වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




පෙම් පැතුම් මල් පීදිලා

පෙම් පැතුම් මල් පීදිලා

සුබ සරණ මංගලොත්සව ආරාධනා
හෙළ කුල සිරිතට සුබ නිමිති බලා
දෑඟිලි එක්වන දෙපළයි මේ
එරන්දි
එකම දියණිය පි‍්‍රයන්ත සහ නිල්මිණි හල්කවිදාන දෙපළට
විශ්ව
පුත් වේ පද්මසිරි කොඩිකාර දෙපළට වර්ෂ 2013 ක් වූ උඳුවප් මස පස්වන ගුරු දින උදෑසන 9.00 සිට 3.30 දක්වා රැඳෙමින් ආශිර්වාද ලබන්නට ඔබට කරනු ලබන ළෙන්ගතු ඇරයුමයි.

මේ ඇරයුම් පත අතැතිව බොහෝ දෙනකු උදෑසනින්ම නිවෙසින් පිටවූයේ හිත සතුටින් මෙන්ම බලාපොරොත්තු රැසකින්ද පුරවාගනිමිනි. සුබ කටයුත්තේ ප්‍රධාන නළුවා සහ නිළිය ද කලක්පුරා පතමින් පැමිණි බලාපොරොත්තුවේ දිනය පිළිගැනීමට සූදානමිනි. සියලු දෙනා එක් තැනෙක රැස්ව බලා හිඳින්නේ දෙතැනක තිබූ හිත් එක්තැන් වීමේ සතුට විඳගන්නටය.

විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගෙන් කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ කිංස් කෝට් ශාලාව පිරී ඉතිරී ගොසිනි. එක් පසෙක කලා ලෝකයේ දීප්තිමත් තාරකාය. අනෙක් පස දේශපාලන කරළියේ සුවිශේෂ චරිතය. තවත් අතෙක ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රබලයන්ය. මේ සියලු දෙනාගේ පැතුම ඔවුන් දෙපළට සුබ යුග දිවියක්මය.

සියලු දෙනාම මේ පැහැබර දිනයේ බලා සිටින්නේ ගෞරවණීය අමුත්තකු පැමිණෙන තෙක්ය. ඒ අපේ අතිගරු ජනාධිපතිතුමන්ය. ජනාධිපතිතුමන්ගේ පැමිණීමෙන් අනතුරුව උත්සව සභාවේ කටයුතු ඇරඹුණේ ගෞරවාන්විත යුගදිවියට විශ්ව සහ එරන්දි පත්කරමිනි. ආදරණීය දෙහදක් එක්වූ සතුට මෙන්ම ඒ සතුටට රටේ පළමු පුරවැසියාගෙන් ලැබෙන ආශීර්වාදයේ අභිමානයෙන්ද මංගල මංඩපය හැඩවී තිබිණි.

නව මනාල යුවළ සහ ඔවුන්ගේ නෑදෑ හිත මිතුරන් පිරිවර සමඟ බොහෝ වේලාවක් ගත කළ ජනාධිපතිතුමන් උත්සව ශාලාවෙන් නික්ම ගියේ සැමට තමන්ගේ හද පිරි සෙනෙහසද පිරිනමමින්ය.

සංගීත නාද මැද මංගල උළෙල ක්‍රමයෙන් උත්සවශ්‍රීයෙන් ඔද වැඩෙයි. තැන් තැන් හි හිඳගෙන සිටි සුමිතුරෝ කල්ලි ගැසෙමින් කලා ලෝකයේ රස කතා ගැන මුමුනන්නේ කාර්යබහුල දිවියෙහි සියල්ලෝම තම මිතුරාගේ මංගල සාදයේ සුව විඳිමිනි. ආගිය කතාවලින් පිරුණු රස සාදයේ අරුත්බර කතාන්දරවලින් ද හැඩවෙයි.

“මචං සුදු වෙලා....”

මිහිර සිරිතිලක හැමටම පවසයි.

“ඔව් බං පහුගිය කාලෙ ගෙදර හිටියේ......”

“නෑ....උඹ නෙවෙයි බං. රැවුල සුදුවෙලා කියලා මං කිව්වේ....”

මිහිර සැවොම සතුටට පත්කරන්නේ තමාටම ආවේනික විහිළු තහළු වලිනි.

මුල් ඇඳුමින් සැරසුණු විශ්ව අද ඉතාමත් සිත් සැනසුණ චරිතයකි. තමා විසින් සැලසුම් කොට තැනූ ඔටුන්න විශ්වගේ පෞර්ෂත්වයට තවත් කදිම ගෞරවාභරණයකි. එම ඔටුන්න විශ්ව විසින් තමාගේ මංගල උළෙල සඳහාම තැණුවකි. රන් ආලේපිත එය පරම්පරාවෙන් පරම්පරාවට පැවත යන මංගලාභරණයක් කිරීම විශ්වගේ අරමුණයි.

රස කතාන්දර, ජය ඝෝෂා මැද මංගල දිනයේ අවසනට ළඟාවී තිබිණි. සියලු දෙනාගේ හදපිරි සුබපැතුම් සමඟ විශ්ව කොළඹ සිට පිටව ගියේ කඳ සුරිඳුන් වන්දනාව සඳහාය. කතරගම කිරිවෙහෙරට පුද පූජා කොට කතරගම දෙවියන් වැඳ පුදා ගනිමින් ඒ අසිරිමත් පින් බිමෙහි තෙදිනක් ගතකළ විශ්ව නව වැනිදා උදෑසනම දළදා සමිඳු වැඳපුදා ගැනීම සඳහා තමාගේ උපන් බිමට පිවිසියේ උතුරා පිටාර ගලන සතුටිනි.

දින තුනකින් නිවෙසින් තනිව පිටව ගිය විශ්ව නවවැනිදා නැවත සියලු දෙනාගේ ගෞරවය මැද නිවෙසට පැමිණියේ තම ජීවන සහකාරිය ද කැටුවය. සමීපතමයන් කිහිපදෙනෙකු සඳහා නිවෙසේ පැවති දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව දෙවැනි දිනයේ සාදය සඳහා විශ්ව නුවර අර්ල්ස් රිජන්සි හෝටලයට පැමිණියේ ජීවන සහකාරිය තුරුලු කරගනිමිනි.

රතු පැහැති මුල් ඇඳුමින් සැරසුණු විශ්ව වෙනස්ම තාලයේ පසුතලයක ඉදිකළ අසුනේ එරන්දි සමඟ සුන්දර කතාවකය.

රාත්‍රි සාදය ක්‍රමයෙන් ඇරඹුණේ උඩරට නැටුමෙන් සුපෝෂිත සංදර්ශනයක් ද සමඟිනි.

රාත්‍රිය ක්‍රමයෙන් තරුණ වෙද්දී කොළඹ සිට තරු එකිනෙක අර්ල්ස් රිජන්සි හෝටලය සරසයි. කලකට පසු හමු වූ බොහෝ දෙනාද, නිතර හමුවන ඇතැම් දෙනාද දිගු කතාවලය.

මංගල උළෙලේ මේස සරසා තිබූ නෙළුම් මල් සුගන්ධය ශාලාව පුරා පැතිරෙයි. මේසය මත දමා තිබූ නෙළුම් පෙති එකිනෙක විසිරෙයි.

“කවුද බං මේ මේසෙ හැඩි කළේ. දැන් ඉතින් අස්කරමු”

ගිරිරාජ් කෞෂල්‍ය නෙළුම් පෙති එකතු කරන්නේ සැවොම සිනාවේ ගිල්වමිනි. ටික මොහොතකට පසු ශාලාවට පැමිණෙන්නේ යුරෝපීය ඇඳුමින් හැඩව තොප්පි දමාගත් පිරිසකි. ඒ විශ්වගේ සමකාලීන රංඟන මිතුරන්ය. ධනා, දසුන්, එරංග, ළහිරු, කාවිංග ඇතුළු පිරිසට පසු පස ගමන්කරන්නේ මහේන්ද්‍ර පෙරේරාය. ඔවුන්ගේ සපැමිණීම ශාලාවට කදිම ආලෝකයක් මෙන්ම ජවයක්ද ගෙන දුන්නේ නවරිද්මයක්ද උළෙලට එක්කරමිනි.

ටික වෙලාවකින් විශ්ව ආගිය අතක් නැත. මුල් ඇඳුමින් සැරසුණු විශ්ව එතැනට පැමිණියේ යුරෝපීය ඇඳුමින් සැරසෙමිනි.

එතැන්පටන් සාදය වර්ණවත් වූයේ ගැයුමෙන් සහ නැටුමෙනි. අර්ථවත් චාරිත්‍ර, අරුත්බර කතාබහ මෙන්ම සුන්දර මතක රැසක් එක්කළ විශ්ව සහ එරන්දි ගේ මංගල දිනයේ ඡායාරූප එකතුවයි මේ.

සාක්ෂියට අත්සන් තැබූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් හා සුනිල් එදිරිසිංහ මනාල යුවළ හා මවුපියන්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නව යුවළ සමඟ...

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ආසිරි පැතුම්

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍යාංශ ලේකම් චරිත හේරත්

රන්ජන්ගෙන් මනාළ යුවළට සුබ පැතුම්

වරක්ස් චිත්‍රා සහ සඳුන්

රවී සහ පී‍්‍රති යුවළගේ සුබාශිංසන

මනාල යුවළ මියුරු සත්සර අතර...

සුනිල් ටී., රොබින්

තීක්ෂණ, දමිතා, ගිරා

පි‍්‍රයංකර, දිල්හානී සහ පුතු පසිඳු

සුමිතුරන්ගෙන් සුබපැතුම්