වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




මිනිස්සුන්ට මේ මොකක්ද කියලා හිතාගන්න බැරිවුණා

මිනිස්සුන්ට මේ මොකක්ද කියලා හිතාගන්න බැරිවුණා

සමනල සංධ්වනියේ නිෂ්පාදක රුවන් ජයසිංහ

මේ දිනවල අති සාර්ථක ලෙස තිරගතවන සමනල සංධ්වනිය චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙස රුවන් ජයසිංහ නැවත කතා කරළියට පැමිණ තිබේ. මීට පෙර මාතා චිත්‍රපටයෙහි නිෂ්පාදක ලෙස අපට මුණ ගැසුණු රුවන් නිරතුරුවම ප්‍රේක්ෂකයාට ගුණවත් රසවත් මෙන්ම අර්ථවත් නිර්මාණ දායාද කිරීමට වෙහෙසෙන නිෂ්පාදකවරයෙකි. ප්‍රේක්ෂකයා රසවත් කිරීම උදෙසා දැවැන්ත නිර්මාණ වලට නොබියව අතතබන හෙතෙම ඉදිරිය විනිවිදව දකින නිෂ්පාදවරයෙක් ද වෙයි. මේ සරසවිය සහ රුවන් එක්වූ මොහොතක ප්‍රතිඵලයකි.

* රුවන් කොහොමද සමනල සංධ්වනියේ වර්තමාන තත්ත්වය.

ඉතාම හොඳයි. මේ වන විට දින 70 ක් චිත්‍රපටය තිරගතවෙලා තිබෙනවා. ලක්ෂ 800 ක පමණ මුදලක් හොයලත් තියෙනවා. තවමත් චිත්‍රපටය ඉතාමත් සාර්ථකව තිරගත වෙනවා. සමනල සංධ්වනිය කියන්නේ වාණිජ චිත්‍රපටයක් නෙවෙයි. ඒ වගේම ආගමික, ඓතිහාසික කතාවක් පාදකවුණු චිත්‍රපටයකුත් නෙවෙයි. ඉතිං මේ කරුණු සලකල බැලුවම අපි ඉන්නෙ ඉහළම තැනක

* ඒත් මුල්කාලෙදි ප්‍රේක්ෂකයා සමනල සංධ්වනිය අතෑරල දාල නේද තිබුණෙ.

ඔව්... ඒ කතාවට මං සම්පූර්ණම එකඟයි. චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරල පළමු සති දෙක ඇතුළත මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට ගියේ නැහැ. ඒකට හේතුව තමයි ඒ ප්‍රචාරණ යාන්ත්‍රණය නොගැළ-පීම්වලින් පිරී තිබීම. චිත්‍රපටය කලාත්මක වුණා වගේම ප්‍රචාරණ ක්‍රම වේදයත් කලාත්මක වුණා. ඉතිං මිනිස්සුන්ට මේ මොකක්කද කියල හිතාගන්න බැරිවුණා. ඇතැම් පිරිස හිතුවෙ සමනල සංධ්වනිය කියන්නේ ඔපෙරා එකක් කියලයි. ඇතැමුන් හිතුවා මේක සුභාවිත සංගීතයෙන් අනූන සංගීත වැඩසටහනක් කියලා. ඒ නිසා මිනිස්සු චිත්‍රපටය බලන්න ආවෙ නැහැ. එහෙමයි කියල චිත්‍රපටය ගලවන්න තරම් සෙනඟ අඩුවීමක් තිබුණේ නැහැ. සෙනඟ අඩුයි කියල කිව්ව කාලෙ සාමාන්‍ය ප්‍රේක්ෂක පිරිසක් අපට හිටියා. ඒකට ඇතැම් දෙනා විශාල කටකතා ගෙනගියා.

මේ තත්ත්වය මම සති දෙකකින් හරියටම තේරුම් ගත්තා. අපි ට්‍රේලර්, පෝස්ටර්, කටවුට් සියල්ල වෙනස් කළා. වෑන්වලින් ගමට ගිහිං චිත්‍රපටය ගැන දැනුවත් කළා. ඉන් පසුව තත්ත්වය වෙනස් වුණා.

* ගම් පළාත්වල ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඇතැම් තැන්වලින් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. තවත් තැන්වලින් සැලකිය යුතු මුදලක් ලැබුණෙ නැහැ. මුලින්ම චිත්‍රපටයෙ කොපි 35 ක් පෙන්වන්නටයි සැලසුම් කරල තිබුණේ. නමුත් අනතුරුව කොපි 45 ක් දක්වා එය වර්ධනය වුණා. ඒ සිද්ධියෙන් තවත් අමතර වියදමක් ගියා. යහපත් ප්‍රතිචාර ලැබුණෙ නැහැ. සාමාන්‍යයක් විදියට ගත්තම ගම්වල පිරිස චිත්‍රපටය නැරඹුවා.

* චිත්‍රපටය දින 100 ක් දුවයිද?

දින 100 දුවන්න පුළුවන්. ඒත් අනෙක් චිත්‍රපටවලට ඉඩ දිය යුතු නිසා මං දින 77 කින් චිත්‍රපටය පළමු වටයේ ප්‍රදර්ශනය නිමා කරන්න එකඟ වුණා.

* මේ දින නියමකර ගැනීම ප්‍රේක්ෂකයාට වගේම නිෂ්පාදකවරයාටත් අසාධාරණයක් නෙවෙයිද?

නැහැ. දින නියම කර ගැනීම හරහා ප්‍රේක්ෂකයා දැනුවත් වෙනවා චිත්‍රපටය නියමිත දිනයට නිමාවන වග. ඒ මොහොතේදී ඔහු හෝ ඇය තීරණය කරනවා ඉතා ඉක්මනින් චිත්‍රපටය නරඹන්න. එතකොට බලන ප්‍රේක්ෂකයා කොහොමත් බලල. මුදලත් ලැබිල. මේ කාරණා දෙකම ඉටුවෙලා.

* රුවන් ඔබ නිරතුරවම විවිධ දේ කරන්නට උත්සාහ දරන චරිතයක්. සමනළ සංධ්වනිය වගේ චිත්‍රපටයක නිෂ්පාදකවරයා වෙන්න හිතුවෙ ඇයි?

මේ චිත්‍රපටය ගැන අපි කතා කළේ 2010 – 2011 වසරවලදී. ජයන්ත චන්ද්‍රසිරි කියන්නෙ ඉතාමත් හොඳ නිර්මාණශීලි අත්දැකීම්වලින් පිරි අධ්‍යක්ෂවරයෙක්. ඒ කාලෙ ආව චිත්‍රපට රැල්ලට හාත්පසින් වෙනස් චිත්‍රපටයක් තමයි සමනළ සංධ්වනිය. ඉතිහාසය, යුද්ධය ගැන කතා හැදුණු ම යුගයේ හොඳ ආදර කතාන්දරයකට ඉඩක් තිබෙනව කියල මටත් හිතුණා. ඒ වගේම මේ චිත්‍රපටය සංගීතය පදනම් වුණ කතාදරයක්. මේ හේතු පදනම් කරගෙන නිෂ්පාදනයට යොමුවුණා. මම ඒ ගත්ත තීරණය සාර්ථකය කියල දැන් හිතෙනවා.

* ලංකාවෙ නිෂ්පාදකයා ඉන්නෙ ගැටලු රැසකට මැදිවෙලා.

ඔව්... ඇත්තටම නිෂ්පාදකයා අතරමං වෙලා කිව්වොත් හරි. චිත්‍රපටියක් කරල පෙන්නන්න තැනක් නැහැ. මණ්ඩලවල ප්‍රශ්න. පෝලිම්වල ගැටලු. ඉතිං මේ ප්‍රශ්න කන්දරාවක් එක්ක තමයි අපි මේ ගමන යන්නෙ. සුව පහසු පුටුවක ඉඳල චිත්‍රපටය බලනවා වගේ නිෂ්පාදන කටයුත්ත සුන්දර නැහැ.

* සිනමා ශාලාවකින් චිත්‍රපටය ඉවත්කිරීමට තීරණය කරන්නෙ කොහොමද?

සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා කියන දින හතරේ ආදායම ශාලාවේ පුටු ප්‍රමාණයෙන් සියයට 25 ක් විය යුතුයි. උදාහරණයක් විදියට ආසන 200 ක් තිබෙන ශාලාවක් ගනිමු. දිනකට දර්ශන වාර තුනයි. එවිට මුළු පුටු ප්‍රමාණය 600 යි. දිනකට 600 ක් බලනවා. ඒ අනුව දින හතරට 2400 ක් නැරඹිය යුතුයි. ඉතිං සියයට 25 ක් කියන්නෙ 600 ක්. මේ දින හතර තුළ ආදායම 600 දෙනෙකුගේ මුදල විය යුතුයි.

* මාතා... අපි ඒ ගැනත් කතා කරමු.

මාතා අධිතාක්ෂණික උපකරණ උපයෝගි කරගෙන තනපු චිත්‍රපටයක්. චිත්‍රපටයේ කාර්ය මණ්ඩලය වගේම බොහෝ උපකරණ ගෙනාවෙත් පිටරටින්. ඒ වගේම ශබ්ද පරිපාලන උපකරණ මේ සියලු දේම ලෝකයෙ නවීණතම දේවල් තමයි භාවිතා කළේ. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා විශාල පිරිසක්ද සහභාගි වුණා. දවස් 125 ක් යුද්ධයෙන් මුදාගත් ප්‍රදේශවල රූගත කළා. ඒ කාලෙ වතුර ගෙනාවෙත් වව්නියාවෙන්. ඉතිං චිත්‍රපටයට ඉතා විශාල මුදලක් වැය වුණා. ඒ මුදලට සරිලන විදියට ආදායම් ලැබුණෙ නැහැ.

ඒ වගේම අපි බලාපොරොත්තු වූ පිරිස චිත්‍රපටය නරඹන්න ආවෙ නැහැ. මේ කරුණු කාරණා නිසා මාතා පාඩු වුණා.

තවත් කියන්නටම ඕනෙ හේතුවක් තියෙනවා. මාතා පෙන්නුවේ රීගල් මණ්ඩලයේ. ටිකට්වල මිල අඩුයි. ඒ නිසා බලපු පිරිසගෙනුත් එකතුවුණේ පොඩි මුදලක්.

* මාතා ජාත්‍යන්තරයට ගෙනියන්න යෝජනාවක් තිබ්බ නේද?

ඔව්... ජාත්‍යන්තර වශයෙන් මාතා සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා. නමුත් ලංකාවේ පිරිස නරඹන කල් චිත්‍රපටය ජාත්‍යන්තරයට දෙන්න මං බලාපොරොත්තු වෙන්නෙ නැහැ. අපි චිත්‍රපට හදන්නෙ මූලිකවම ලංකාවේ ප්‍රේක්ෂකයාට.

* ඒ මොහොතේ ඔබ කරටගත්තෙ ජාතික මෙහෙවරක්..

ඔව්... මාතා යුද්ධය සම්බන්ධ සියලු දේ ඇතුළත් වාර්තා චිත්‍රපටයක්. අදට වඩා ඉදිරියට මේ චිත්‍රපටය අපට වටිනවා. චිත්‍රපටයකට වඩා අපේ රටේ තිබුණ වාතාවරණය ගැන වාර්තාමය සලකුණක් තැබීමට හැකිවීම ගැන මට සන්තෝසයි.

* නමුත් ඔබව ඇගයීමට ලක්වුණේ නෑ නේද?

ඔව්... ඒ ඒ අංශ සඳහා විවිධ ඇගයීම් ලැබුණා. නමුත් සමස්ත චිත‍්‍රපටයට ඇගැයුමක් ලැබුණෙ නැහැ. සම්මාන ඇගයුම් නොලැබුණාට යුතුකමක් ඉටුකළා කියන සතුට මට තියෙනවා.

* කලකිරීමෙන්ද ඉන්නෙ...

නැහැ... මං මොකටද කලකිරෙන්නෙ.

* කොහොමද සමනල සංධ්වනිය ගමට යන්නෙ.

කොළඹින් පස්සෙ ගමට යනවා. ඉතාමත් හොඳ ප්‍රචාරණ වැඩසටහන් හදලයි තියෙන්නෙ.

* ලංකාවේ චිත්‍රපට නිෂ්පාදකවරයන්ගේ ඒකාධිකාරියක් තියෙනවද?

එක එක මණ්ඩලවලට මුල් බැහැගත්තු නිෂ්පාදකවරයෝ ඉන්නවා. උදාහරණයක් විදියට ටී. වී. චැනල් ගනිමු. ඒවායේ වැඩ කරන්නෙ එකම පිරිසක්. වෙන වෙන සබඳතා උඩ එයාලට තැන ලැබෙනවා. ඉඩක් තිබුණොත් අපටත් තැනක් ලැබෙනවා. මේ ක්‍රමවේදයෙන් පොඩි නිෂ්පාදකයන් අනාතවුණා.

* ඉදිරිය කොහොමද?

තවම හිතල නැහැ. ඒකාන්ත වශයෙන්ම හොඳ නිෂ්පාදනයකට දායක වෙනවාමයි. මං මොනව වුණත් නිෂ්පාදන කටයුතු අතාරින්නේ නැහැ.