වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රේෂ්ඨ නායකයකු වෙනුවෙන් තැනුණු චිත්‍රපට

ශ්‍රේෂ්ඨ නායකයකු වෙනුවෙන් තැනුණු චිත්‍රපට

ලන්ඩන් නුවර රාජකීය සිනමා දැක්මට විලියම් - කේට් රාජකීය යුවළ පැමිණියේ සුපුරුදු මන්දහාසයෙනි. ‘මැන්ඩෙලා ලෝංග් වෝක් ටු ෆ‍්‍රීඩම්’, නෙල්සන් මැන්ඩෙලා චරිතාපදානය නැරැඹීමට දෙසැම්බර් 5 වැනි බ්‍රහස්පතින්දා ඔවුන් පැමිණෙන විට බ්‍රිතාන්‍ය වේලාව පස්වරු 6.50 පමණ විය. සිනමාපටය ඇරැඹීමට මිනිත්තුවකට පෙර රාජකීය ආරක්ෂක නිලධාරියා, කුමරියගේ පෞද්ගලික ලේකම්වරයාට කියා සිටියේ ‘මොහොතකට පෙර මැන්ඩෙලා මහත්තයා මිය ගියා’ යන පුවතයි. කේට් කුමරියගේ නෙත් කඳුළින් තෙත් විය. විලියම් කුමරු කඳුළු දිරියෙන් සඟවා ගත්තේය.

සුදු අධිරාජ්‍යයේ රාජකීයයන් තමන්ගේම සුදු ජාතිකයන්ගෙන් උපන් දේශය ගලවාගත් කළු ජාතිකයාගේ වීරත්වය වෙනුවෙන් ඔහු මියගිය මොහොතේම උණු කඳුළින් දෙනෙත් තෙත්කර ගැනීම දෛවෝපගතය.

විසි හත් වසරක් සිරබත් කෑ මේ වීරයාගේ ජීවිත කතාව ද මහත්මා ගාන්ධි, මාටින් ලූතර් කිං වැනි වීරයන්ගේ චරිතාපදාන සේම ඉතිහාසගතය. සිනමාගතය. සෙලියුලොයිඩ් පටියට අභිමානයක් කැන්දන නෙල්සන් මැන්ඩෙලා චරිතය ඔහු ජීවත්ව සිටියදීම සිනමාවට නැගුණි. ජීවත්ව සිටිය දී වැඩිම වාර ගණනක් සිනමාවට නැගුණු චරිතය ද මැන්ඩෙලා විය යුතුය.

* මැන්ඩෙලා (1987)

හෝම් බොක්ස් ඔෆිස් (එච් බී ඕ) නම් අමෙරිකාවේ පුරෝගාමී කේබල් චන්ද්‍රිකා රූපවාහිනී ජාලය මඟින් විකාශය කළ ‘මැන්ඩෙලා’ ටෙලි සිනමාපටයේ නෙල්සන් මැන්ඩෙලා ලෙස රැඟුවේ ඩැනී ග්ලෝවර්ය. මෙය පිලිප් සැවිල් ගේ අධ්‍යක්ෂණයකි. තිර පිටපත රොනල්ඩ් හාවුඩ්ගේය.

* මැන්ඩෙලා ඩි ක්ලාර්ක් (1997)

සිඩ්නි පොයිටර් මැන්ඩෙලාට පණ පෙවූ ‘මැන්ඩෙලා ඩි ක්ලාර්ක්’ ටෙලි සිනමාපටයේ 1964 ජූනි 12 වැනිදා මැන්ඩෙලා සිරගත වූ දින සිට දකුණු අප්‍රිකාව නිදහස ලබන දා දක්වා සියලු ඓතිහාසික කරුණු අන්තර්ගතය. මෙය රූගත කර ඇත්තේත් දකුණු අප්‍රිකාවේය. සිදුවීම්වලට අදාළ තැන්වලම සිනමාපටය රූගත කර තිබීම ද සුවිශේෂීය. මේ නිර්මාණය සම්මාන ගණනක් සඳහා නිර්දේශ විය.

* ගුඩ් බායි බෆානා (2007)

මෙය ‘ද කලර් ඔෆ් ෆ‍්‍රීඩම්’ නමින් අමෙරිකාවේ ඩීවීඩී තැටි මඟින් ද අලෙවි කරන ලදී. බිල් ඕගස්්ට්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි නෙල්සන් මැන්ඩෙලා සහ ජේම්ස් ග්‍රෙගරි අතර ඇති සබඳතාව විග්‍රහ කෙරෙයි. සිනමාපටයේ නෙල්සන් මැන්ඩෙලාට පණ පෙව්වේ ඩෙනිස් හර්බර්ට්ය. මැන්ඩෙලා, ජේම්ස්ගේ නිරීක්ෂණය යටතේ සිටියදී ග්‍රෙගරිගේ පවුල් ජීවිතයේ සිදු වූ වෙනස්කම් ද සිනමාපටයෙන් අපූරුවට විදහා දක්වයි.

* මිසිස් මැන්ඩෙලා (2009)

බීබීසී චැනලයෙන් විකාශය කළ ටෙලි සිනමා සිත්තමකි. ඩේවිඩ් හෙයාර්වුඩ් මෙහි මැන්ඩෙලා ලෙස රඟපෑවේය. මෙය විනී මැන්ඩෙලා, නෙල්සන් මැන්ඩෙලා යුග දිවිය, දේශපාලනය ගැන කෙරෙන විවරණයකි.

* ඉන්වික්ටස් (2009)

ජෝන් කාලින්ගේ ‘ප්ලෙයිං ද එනිමි නෙල්සන් මැන්ඩෙලා ඇන්ඩ් ද ගේම් දැට් මේඩ් අ නේෂන්’ කෘතිය ඇසුරින් තිරයට නඟන ලද්දකි. 1995 රග්බි ලෝක කුසලානය කාලයේ හා ඊට පෙර සිදුවීම් මෙහි අන්තර්ගතය.

සිනමාපටය 2009 දෙසැම්බර් 11 වැනි දින අමෙරිකාවේ මුල්වරට තිරගත කරන ලදී. ඉන්වික්ටස් යන ලතින් වචනයේ අපරාජිත, පරාජය කළ නොහැකි යන අරුත ගැබ් වී පවතී.

සිනමාපටය විචාරක අගැයුමට ලක්වූවකි. ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නළුවාට මෙහි නෙල්සන් මැන්ඩෙලා ලෙස රැඟූ මෝගන් ෆ‍්‍රීමන් ද, හොඳම සහාය නළුවා ලෙස මැට් ඩේමාන් (ෆ‍්‍රැන්කොයිස් පීනාර්) ද නිර්දේශ විය.

* විනී මැන්ඩෙලා (2011)

ඈන් මාරි ඩු ප්‍රීස් බෙස්රොබ්ස්ගේ විනී මැන්ඩෙලා ජීවන චරිතය ඇසුරින් ‘විනී මැන්ඩෙලා අ ලයිෆ්’ සිනමාපටය නිර්මාණය වී තිබේ. ඩැරල් රූඩ්ගේ අධ්‍යක්ෂණයේ නෙල්සන් මැන්ඩෙලා චරිතය නිරූපණය කර තිබෙන්නේ ටෙරන්ස් හෝවඩ්ය. සිනමාපටය 2011 සැප්තැම්බර් 26 වැනිදා ටොරොන්ටෝ සිනමා උළෙලේ දී තිරගත කෙරුණු අතර එය අමෙරිකාවේ මුල්වරට තිරගත කෙරුණේ 2013 සැප්තැම්බර් 6 වැනි දිනයි.

* මැන්ඩෙලා : ලෝංග් වෝක් ටු ෆ‍්‍රීඩම් (2013)

1994 වසරේ ප්‍රකාශිත ‘ලෝංග් වෝක් ටු ෆ‍්‍රීඩම්’ කෘතිය පාදක කරගෙන නිර්මාණය වුණු මැන්ඩෙලා ජීවත්ව සිටියදී තිරගත වුණු ඔහු පිළිබඳ අවසන් සිනමාපටයයි. සිනමාපටය මුල්වරට 2013 සැප්තැම්බර් 7 වැනිදා ටොරොන්ටෝ සිනමා උළෙලේදී තිරගත විය. එය ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේ නිල වශයෙන් නිම කරමින් තිරගත වූයේ නොවැම්බර් 30 දාය. ඒ මැන්ඩෙලා මිය යාමට සතියකටත් අඩු කාලයකදීයි. අයිඩ්‍රිස් එල්බා සිනමාපටයේ නෙල්සන් මැන්ඩෙලා ලෙස රැඟුවේය.

නෙල්සන් මැන්ඩෙලාම තම චරිතයට පණ පෙවූ මැන්ඩෙලා (1996) වාර්තා වැඩසටහන ඔහුගේ පළමු නිල චරිතාපදාන සිනමාපටය වෙයි. මේ වාර්තා වැඩසටහන ඔස්කාර් සම්මාන සඳහා ද නිර්දේශ විය.