වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




ගමේදී මට කියන්නේ කොන්ද කියලා

ගමේදී මට කියන්නේ කොන්ද කියලා

නලින් ප්‍රේමජීව

ඉස්සරහට යන්න ටෙලි සිතුවමේ කොන්දොස්තරවරයකු ලෙස රඟන නලින් ප්‍රේමජීව ක්ෂේත්‍රයට පැමිණි තවත් නවක රංගන ශිල්පියකි. සඳසාවිහි පියන් කොළුවාට පණ පොවන හෙතෙම නිර්මාණ කිහිපයකින්ම ඉදිරියේදී ඔබ හමුවට පැමිණීමට නියමිතය. හාස්‍යෝත්පාදක චරිත රංගනයට මහත් රුචියක් දක්වන ඒ නලීන් ගැන පුංචි සටහනක් මෙසේ දිග හැරෙනු ඇත.

නලීන් රංගනයට පිවිසෙනුයේ ජනක් ප්‍රේමලාල්ගේ මඟ පෙන්වීමෙනි. ඔහුගේ මාර්ගයෙන් නලීන් මාපිටිය සහ සමන් කුමාර ලියනගේ හඳුනා ගන්නා නලීන් හා හා පුරා කියා රංගනයට පිවිසෙන්නේ නලීන් මාපිටියගේ ඉස්සරහට යන්න ටෙලි සිතුවමෙනි. එහි කොන්දෙස්තරවරයකු වශයෙන් ජගත් චමිල හා රංගනයේ යෙදෙන ඔහු පළමු රංගනයෙන්ම ප්‍රේක්ෂකයන් අතරට යාමට තරම් වාසනාවන්ත විය.

හොරණ තමයි මගේ ගම. මට ගමේදී අමතන්නේ කොන්දා කියලා. දැන් මගේ නමත් අමතකයි සමහරුන්ට.

නලීන් දෙවනුව සමන්කුමාර ලියනගේ ගේ සඳසාවි හි පියන් කොළුවා චරිතයට පණ පෙවීය. එය තරමක් හාසස්‍යයට බර චරිතයකි.

මං ගොඩක් ආස ඒ වගේ චරිත කරන්න. මගේ ශරීර ස්වරූපයත් හාස්‍ය චරිතවලට ගැළපෙනවා. අනිත වර්තමානය වන විට හාස්‍ය චරිත කරන්න මං වගේ මිටි බඩ මහත නළු නිළියෝ අඩුයිනේ.

නලීන් තමන් රඟපෑ පළමු නාට්‍ය ද්විත්වයෙන්ම ක්ෂේත්‍රයේ හොඳ නමක් හදා ගත්තේය. මේ වන විට ඔහුට නිර්මාණ ගණනාවකටම ඇරැයුම් ලැබී ඇත්තේ එහෙයිනි.

මට රන්ජන් රාමනායකගේ නවරියන් සහ ජැක්සන් ඇන්තනී මහත්මයාගේ අලුත් චිත්‍රපටයෙත් රඟපාන්න ලැබුණා. ටෙලි නාට්‍ය කිහිපයකටමත් කතා කළා. සතුටුයි ඉතින්.

නලීන් රැකියාව කරන්නේ පානදුරේ පුද්ගලික ආයතනයක. එහි ඔහුගේ ප්‍රධානීන් හැටියට සිටින අසේල චන්ද්‍රරත්න සහ තාරක චන්ද්‍රරත්න යන අයවත් මතක් කළා.

ඔවුන් මගේ රංගන කටයුතුවලට ගොඩක් ලොකු සහයක් දෙනවා. ඒ වගේම පවුලේ අය, ඩෝෂන් බාලගේ, අනුරුද්ධ ගාම්භීරආරච්චි ඇතුළු මාව ක්ෂේත්‍රයට හඳුන්වා දුන් සියලුම දෙනාට තුති පුදනවා.

නලීන් රඟපාන්න ගිහින් එක සැරයක් ඇත්තටම ගුටි කාලා. ඒ සඳසාවි ටෙලි නාට්‍යයේදී.

නෙතලි නානායක්කාර මට ගැහැව්වා අත මිටි කරලා ඒක මගේ හක්කට ඇත්තටම වැදුණේ. මං හිතුවේ දත් සෙට් එක බඩේ කියලා.

පැතුම් මල් වසන්තය ටෙලි සිතුවම සමඟින් නලින් තවත් වෙනස්ම වූ චරිතයකින් ප්‍රේක්ෂකයන් පිනවීමට ළඟදීම සූදානමින්. ඒ වගේම හිමින් දිගු ගමනක් යන්නටයි ඔහුගේ මේ වෑයම.

මේ නලීන්ගේ දුරකතන අංකයයි 0770035425.