වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




රුවන්ගේ ශබ්දාගාරය කඩා සියලු උපකරණ රැගෙන ගිහින් මට දුකක් දුන්න අයට හරි යන්නේ නැහැ

රුවන්ගේ ශබ්දාගාරය කඩා සියලු උපකරණ රැගෙන ගිහින්

මට දුකක් දුන්න අයට හරි යන්නේ නැහැ

නොදැක ඉන්න බෑ ගීතයෙන් අතිශය ජනාදරයට පත් වූ රුවන් හෙට්ටිආරච්චි පහුගිය දවසක නොසිතු විරූ කරදරයකට මුහුණපාන්න වුණා. ඔහුගේ ශබ්දාගාරයට කිසියම් පිරිසක් ඇතුළු වී එහි තිබූ සියලුම උපකරණ හොරකම් කරලා. ළඟදී දිනයක විවෘත කෙරුණු එය නිම කොට තිබුණේ රුවන් සංගීතයෙන් උපයා ගත් මුදල්වලින්. ඒ උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ දොළහමාරක්. මේ වන විට රුවන් පසු වන්නේ දැඩි කනස්සල්ලකින්. ඒ සංවේගය මඳක් හෝ යටපත් කරගෙන ඔහු අප හා මෙලෙස අදහස් බෙදාහදා ගත්තා.

රුවන් කවදාද ඒ සිද්ධිය වුණේ?

හරියටම ගිය තුන්වැනි අඟහරුවාදා පාන්දර. ඊට කලින් දවසෙයි මගේ බිරිය වන ශෙරිල්ගේ සැලුන් එක ඕපන් කළේ. ඒක නිසා එහිදී අපි දෙන්නම ටිකක් කාර්යබහුල වුණා. ඇයව සැලුන් එකේ තියලා ස්ටුඩියෝ එකට ආවා එතන වැඩ කරන මල්ලිත් නුවර. ඔහුත් ගමේ ගිහිල්ලා. ඉතින් මං එතැන පොඩ්ඩක් ඉඳලා දොරවල් එහෙම හොඳට ලොක් කරලයි එළියට බැස්සේ.

කොහොමද එහෙනම් හොරු ඇතුළු වෙලා තියෙන්නේ?

ඒක තමයි. ආරංචිය ආවාම මමත් හිතුවෙ හොරු ඇවිත් තියෙන්නේ ඇතුළේ තියෙන ජනේලයෙන් පැනලා කියලා. ඒත් වෙලා තියෙන්නේ සවිශක්තිමත් ආයුධවලින් දොරේ අගුළු සේරම කඩලා.

ඉතින් අවට කාටවත් ඇහිලා නැද්ද?

ඒක මං කුලියට ගත්තු තැනක්. නිවසක නෙවෙයි ස්ටුඩියෝ එක තිබුණේ. අනික පාර අයිනේ නිසා කාටවත් ඇහෙන්න නැතුව ඇති.

ස්ටුඩියෝ එකේ සියලු දේවල් අරන් ගිහින් නේද?

ඔව්. ඒකේ තිබුණු මොනිටර් සවුන්ඩ් කාඩ්, මයික් කී බෝඩ් එක මේ සේරම ගෙනිහින්. ඒවායේ වටිනාකම ලක්ෂ දොළහමාරක් පමණ වෙනවා. අනික මං හදපු සිංදුවල සේරම ප්‍රොජක්ට් ඒකේ. ඒවා ආයේ මුල ඉඳලම හදන්න වෙනවා.

සාමාන්‍ය සොරෙකුට මෙවන් වූ උපකරණ වැඩක් තියෙනවද?

අන්න ඒක තමා ගැටළුව. මේ වැඩේ කරලා තියෙන්නේ අපි ගැන හොඳට දන්න කෙනෙක්. මේක තරහට කරපු දෙයක් කියලා තේරෙන්නේ මං නම් කියන්නේ මගේ මේ දේවල් හොරකම් කරගෙන ගිහින් වෙනත් තැනක සෙට් කරලා. වැඩක් පටන් ගත්තොත් යාදෙන එකක් නැහැ. මොකද මං මේ සල්ලි හම්බ කෙරුවේ බල්ලො මරලා නෙවෙයි. කට්ට කාලා අමාරුවෙනුයි මේ නම හදා ගත්තේ. ඇත්තම මේ කරලා තියෙන්නේ පව්කාර වැඩක්.

මේ වන විට ඔබ නීතිමය ක්‍රිය මාර්ග අරගෙන ද තියෙන්නේ?

මං මිරිහාන පොලීසියේ පැමිණිල්ල්ක් දැම්මා. පරීක්ෂණත් පැවැත්වූවා. ඇඟිලි සලකුණක්වත් හොයා ගන්න බැහැ. දොර කඩලා තියෙන්නේ රබර් ග්ලවුස් දාගෙන.

ක්ෂේත්‍රයේ ඔබට තරහ කාරයෝ ඉන්නවාද?

මූණට හැමෝම හිනා වෛලා ඉන්නේ. ඒත් මේ සිද්ධියෙන් පසු අපි තේරුම් ගත්තා අපට එදිරිවාදිකම් කරන්න ගොඩක් අය ඉන්නවා කියලා. මාත් ශෙරිලුත් දැන් බොහොමත් ප්‍රවේසම් වෙනවා.

ශබ්දාගාරය නැවත පටන් ගන්න අදහසක් තියෙනවද?

දැන්ම නැහැ. එවන් වූ විශාල මුදලක් ඉතිරි කරන්න තව බොහෝ කාලයක් ගත වේවි. මං මගේ ක්ලාස් කළෙත් එතැන. දැනට තාවකාලිකව ස්ටුඩියෝ එක තිබුණු තැන අස්පස් කරලා අයිති අයට බාර දුන්නා.

ශෙරිල් මොකද කියන්නේ?

එයා තමා මගේ ශක්තිය. ඇය මාව දිරිමත් කරනවා. ජීවිතය වැටෙන්නේ නැතුව ඉන්න ගොඩක් දේ කියනවා. ඇය නොමැති වුණා නම් මාව හුඟාක් මානසිකව වැටෙනවා.

මොනවද ඔබේ අලුත්ම සංගීත කටයුතු?

පුරුදු විදිහට ප්‍රසංගවලට සහභාගී වෙනවා. මගේ නවතම ගීතය වන හිතද්දී හිත ගීතය මේ වන විට ඉතාම ජනප්‍රිය වෙලා. ඒ වගේම රැවටුණු තරම් ගීතයටත් හොඳ ඉල්ලුමක් ප්‍රසංග වේදිකාවේ තියෙනවා.

රුවන් ඇත්තටම ඔබට මොකද හිතෙන්නේ?

හිතට දුකයි. ඒත් බිරිය ඇතුළු පවුලේ අයගේ සහයෙන් නොවැටී ඉන්නවා. මොන දේ හොරකම් කළත් රුවන් හෙට්ටිආරච්චිගේ ටැලන්ට් එක කාටවත්ම ගන්න බෑ. වෙඩි තියලා මැරුවොත් හැර මගේ ගමන මේ වගේ දේවල්වලින් නවත්වන්නේ නැහැ.