වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන කමලනාත්ගෙන් ඉල්ලීමක්

අර්ජුන කමලනාත්ගෙන් ඉල්ලීමක්

රවී - සෝමරත්න – රේණුකා - ජයන්ත ධර්මදාස මට සමාවන්න

අමීෂා සමග ළඟදී විවාහ වෙනවා

අර්ජුන කමලනාත්ගේ වෙස් පෙරළිලාලු. ඒ විතරක් නෙවෙයි සෙවනැල්ල වගේ උන්නු ඔහුගේ පෙම්වතිය අමීශා කාවින්දි අර්ජුනව අතහැරලා ගිහින්ලු.

අර්ජුන ගැන අන්න ඒ විදිහෙ කටකතා ගොඩක් පැතිරුණා. හැබැයි මේවා ගැන කතා කරන්න ඔහු ඉස්සර තරම් මාධ්‍යවලට ආවෙ නැහැ. ඒ වගේම අර්ජුන දුරකතන අංකයත් මාරු කරලා. මොකද මේ එකපාරටම ඔහුට වුණේ. අපිටත් ප්‍රශ්නයක්. කියන්න තියෙන දෙයක් මූණටම කියන අර්ජුනගෙන් කෙලින්ම අපි ප්‍රශ්න පත්තරයක්ම යොමු කළා.

* අර්ජුන?

ඔව් කියන්න.

* ඇත්තද අර කතාව?

මොකක්ද?

* වෙස් මාරුකරගෙන කියන්නෙ?

ඔව්. ඒ කතාව ඇත්ත.

* මොකද මේ එකපාරටම වුණේ?

ඒකට හේතුව ඉගිලෙන්න ඇයි දඟලන්නෙ චිත්‍රපටය.

* තවදුරටත් පැහැදිලි කළොත්?

ඒ චිත්‍රපටය නිසා තමයි මා වටා ඉන්න සැබෑ යාළුවො හඳුනගත්තේ. ඉගිලෙන්න ඇයි දඟලන්නෙ අපි හරිම මහන්සියෙන් කරපු චිත්‍රපටයක්. ඒක කණ්ඩායම් වැඩක් නිසා අධ්‍යක්ෂණය නාමය යටතේ මං මගේ නමවත් දාගත්තෙ නැහැ. තිරගත කරන්නට නියමිත නැකත තියන දිනයට මට හෝල් ලැබුණෙ නැහැ. මං ඒකේ මංගල දර්ශන දෙකක් තිබුණා. මං හිත්නනේ ලක් සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට එහෙම වුණේ. ඔන්න ඔය කාලෙ තමයි අර කොපි 35 -55 ප්‍රශ්නෙ ආවෙ.

* ඉතින්?

මං කතා කළේ කොපි 35 හොඳයි කියන පැත්තට. මාත් එක්ක සිනමා ක්ෂේත්‍රයේ 95% විතර හිටියා. ක්‍රම ක්‍රමයෙන් මට තේරුණා මගෙත් එක්ක හිටපු අය හිත උඩින් කොපි 35 ට ඒත් යටි හිතින් කොපි 55 හේ උදවිය කියලා. හරියට රෑ දනියෙල් දවල් මිගෙල් වගේ තමා. මට තේරුණා මං තනියම මේ සටන් කරන්නෙ කියලා. මාත් එක්ක කවුරුත් නැහැ. ඒ බව වටහා ගත්තාම මං ඒ මගුල් සේරම අතහැරලා දැම්මා.

* ඒ කියන්නෙ ඔබ පරාදයි?

ඔව් මං පාරදයි. ආයේ මේ සිනමා ක්ෂේත්‍රයේ මොනයම් හෝ අසාධාරණයක් දුටුවොත් මම නම් නෙවෙයි ඇහැක් ඇරලා බලන්නෙ.

* ඔය කොපි ගණන පිළිබඳ ප්‍රශ්නයේදි ඔබ සෝමරත්න - රේණුකා යුවළට ගොඩක් දොස් පැවරුවා නේද?

මං අද ඒ ගැන ගොඩක් කනගාටු වෙනවා. සෝමෙ අයියෙ රේණු අක්කෙ මට සමාවෙන්න. මං ආයෙ එහෙම බනින්නෙ නැහැ.

* ඒ දෙපොළට විතරක් නෙවෙයි ඔබ ක්ෂේත්‍රයේ තවත් කිහිපදෙනෙකුටම විවිධ අවස්ථාවලදි දොස් පවරලා තියෙනවා?

ඇත්ත. මං පිළිගන්නවා. ඒ අතරින් ජයන්ත ධර්මදාස, රවීන්ද්‍ර රන්දෙණිය යන මහත්වරුන් විශේෂයි.

* මොනවගේ වෙලාවල්වලද ඔබ ඔවුන්ට විවේචන එල්ල කරලා තියෙන්නේ?

මාව රිදී රැයක් එකෙන් අයින් කළාට පස්සෙ මං ජයන්ත මහත්තයාට කතා කරලා එක එක දේවල් කිව්වා මට වෙච්ච අසාධාරණය ගැන. රවි අයියට මං දොස් පවරලා තියෙනවා. සිනමාවේ අඩුපාඩු දැක දැක නොදැක්කා වගේ ඉන්නවා කියලා. ඒත් එතුමාණන් සද්ද නැතුව සිනමාවෙ අඩුලුහුඬුකම් වලට පිළියම් යොදලා තියනවා. ඒක මට පෙනිලා නැහැ. ඔවුන්ගෙනුත් මං සමාව යදිනවා.

* ඇත්තටම ඔබට මේ මොකද වුණේ?

මේකයි. මම මෙච්චර දවසක් සිනමාව අංක එක කියලා හිතලා ඒ වෙනුවෙන් වැඩ කළා. අනුන්ට වෙච්ච අසාධාරණකම් පෙනෙද්දි ඒවාට විරුද්ධව නැගී සිටියා. අන්තිමේදි වුණේ අර්ජුන කමලනාත්ගෙ පොකට් එක එම්ටි වුණු එක පමණයි. දැන් මං හිතන්නෙ මං ගැන විතරයි. සල්ලි මගෙ ජීවිතයෙ අංක එක වෙලා තියෙන්නේ.

* ඒ කියන්නෙ සල්ලි දෙනවානම් අර්ජුන කමලනාත් ඕනෑම නිර්මාණයකට එනවා?

ඔව්. මගේ ගාන දෙනවා නම් එනවා. ඉස්සර මං මෙගා නාට්‍ය කළේ නැහැ. දැන් මෙගා නාට්‍ය විතරක් නෙවෙයි ගමේ වෙසක් නාට්‍යයකට වුණත් මට කතා කළොත් මං යනවා. මගේ මුදල දෙනවානම්.

* ඔබගෙ ජීවිතයෙ අංක එක දැන් සල්ලි වෙලා. ඔබ මේ නිහඬවෙන්න හදන්නෙත් අතයටින් සල්ලි ලැබුණු නිසාද?

සල්ලි ගත්තා? පිස්සු. මං අදටත් ඉඟිලෙන්න ඇයි දඟලන්නෙ නිසා හිරු සහ නෙත් ගුවන් විදුලි වලට ණයයි. ඔවුනට මගෙන් සෑහෙන්න මුදලක් දෙන්න තියනවා. හීනෙනුත් පේන්නෙ ණය කාරයෝ. මට සල්ලි ලැබුණා නම් මෙහෙම ණය කාරයෙක් වෙලා ඉන්නෙ නැහැනේ. මං දැන් සල්ලි හොයන්නෙ රඟපාලා. අනුන්ගෙ සල්ලි මට එපා.

* ඔබ සෝමෙ - රේණුකා යුවළ මිතුරු කරගන්න හදන්නෙ ඔවුන්ගෙ ඊළඟ චිත්‍රපටයේ චරිතයක් ලබා ගන්නද?

ඒ ගොල්ලන්ගෙ චිත්‍රපටවලට මාව සුදුසු නැහැ. ඒකනෙ මෙච්චරකල් මාව නොගත්තෙ. ඉදිරියටත් එහෙම වේවි.

* මට නම් පෙනෙන විදිහට ඔබ මෙතුවක් කල් අනුන්ගෙ පදයකට නටලා තියෙන්නේ?

ඔව්. මාව මගෙ වටා ඉන්න ගොඩක් දෙනෙක් ඇවිස්සුවා. සිංහල සිනමාව කියන අඳුරු පටලයෙන් මගෙ ඇස් වැහිලා තිබුණෙ. මං දැන් මගෙ දෑස් පාදගත්තා. ආයෙ මං මෝඩ වෙන්නෙ නැහැ. අර්ජුන කමලනාත් දැන් නිදාගෙන ඉන්න සිංහයෙක්. මතක තියාගන්න ගලන ජලයට වඩා නිසල ජලය භයානකයි. නිසල ජලය තියන තැන්වල ගැඹුර ඉතා දැඩි විය හැකියි.

* හරි මට දැන් දැන ගන්න ඕනෙ වෙනත් කාරණයක් ගැන. කෝ දැන් අමීශා?

ඔය ඉන්නෙ යසට.

* ඔබත් එක්කද?

නැත්තං ඉතින්...

* එහෙනම් අමීශා ඔයාව දාලා ගියා කියන්නෙ?

මොන බොරුද? අපි ළඟදීම විවාහ වෙනවා.

* හැබැයි ඔබව දාල අමීශා කාලයක් විදෙස් ගතවෙලා හිටියනෙ?

ඒක වුණේ මෙහෙමයි. මගෙ කේන්දරේට සෙනසුරු ලැබුව. එයාගෙ කේන්දරේට රාහු ලැබුවා. කේන්දර බලපු කෙනා කිව්වා අපි දෙන්නට එකට ගමන් බිමන් යන එක අඩු කරන්න කියලා. ඉතින් ඇය කටාර්වල ඉන්න ඇගේ අක්කා ගාවට ගියා. ඔන්න ඕකයි වුණේ.

* මොනවද මේ දිනවල ඔබගේ කලා කටයුතු?

මං ඉන්න සුරංග ද අල්විස්ගෙ රජහොරු සිනමාපටයේ ප්‍රචාරණ වැඩකටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ චිත්‍රපටයටත් කෙනෙහිලිකම් ගොඩයි. මක් කරන්නද.

* අර්ජුන මෙච්චර වෙලා කියපු දේවල් ඇත්ත නේද?

අර්ජුන අවංකයි. ඉහත මා කියූ දේවල් කිව්වෙ හදවතින්. මේක මගේ ජීවිතයේ ටර්නිං පොයින්ට් එක. ජයවේවා.