වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




මම සැබෑ ජීවිතයේ ගුරුවරයෙක් පුංචි තිරයේ අධ්‍යක්ෂවරයෙක්

මම සැබෑ ජීවිතයේ ගුරුවරයෙක් පුංචි තිරයේ අධ්‍යක්ෂවරයෙක්

ඔහු ජූඩ් සීමන් ෆ‍්‍රැන්සිස්. දැන් බොහෝ දෙනෙක් ඔහු අමතන්නේ ඇමතිතුමා කියලයි. ඒ වුණත් ඔහු ඇමතිවරයෙක් නම් නොවෙයි. ජූඩ් සීමන් වෘත්තියෙන් ගුරුවරයෙක්. ඒ වගේම රංගන ශිල්පියෙක්. ඔහුට දැන් හැමෝම ඇමතිතුමා කියලා හඳුන්වන්නේ ඇන්ඩ් කොම්පැනි රූපවාහිනි නාට්‍යයේ බී. එස්. අධ්‍යක්ෂතුමාගේ චරිතය නිසා. ප්‍රේක්ෂක උණුසුම් ප්‍රතිචාර මැද ජූඩ් සරසවිය හමුවෙන්නත් අමතක කළේ නැහැ.

දැන් ඔබ කාර්යබහුල රංගන ශිල්පිියෙක්?

මම රංගන කටයුතුවලට දායක වෙන්නේ ගුරු වෘත්තියේ නියැළෙන අතරතුරේදියි. ඒ නිසා යම් යම් අවස්ථාවල කාලය වෙන්කර ගැනීම පිළිබඳ ප්‍රශ්න නම් ඇති වෙනවා. ඒ වුණත් ක්ෂේත්‍ර දෙකටම අපහසුවක් ඇති නොවන්නට වග බලාගෙන කටයුතු කරන්න තමයි හැම තිස්සෙම උත්සාහ කරන්නේ.

බී. එස්. ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ පිළිබඳ ලොකුª සතුටක් හිතේ තියෙනවා. මම උගන්වන පාසලේ ළමයි, ගුරුවරුන් වගේම මග තොටේදී හමුවන අයත් බී. එස්. චරිතය ගැන අදහස් දක්වනවා. ඒ වගේම බී. එස්. චරිතය අපේ රටේ ජනප්‍රිය පුද්ගලයෙකුගේ චරිතයක්නේ. පර්සි කියලා මහත්තයෙක් මාව එතුමාට හඳුන්වලා දුන්නා. එතුමා මගේ රංගනයට සුබපැතුවා.

ඔබ දායක වූ අනෙනකුත් නිර්මාණ ගැනත් සඳහන් කළොත්?

දූවරු, මලී, සිහින පියාපත්, මට ආසයි පියාඹන්න ටෙලිල නාට්‍ය සඳහා රංගනයෙන් දායක වුණා. ඊට අමතරව සූරබාහු, මල්මි, වීදිය බණ්ඩාර නාට්‍ය ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි. මම කිතුණු බැතිමතෙක්. මං ආසයි පියාඹන්න ටෙලි නාට්‍යයේ මම භික්ෂුවකගේ චරිතයක් නිරූපණය කළේ. ඒ චරිතය මගේ රංගන ජීවිතයේ ආසාවෙන් කළ චරිතයක්. ඒ වගේම මම රංගනයෙන් දායක වුණු චිත්‍රපටය තමයි ‘ප්‍රවේගය’ එයත් මගේ රංගන ජීවිතයේ සුවිශේෂ ස්ථානයක්.

ජූඩ්ගේ පවුලේ විස්තරත් කියමු?

මගේ පවුලේ මමයි පුතාලා දෙන්නයි විතරයි ඉන්නේ. බිරිඳ ජීවතුන් අතර නැහැ. ලොකු පුතා රනිත, උසස් පෙළ හදාරනවා. පොඩි පුතා රසිඳු 8 වසරේ ඉගෙනුම ලබනවා. ලොකු පුතා නම් ඉදිරියේදී රංගනයට එන්න ආසාවෙන් ඉන්නේ.

රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න ලැබීම ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?

ඇත්තටම ගොඩක් ලොකු සතුටක් හිතේ තියෙනවා. පොඩි කාලේ් රංගනයට ලොකු ආසාවක් තිබුණා. පාසැලේ කලා උළෙලවල් සඳහා සහභාගි වුණා. අම්මාගේ හීීීනය සැබෑ කරමින් අනූව දශකකයේදී මට ගුරු පත්වීමක් ලැබුණා. ඒ නිසා සෑහෙන කාලයක් ගතවන තුරු රංගනය ගැන හිතන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වුණත් මට දැන් ඒ සඳහා අවස්ථාව ලැබී තියෙනවා. දරුවන්ට අධ්‍යාපනය ලබා දිමෙන් මම විශාල සතුටක් ලබනවා. එයට බාධාවක් නොවන්න රංගන කටයුතුවලත් දිගටම නියැළීමට බලාපොරොත්තු වෙනවා. 0775854466 දුරකථන අංකයට මගේ රංගනයන් පිළිබඳ අදහස් දක්වන්න රසික ඔබට ආරාධනා කර සිටිනවා.