමටය. ඊළඟට ඔවුන්ගේ අවධානය යොමු වුණේ නිවාස සංකීර්ණයෙහි උන් අසනීප වූ ළමයකුගේ ගැටලුවක් කෙරෙහිය.

මතුසම්බන්ධයි