වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




විකට නළුවෙක් ගැන කතාවක්

විකට නළුවෙක් ගැන කතාවක්

වැඩි වශයෙන් අන් අය විකට කතා කියා සිනා ගස්වන්නේ සිත දුකින් පුරවා ගත් අය බවට විශ්වාසයක් පවතී. බොලිවුඩයට සිනහ උල්පතක් ගෙනෙන ජොනී ලිවර් ද එවැන්නෙකි. ඔහුගේ ජීවිතය වෙළා ගත් දුකට හේතුව වූයේ පුතුගේ පිළිකාවයි. එකම පුතු ජෙසීට පිළිකාවක් ඇති බව දැනගත් පසු ඔහු සිනමාපටවල රඟපෑම නතර කළේය. සෑම මොහොතක්ම ගත කළේ පුතුගේ සුවය පතා දෙවියන්ට යාඥා කරමිනි. දින දහයකින් පසු පුතු පරීක්ෂා කළ වෛද්‍යවරු කියා සිටියේ ජෙසී සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි.

ජොනී කතෝලික බැතිමතකු වුවත් කිසි දිනක බයිබලයවත් කියවීමට උත්සාහ නොගත්තෙකි. එහෙත් එම සිදුවීමෙන් පසු ඔහු බයිබලය සම්පූර්ණයෙන්ම කියෙව්වේය. ජොනී යනු අතීතයේදී ජාතික ගීයට සහ ජාතික කොඩියට අගෞරව වන ලෙස හැසිරීම නිසා සත් දිනක සිර දඬුවමකට නියම වූවෙකි. එහෙත් දවසක්වත් ඔහුට සිර ගෙදර සිටීමට සිදු වූයේ නැත. පුතුගේ සිදුවීමෙන් පසු ඔහු සිනමාපට තෝරා ගැනීමේ දී පවා සැලකිලිමත් විය. තිරයේ දී දෙපැත්ත කැපෙන, අසැබි වදන් නොපවසා සිටීමට වග බලා ගත්තේය. දැන් ජොනී රෝගීන් සුවපත් කිරීම උදෙසා පැවැත්වෙන යාඥාවලට ද සහභාගි වන්නේය. මූම්බායි, චෙන්නායිවල පමණක් නොව අමෙරිකාවට ද ඔහු ඒ වෙනුවෙන් යයි.

ජොනීගේ එකම දියණිය විසිපස් හැවිරිදි ජැමී ද මේ වන විට ජනප්‍රිය විකට තාරකාවක් බවට පත් වෙමින් සිටින්නීය. ‘කොමඩි සර්කස් කි අජූබී’ රියැලිටි වැඩ සටහනින් ඇය තමා පියාගේ අඩි පාරේ ගමන් කරන්නියක බව රසිකයන්ට ඔප්පු කර පෙන්නුවාය. ලන්ඩනයේ සරසවියකින් ‘අලෙවි සන්නිවේදනය’ පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා සිටින ජෙමීගේ බලාපොරොත්තුව කෙදිනක හෝ අපූරු සහ සමාජයට පණිවුඩයක් ගෙන දෙන විකට රියැලැටි වැඩ සටහනක හිමිකාරිය වීමයි.

ගී ගැයීමට ද හැකි ජොනී ලිවර් දියණිය සුප්‍රසිද්ධ චරිත අනුකරණයට සහ ගැහැනු සහ පිරිමි චරිත නිරූපණයට ද අති දක්ෂ බව කියවෙයි. පියාගෙන් දායාද වුණු හැකියාවෙන් ඇය මේ සියල්ල කළත්, පියාගේ සහාය නොපතා ස්වාධීනව මෙතෙක් ඇය සිය ගමන පැමිණ ඇත.

ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම විකට නළුවා ලෙසින් දහතුන් වරක් නිර්දේශ වුණු, දෙවරක් සම්මානයට පාත්‍ර වූ ජොනීගේ දියණිය මෙවන් හැකියාවක් පෙන්වීම අරුමයක් නොවෙයි.