වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




පුංචි තිරේ මේ දවස්වල සුලෝචනාත්, ශලනිත් මමයි

පුංචි තිරේ මේ දවස්වල සුලෝචනාත්, ශලනිත් මමයි

දිලිනි පෙරේරා

රංගන ශිල්පිනියක් වීම පුංචි කාලේ ඇගේ බලාපොරොත්තු අතරේ නැති වුණත් ඇය ටෙලි නාට්‍ය නැරැඹුවේ හරිම ආසාවෙන්. ඒ විදියට නරඹපු සමහර නාට්‍යවල චරිත තමන් වුණා නම් කියලත් සිතුණු අවස්ථා නැතුවාමත් නොවෙයි. කොහොම හරි කාලය ගත වෙලා තාරුණ්‍යයට පිවිසි ඇය දැන් රංගන ශිල්පිනියක්. මේ දවස්වල විකාශය කෙරෙන ‘සත්‍ය’ ටෙලි නාට්‍යයේ ශලිනි ලෙසත්, ‘ඉස්සරහට යන්න’ ටෙලි නාට්‍යයේ සුලෝචනා ලෙසත් ඔබේ ආලින්දයට එන ඇය දිලිනි පෙරේරා. දිලිනි සිය රංගන ජීවිතය ගැන සිහිපත් කළේ මේ අයුරින්.

‘හැම දෙයක්ම හරිම ලස්සනට පිළිවෙලට කරන එක පුංචි කාලේ ඉඳලාම මගේ පුරුද්දක්. පාසල් අධ්‍යාපනය අවසන් වනවාත් සමඟම මගේ හිත යොමු වුණේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයට. ඒ පිළිබඳ හොඳින් හදාරලා මම සැලෝන් එකක් පටන් ගත්තා. ඒ වෙන කොටවත් මගේ හිතේ රංගනය ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. ඒ වුණාට ලැබුණ වෙලාවන් අනුව මම ටෙලි නාට්‍ය නැරැඹුවා. සමහර චරිත දිහා බලන කොට නම් ඒවා මටත් කරන්න පුළුවන් කියලත් හිතුණු අවස්ථා තිබුණා. දවසක් මට මගේ යෙහෙළියක් කතා කරලා ඇහුවා රඟපාන්න කැමැති ද කියලා. ඒ 2011 වසරේදී. ඇය පවිත්‍රා වික්‍රමසිංහ. ඇයත් රංගන ශිල්පිනියක්. ලොකු බලාපොරොත්තුවක් නොවුණට හිතේ තිබුණු පුංචි ආසාවත් නිසා මම ඒ ආරාධනාව පිළිගත්තා.

ඒ අනුව තමයි මගේ රංගන ජීවිතය ආරම්භ වුණේ. ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ පිපෙන මල් ටෙලි නාට්‍යයේ තමයි මගේ මුල්ම රංගනයේ යෙදුණේ. කැමරාවට මුහුණ දුන්න පළමු දවසේ නම් ටිකක් බයක් වගේම චකිතයකුත් තිබුණා. දවස් කිහිපයක් ගත වුණාම ඒ ගතිය මඟහැරිලා ගියා.

ඒ වගේම ෆීල්ඩ් එකේ ප්‍රවීණයන්ගෙන් ලොකු සහයෝගයක් මට ලැබුණා. ඒ ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු සතුටක්. ඊට පසුව සිවගුරුනාදන්ගේ ‘මේ සුරම්‍ය පාරාදීසය’, ‘කෝරළේ මහත්තයා’ ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. මීට අමතරව මම රංගනයෙන් දායක වුණ ‘වීදිය බණ්ඩාර’, ‘හිරුට මුවාවෙන්’, ‘චන්න කින්නරාවී’, ‘දුවන බාබර්’, යන ටෙලි නාට්‍ය විකාශය වෙන්න නියමිතව තියෙනවා.

එරංග සේනාරත්නගේ ‘ඔක්කොම පිස්සො’, ‘නෝනෙ මගෙ සුදු නෝනේ’ සහ ජනක අරවින්දගේ ‘පෙරකදෝරු ගැටේ’ චිත්‍රපටවලටත් රංගනයෙන් දායක වෙන්නත් මට අවස්ථාව ලැබුණා. දැන් මම රංගන කටයුතුවල යෙදෙන්නේ හරිම කැමැත්තෙන්. මගේ ජීවිතයේ රංගනයට වැඩි ඉඩක් වෙන් කරලා නිසා මේ දවස්වල මම රූපලාවන්‍ය ක්ෂේත්‍රයෙන් තරමක් ඈත්වෙලා ඉන්නේ. රංගනය කියන්නේ විවිධත්වයක් තියෙන ක්ෂේත්‍රයක්. ඒ විවිධත්වයට මම ගොඩක් කැමැතියි. ඒ වගේම මගේ රංගන කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන්නේ ලොකු සහයෝගයක්. තවත් විශේෂ දෙයක් කියන්න තියෙනවා. මට රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව උදාකර දුන් පවිත්‍රා අක්කා ඇතුළුව මගේ රංගන කටයුතුවලට සහාය දුන් සැමටත් අධ්‍යක්ෂවරුන්ටත් විශේෂයෙන් ස්තූති කරනවා.